අජිත් පැරකුම් ජයසිංහ (මැයි 28 දිනට යෙදෙන ඔසප් ස්වස්ථතා දිනය වෙනුවෙනි)

ලොව පුරා කාන්තාවන් මිලියන 300ක් විතර සංඛ්‍යාවක් සෑම දිනකම ඔසප් වෙනවා. කාන්තාවන් තම ජීවිත කාලය අතරතුරදී 2500-3000 අතර දින ගණනක් ඔසප් වෙනවා. එය ඉතාම සාමාන්‍ය ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක් වුණත් අප ඒ ගැන කතාකරන්නට අකැමැතියි; ලැජ්ජයි.

Translations by Creative Content Consultants

ඔසප් වෙන එක හරියට වරදක් වගේ තමයි සමාජය සලකන්නෙ. ඒ නිසා ඒ සම්බන්ධ කටයුතු හැංගි හොරා තමයි කරන්නෙ. මගේ දියණියන් දෙදෙනා කුඩා ළමයින් දවස්වල ඔවුන්ගෙ පැමිණිල්ලක් තමයි අම්මට ඒගොල්ලන්ට වගේ ඇඳේ චූ යන නිසා අඳින්න පැම්පර්ස් ජාතියක් ගෙනත් අල්මාරියේ හංගගෙන ඉන්නවා. ඒවා ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න දෙන්නෙ නැහැ කියන එක.

ඔසප් වීම පිළිබඳ අපේ දරුවන් එක්ක මං විවෘතව කතා කරලා තියෙනවා. එහෙම කරනකොට ඒක සාමාන්‍ය දෙයක් බව තහවුරු වෙනවා. මං වුණත්, ඔසප් වීම නිසා අපහසුතාවට ලක් වී සිටින මගේ බිරිඳ තේරුම් ගත්තෙ නැහැ ය කියලායි මට හිතෙන්නෙ.

ඒ වුණාට මට මතක් වෙන එක සිද්ධියක් තියෙනවා. අනූව දශකයේ අගභාගයේදී මං ඈත පිටිසර පදවියේ බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ වැඩකරන සමයේ දවසක් අපේ විද්‍යා මිස්ගෙ (අයි.පී. වීරවික්‍රම) මූණෙ කුරුලෑවක් ඇවිත් තියෙනවා දැකලා ඒ ගැන කතා කළා. ඇය ඉතා විවෘතව ‘මේ දවස්වල මට ඔසප් වෙනවනෙ ඒ දවස්වලට හෝමෝන විපර්යාස නිසා තමයි කුරුලෑ එන්නෙ’ කියලා කිව්වා.

ඈත පදවියේ ඉපදී, හැදී වැඩී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සමග විවාහ වී සිටි ඇය එදා පිරිමි අපට ඉගැන්වූ පාඩම මා හරියට තේරුම් ගත්තේ එයින් අවුරුදු 20කට විතර පසු කාලෙක එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සේවය කරන කාලේයි.

සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශයේ සේවය කරන ප්‍ර‍ජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍ර‍නාන්දු බලපිටියගේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍ර‍ජා වෛද්‍ය මහාචාර්ය පුෂ්පා ජයවර්ධනගේ සහභාගිත්වයෙන් කලුතර දිස්ත්‍රික්කයේ 10 ශ්‍රේණියේ පාසල් ශිෂ්‍යාවන් අතර වසර පහකට පමණ ඉහතදී කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වූ පරිදි එම ගැහැණු ළමයින්ගෙන් 44.4%ක් ඔසප් දිනවලදී පාසල් යාම මගහරින බව පවසා තිබුණා. එසේම, ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් තිබුණේ දිස්ත්‍රික්කයේ පාසල් අතරින් 48.9%ක පමණයි.

ඔසප් ස්වස්ථතාව පිළිබඳ කතා කරමින් වෛද්‍ය අසන්ති ප්‍ර‍නාන්දු බලපිටිය මහත්මිය පැවසුවේ ඒ පිළිබඳ විවෘතව කතා කිරීම වැදගත් බවයි.

“සමාජයේ මිථ්‍යා මත තිබෙනවා. මේ පිට වන්නේ අපිරිසිදු රුධිරය බව කියන එක එවැනි මතයක්. එය වැරදියි. මෙහිදී සිදු වන්නේ ගැබ් ගැනීම සඳහා සූදානම් වුණ ගර්භාෂ බිත්තිය, ගැබ් ගැනීමක් සිදු නොවීම නිසා ගැලවී රුධිරය සමග ඉවත්ව යාම යි. ඔසප් වීම සිදු වන දිනවල පිරිසිදුකම ඉතා වැදගත්. ඔසප් දිනවලදී නාන්නට හොඳ නැහැ වගේ අදහස් තියෙනවා. ඒ වුණාට මේ දිනවල නාලා පිරිසිදු වෙන එක ඉතා වැදගත්. අප කියන්නේ සනීපාරක්ෂක තුවා හෝ රෙදිකඩ පැය හතරකට වරක් මාරු කරන්න ය කියලා යි. එහෙත්, සමහර විට, පාසල් දරුවන්ට එහෙම ඒ සඳහා පහසුකම් නැති නිසා උදේ පාසල් පැමිණ, සවස පන්ති ගොස් එනතුරුත් එක ම සනීපාරක්ෂක තුවාය පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සමාජ වගකීමක්. ඒ වගේ ම, ඒ දිනවලදී ඔවුන් මුහුණ දෙන ශාරීරික, මානසික ගැටලුවලදී ඔවුන්ට විශේෂයෙන් ම සැමියා, දරුවන් ඇතුළු පවුලේ අයගෙනුත්, සමාජයෙනුත් උපකාර අවශ්‍ය යි. ඒ නිසා ඔසප් ස්වස්ථතාව කියන්නෙ කාන්තාවන්ගේ ගැටලුවක් නෙමෙයි. එය සමාජමය කාරණයක්.”

ඔසප් වීම කියන සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය නිසා අපේ දියණියන්, සොයුරියන් තවමත් සමාජ පසුබෑමට ලක්වෙනවා. ලංකාවේ කාන්තාවන්ට සමාජ සමානාත්මතාව දිනාගන්නට බැරිවෙන්නට එය ප්‍රධාන හේතුවක්. කාන්තාවන් සම්බන්ධයෙන් තිබෙන පසුගාමී අදහස් නිසා ඔවුන්ට අධ්‍යාපනයේදී විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු හා ගණිත කුසලතා සමාන අන්දමින් ලබාගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 35%ක වගේ මට්ටමක තමයි තියෙන්නේ. රැකියාවලදී ඔවුන්ට ඉදිරියට යාමට අවස්ථා සීමා වෙනවා. ප්‍රතිපත්ති සම්පාදන මට්ටම්වලට කාන්තාවන් සහභාගි කරගැනීම අවම වෙනවා. රටේ ජනගහනයෙන් 52%ක් පමණ කාන්තාවන් වෙද්දී, අපේ රටේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය හැමදාම වගේ 5%කට පමණ සීමාවෙනවා. ප්‍රතිපත්ති සම්පාදනයේදී කාන්තාවන්ට නියෝජනයක් නැති නිසා කාන්තාවන්ගේ තත්වය වෙනස් වෙන්නෙ නැතුව එහෙමම තිබෙනවා.

ලංකාව හිරවෙලා ඉන්න විෂම චක්‍රය තේරුම් ගන්නට සිදුවන්නේ එහෙමයි. ලංකාවේ සමාජ විප්ලවයක් සිදු විය හැකි ආකාරයක් තමයි, ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය වැඩිවීම සහ ප්‍රතිපත්ති සම්පාදනයේ කාන්තා නියෝජනය ඉහළ යාම. කාන්තාවන්ට සම අයිතිය හිමි වීම එක්ක ලංකාවේ සමාජයේ සැබෑ විප්ලවයක් සිදුවෙනවා නියතයි.

කාන්තාවන් කියන්නේ ඓතිහාසිකව පීඩාවට පත්කරන ලද සමාජ කණ්ඩායමක්. කාන්තාවන්ට සමාජ සමානාත්මතාව ලබාගැනීම පුරුෂ විරෝධී ස්ත්‍රීවාදය වැනි අන්තවාදයන්ගෙන් කරන්නට බැහැ. සමාජ දේශපාලන ව්‍යාපාරවල කාන්තාවන් හා පිරිමින් හරි හරියට වැඩ කිරීමෙන් තමයි එය කරන්නට පුළුවන්. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පිරිමින් විශේෂයෙන් පෙනී සිටින්නට ඕනැ.

බලයෙන් සුළුතර වන ප්‍රජාවන් සම අයිතිය ඉල්ලා අරගල කරන හැමවිට ම බලයෙන් බහුතර ප්‍රජාවන්ගේ ප්‍රගතිශීලීන් ඉන්නේ ඔවුන්ගේ පැත්තේ.

Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.