Health Promotion Bureau

ඇස්ට්‍රාසෙනකා ලක්ෂ 14.5ක් දිවයිනට! එන්නත්කරණය සාර්ථකව ඉදිරියට

කොවිඩ්-19 සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රවේශයන් පමා කරමින් හොර වෙදකුගේ පැණියක් ප්‍රවර්ධනය කළ, ගංගාවල මුට්ටි පා කළ ශ්‍රී ලංකා ආණ්ඩුව ඒ සියල්ල අසාර්ථක වීමෙන් පසු දැන් එන්නත්කරණය සම්බන්ධයෙන් සාර්ථක පියවර තබමින් ඇති බව පෙනේ.

මුල් අදියරේදී එන්නත්කරණය ඉතා අවිධිමත් විය. රාජ්‍ය නායකයන් ඇතුළු දේශපාලකයන්, සෞඛ්‍ය නිලධාරීන්, ඔවුන්ගේ හෙංචයියන් ආදීන් විසින් මුල් අදියරේදී මහා පරිමාණෙන් එන්නත් සොරකම් කළහ. මේ වන විට පවා කොවිඩ්-19 හේතුවෙන් මිය යන අති බහුතරය වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් හා බහුවිධ රෝගාබාධ සහිත අයයි. මෙම පිරිස්වලට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව ලබාදුන්නා නම්, ජීවිත සිය දහස් ගණනක් බේරාගැනීමේ හැකියාව තිබිණි.

කෙසේ වෙතත්, කළ වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට යාම සම්බන්ධයෙන් අපි රජයට ප්‍රශංසා කරන්නෙමු.

“ඉතා වේගවත් එන්නත්කරණ වැඩසටහනක ප්‍රතිඵලයක් ලෙසින් මේ වන විට ශ්‍රී ලංකාව, ජගත් එන්නත්කරණ සාමාන්‍ය අගය පසුකර යෑමට සමත් වී තිබෙනවා. ප්‍රථමයෙන්ම එන්නත් තොග ලබා ගැනීමට සමත් වූ ලොව බලවත් රාජ්‍යයන් හැරුණුකොට, එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුරවැසියන් ප්‍රතිශතය සැළකීමේ දී ඇතැම් දියුණු රටවල් පවා පසුකර යෑමට මේ වනවිට අපට හැකි වී තිබෙනවා,” යි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද නිවේදනය කළේය.

එන්නත්කරණය ආරම්භ කළ කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල මෙන්ම මාතලේ හා මන්නාරම දිස්ත්‍රික්කවල ද වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 90%කට වැඩි ප්‍රතිශතයක් මේ වන විට එන්නත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ජනතාව අව්වේ වේලෙමින්, වැස්සට තෙමෙමින් දිගු පෝලිම්වල රැඳෙමින් එන්නත්කරණය සඳහා දැක්වූ උනන්දුව මෙහිදී විශේෂය.

ශ්‍රී ලංකා ආණ්ඩුව හා බහුතර සමාජය මෑත වකවානුවේදී ජාත්‍යන්තර ප්‍රජාව කෙරෙහි වෛරී සහගත ප්‍රකාශ කරමින් ජාතිවාදී නැඹුරුවක් වෙත යොමුවෙමින් තිබුණ ද, කොවිඩ් 19 මර්දනය කිරීමේ සටනේදී නැවත වතාවක් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉදිරිපත් වූයේ ඇමරිකා එක්සත් ජනපදය, ජපානය වැනි රටවල්ය.

ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා එන්නත් ලක්ෂ 14.5ක් COVAX පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය පියවර ගෙන තිබේ. එම එන්නත් හෙට අනිද්දාම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. ඒ සමගම, ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන, දෙවෙනි මාත්‍රාව නොමැතිව මාස ගණනක් බලාසිටින ජනතාවට සිය දෙවෙනි මාත්‍රාව ලබාගැනීමට හැකිවනු ඇත.

කොවැක්ස් පහසුකම යටතේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබාදෙන ලද මොඩර්නා කෝවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් ද මේ මාසයේදී ශ්‍රී ලංකාවට ලැබිණි.  

ලැබෙන්නේ ලොව පුරා කෝවිඩ්-19 එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශය ලබාදීම සඳහා වන මාත්‍රා බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීමේ යාන්ත්‍රණය යටතේය.  

ආරක්ෂිත හා ඵලදායී කෝවිඩ්-19 එන්නත් අප සැමට ලබාදීම සඳහා මානව නවෝත්පාදනය හා විද්‍යාව සමත් වී තිබේ. අප එයට ස්තුතිවන්ත විය යුතුය. මෙය ප්‍රතිශක්තිකරණ ඉතිහාසයේ විශාලතම හා සංකීර්ණම මෙහෙයුමයි. COVAX පහසුකම යටතේ එන්නත ලබාගැනීමේ හැකියාව තහවුරු කිරීමේදී එක්සත් ජාතීන් විසින් ඉතා  වැදගත් භූමිකාවක් ඉටුකරනු ලැබේ.

සියලුදෙනා ආරක්ෂිත වනතෙක් කිසිවකු ආරක්ෂිත නැත. ලොව කිසිදු රටකට දේශසීමා වසාගෙන කොවිඩ්-19න් ආරක්ෂා වන්නට බැරි තරමට මේ අධි වසංගතය ජාත්‍යන්තරවාදීය. දැනට තිබෙන එන්නත්වලට වසංගතය මෙල්ල කිරීමේ හැකියාව තිබේ. එහෙත්, ඩෙල්ටා, ලැම්ඩා ආදියටත් වඩා දරුණු ප්‍රභේද ඉදිරියේදී ඇතිවුවහොත් අපට වසංගතයට එරෙහි සටන බිංදුවේ සිට අලුතින් පටන්ගන්නට සිදුවීමට ඉඩ තිබේ. ජාතිවාදී පදනමින් තමන්ගේ ජනතාව වෙනුවෙන් තම රට තුළ එන්නත් ගොඩගසාගෙන නොඉඳ හදිසි සැපයුම් හිඟයන් පියවාගැනීම සඳහා එන්නත් බෙදාහදාගන්නට ඇමරිකා එක්සත් ජනපදය වැනි ධනවත් රටවල් ඉදිරිපත් වී සිටින්නේ ඒ නිසායි.

COVAX යනු, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එන්නත් හා ප්‍රතිශක්තිකරණය සඳහා වන ගෝලීය සන්ධානය (GAVI), වසංගත සූදානම සම්බන්ධ නවෝත්පාදනයේ සන්ධානය (CEPI) සහ UNICEF අතර හවුල්කාරීත්වයක්. එහි අරමුණ වන්නේ කෝවිඩ්-19 එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශය ලබාදීමයි.

Creative Content Consultants

මේ ලිපිත් කියවන්න:

එන්නත් අධිරාජ්‍යවාදය හා හිඟන්නන්ගේ ජාතිවාදය

ඇමරිකාව, කොවැක්ස් හා ජාතිකවාදය