අජිත් පැරකුම් ජයසිංහ

බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයා යට කර පළා ගිය බලවත් පවුල්වල තරුණ පිරිසක් ගමන් කළ ඩිෆෙන්ඩර් රථය හා එහි රියදුරුගේ චර්යාව පිළිබඳ මතභේදාත්මක අදහස් සමාජ ජාලයන්හි පළ කළ පුද්ගලයන් පිරිසකගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් රහස් පොලිසියට කැඳවා තිබේ.

පොලිසිය කියන්නේ මෙම සිද්ධිය ගැන ඔවුන් දන්නා බව කියූ තොරතුරු දැනුම් දීමට ඔවුන්ට අවස්ථාවක් දීම සඳහා මෙසේ කැඳවූ බවයි.

Sinhala Tamil English Translations and Content Writing

මාධ්‍ය සංවිධාන හා සමාජ මාධ්‍ය සන්නිවේදකයන් මෙය අර්ථ දක්වන්නේ මාධ්‍ය දඩයමක් ලෙසටයි.

අනතුර සිදු කළ තරුණ රියදුරා මේ වන විට රිමාන්ඩ් භාරයේ ය. ඔහු ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අධිකරණය සෙසු අයට තහනම් කලාපයක් බවට පත් කරන ලදී. රියදුරා හැර අනෙක් අයට අධිකරණය ඇප ලබා දුන්නේ ය. මේ පිළිබඳව ද සමාජ ජාලවල විවිධ අදහස් පළ විය. එහෙත්, පොලිසිය පවසන්නේ අදාළ රියදුරා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත හෙයින් එයට බාධා සිදු විය හැකි බැවින් එසේ කළ බවයි.

අතීතයේදී ජනමාධ්‍ය සංඛ්‍යාව සීමා සහිත වූ හෙයින් ම ඒවායේ නියාමනයක් තිබිණි. නියාමනය වැඩිපුර කරගත්තේ එකී මාධ්‍ය විසින් ම ස්වයංව ය. ජනමාධ්‍යවල සංස්කාරකවරු තම මාධ්‍ය කාර්යය වගකීමකින් ඉටු කළ හ.

සමාජ මාධ්‍ය මයි කාර් – මයි පෙට්‍රල් වැනි ය. මාධ්‍යයත්, සන්නිවේදකයාත්, සංස්කාරකවරයාත්, නියාමනය කරන්නාත් එක ම පුද්ගලයෙකු විය හැකි ය. එවැනි සංදර්භයකදී මාධ්‍යකරුවාගේ වගකීම ඉතා වැදගත් ය. තමන් කරන්නේ කුමක් ද, එමගින් සමාජයට ඇති වන බලපෑම කුමක් ද, එය නීත්‍යානුකූල ද, සදාචාරාත්මක ද, එයින් වෙනත් අයගේ මානව හිමිකම් කඩ වෙනවා ද යනාදී කරුණු කෙරෙහි බරපතල ලෙස සැලකිලිමත් වීමේ වගකීමක් සමාජ මාධ්‍යකරුවාට තිබේ.

එහෙත්, ඒ කිසිවක් නොදැන, තමන් කැමති ඕනෑ දෙයක්, ඕනෑ වෙලාවක, ඕනෑ ආකාරයකට කියා දමන එක මාධ්‍ය නිදහස යයි බොහෝ දෙනෙකු සිතති.

පසුගිය දිනෙක මා මගේ මිතුරකු ලෙස සැලකූ, මා සමග සමීප ඇසුරක් ඇතැයි මා සිතූ, නිරතුරු මා සමග කතා බහ කරන පුද්ගලයකු එම පුද්ගලයාට කිසි සේත් ම පෞද්ගලිකව අදාළ නොවන, අධ්‍යාපන ගැටලුවක් පිළිබඳ සමාජ අවධානය යොමු කිරීම සඳහා මා ලියූ පෝස්ටුවකට පෞද්ගලිකව ඉලක්ක කරමින් ප්‍රහාරාත්මක ප්‍රතිචාර දැක්වීමක් කළේ ය. එම අවස්ථාවේදී මා ඔහුට දුරකථන ඇමතුමක් ගෙන එය පැහැදිලි කර දීමට උත්සාහ කළමුත් ඔහු එම ඇමතුමට එදා හෝ ඉන් පසු හෝ පිළිතුරු දුන්නේ නැත.

මෙවැනි සංවාදවල මූලික අරමුණක් වන්නේ මං අරූට දුන්නා යයි තමන්ට සතුටු විය හැකි පරිදි විවාදය අවසන් කරගැනීමයි.

පුද්ගලයන් ඉලක්ක නොකරන සමාජ දේශපාලනික අදහස් සන්නිවේදනය කිරීමෙන් පසු, පුද්ගලයන් පෞද්ගලිකව මා ඉලක්ක කර පහර දෙන මෙවැනි දේ මට බෙහෙවින් සිදු වී තිබේ. ඇතැම් විට, මා ඉතා හොඳින් දන්නා අය ද එසේ කර තිබේ. ඔවුන් මා සමග සිතේ යම් තැන සඟවාගෙන සිටි නොරුස්නාවක් හෝ අමනාපයක් හෝ පොදු අවකාශ තුළදී ප්‍රහාරාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කරනු මා දැක තිබේ. එවැනි අවස්ථාවලදී ඔවුන් හැසිරෙන්නේ නැවත කිසිදාක සැබෑ ලෝකයේදී අප එකිනෙකා හමු නොවන්නා සේ ය.

එසේම, කිසි දා මා සමග ඇසුරක් පවත්වා නැති, හැබැහින් දැක නැති, මා පිළිබඳ කිසිදු තොරතුරක් නොදන්නා අය පවා ඉතා දැඩි පෞද්ගලික ප්‍රහාර, අවලාද හා අධානග්‍රාහී විනිශ්චයන් එල්ල කරන අවස්ථා මා දැක තිබේ.

මෙවැනි වැරදි ඇතැම් විට මා අතිනුත් සිදු වී තිබෙනවා විය හැකි ය. මා කියන්නේ සමාජ මාධ්‍ය යනු හුදෙක් ම අතථ්‍ය ලෝකයක පමණක් පවතින, ඒ නිසා අපට කිසිදු වගකීමක් නැති, ඕනෑ දෙයක්, ඕනෑ විදියකට කියා දැමිය හැකි තැනක් නොවන බව ය. මා මේ කියන කරුණ අදහස්, මතවාදවලට අදාළ නොවේ. මෙය අදාළ වන්නේ ප්‍රවෘත්ති වාර්තාකරණය සහ පුද්ගලයන් සම්බන්ධයෙන් අදහස්, ප්‍රතිචාර දැක්වීම් සම්බන්ධයෙනි.

සමාජ මාධ්‍ය ද සියලු මාධ්‍ය ආචාරධර්මවලට, නීති රීතිවලට යටත් ය. වෙනත් මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ද ඉතා තරගකාරී ය. තම පණිවුඩය කෙරෙහි අවධානය දිනාගැනීම පහසු නැත. ඒ නිසා යම් දුරකට ආන්දෝලනාත්මක වන්නට සිදු වන බව ඇත්ත ය. එහෙත්, මා මෙම ඡේදයේ පළමු වාක්‍යයේ සඳහන් කළ තත්වයන්ට යටත්ව ය.

මාධ්‍ය නිදහස යනු වල්බූරු නිදහසක් නොවේ. එය ඉතා වගකීමෙන් පරිහරණය කළ යුතු නිදහසකි. වෙනත් ඕනෑම නිදහසක් වුව එසේ ය. ලිංගික නිදහස යනු දූෂණය කිරීමේ නිදහස නොවේ. ලිංගික නිදහස දූෂණය සමග පටලා ගන්නා අයට දණ්ඩනයට ලක් වන්නට සිදු වෙයි. ඒ අන්දමින් ම, මාධ්‍ය නිදහස යනු ඕනැ දෙයක් කීමට, කිරීමට ඇති නිදහස යයි පටලවා ගත් අයට ද වගවෙන්නට සිදු වනු ඇත.

වගකීමෙන් සමාජ මාධ්‍ය පරිහරණය කරන්න. ව්‍යාජ ගිනුම් පවා අවශ්‍ය නම් හඳුනාගන්නට පුළුවන. මාධ්‍ය නිදහස භුක්ති විඳින්න. හැබැයි, සීමාව දැනගන්න. නීතියේ රැහැනට හසු නොවන්න. සදාචාරයන් උල්ලංඝනය නොකරන්න. සමාජ මාධ්‍ය අතථ්‍ය අවකාශයෙන් ඔබ්බේ ඔබේ දෙපා යට සැබෑ ලෝකයක් ඇති බව සිතන්න.

2 thoughts on “ෆේස්බුක්කරුවන් ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවීම හරි ද?

  1. හැබැයි මේ වන විට කියවන්නන් ධනාත්මක හෝ සෘණාත්මක හෝ ප්‍රතිචාර දැක්වීම සෑහෙන්න අඩු වෙලා නේද?

    • කියවා ගැඹුරින් තේරුම් ගෙන අදහස් ප්‍රකාශ කිරීමට වඩා ලේසි, කෙටි, ඍජු, වෙන අයෙකු විසින් සකසන ලද මීම් එකක් වැනි දෙයකින් අදහස් ප්‍රකාශ කිරීමට බොහෝ දෙනෙකු පෙළඹෙන බව පෙනෙනවා.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.