අජිත් පැරකුම් ජයසිංහ

වෙසක් කූඩුවට ඉංගිලිසියෙන් කියන්නේ වෙසක් ලැන්ටර්න් කියා ය. ඇත්තට ම එය ලන්තෑරුමක මූලධර්මය අනුව කරන ලද සැරසිල්ලකි. එය සෑදීමට බට පතුරුවලින් කූඩුවක් සාදන නිසා එයට වෙසක් කූඩුව යයි ද කියනු ලැබේ. මාටින් වික්‍රමසිංහගේ කෙටි කතාවක් නම් කර තිබෙන්නේ ‘බබාගේ වෙසක් පහන’ කියා ය. ජී.බී. සේනානායකගේ කෙටි කතාවක නම ‘වෙසක් පහන’ ය.

වෙසක් කූඩුවල කුරුස ආදී වෙනත් ආගමික සංකේත ඇලවීම නිසා මේ දිනවල කලබලකාරී තත්වයක් ද ඇති විය. මෙම පසුබිම තුළ වෙසක් කූඩුව අපට ආවේ කොහෙන් ද යන ඉතිහාසය මඳක් විමසන්නට අදහස් කරමි.

බුද්ධත්වය සාහිත්‍යයේදී ආලෝකය සමග උපමා කෙරේ. ලංකාවේ වෙසක් උත්සවය සමග ආලෝක පූජාව සම්බන්ධ වීම ඈත අතීතයේ සිට ම සිදු වූවක් බව ක්‍රි.ව. 5 සියවසේදී චීන ජාතික ෆාහියන් භික්ෂුව ලංකාව පිළිබඳ තබන ලද සටහන් දෙස් දෙන බව තාරුකා දිසානායක 1997දී සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියන ලද ලිපියක දැක්වේ.

ආලෝක පූජාවන්ට අමතරව වෙසක් පෝදා රැයේ පන්සල් යන ජනයා වෙනුවෙන් මග ආලෝකවත් කිරීමේ උපයෝගී අරමුණක් ද අතීත වෙසක් ආලෝක සැරසිලිවල තිබුණු බව සිතාගත හැකි ය.

කඩදාසි, රෙදි වැනි ආලෝකය විහිදුවන අර්ධ පාරදෘෂ්‍ය ආවරණවලින් නිර්මාණය කරන ලද ලන්තෑරුම් ආලෝක සැරසිලි චීනය, ජපානය වැනි රටවල් රැසක ප්‍රචලිත ය. මෙවැනි ලන්තෑරුම් සැරසිලි ආරම්භ වී තිබෙන්නේ ක්‍රි.ව. පළමු සියවසේ චීනයේ නැගෙනහිර හන් රජ පෙළපත සමයේ බව වාර්තා වේ. එසමයේ සිට ම බෞද්ධයන් අතර මෙම සැරසිලි කලාව ප්‍රචලිත වී තිබේ.
ලංකාවට වෙසක් ලන්තෑරුම එන්නට ඇත්තේ මේ රටවල ආභාසයෙන් යයි අනුමාන කළ හැකි ය.

ග්‍රීක ඉතිහාසයේ මෙන්ම ඊජිප්තු ඉතිහාසයේ ද කියෙැවෙන කූඩු (Lanterns) ධර්ම දූත ජෝන් විසින් අලුත් ගිවිසුමේ පවසන Lanterns වලට සමාන යෑයි ඉතිහාසඥයින් විසින් විශ්වාස කරන බව උපුල් ශාන්ත සන්නස්ගල 2015 මැයි මස දිවයින පුවත්පතට ලියන ලද කඩචෝරු තීරු ලිපියක සඳහන් කළේ ය.

වෙසක් පහන ලංකාවේ ප්‍රචලිත වන්නට ඇතැයි අනුමාන කළ හැක්කේ 19වන සියවස අගභාගයේ හා 20වන සියවස මුල් භාගයේ බෞද්ධ පුනර්ජීවන සමයේ ය. විශේෂයෙන් ම ඕල්කට්තුමා නායකත්වය දුන් බෞද්ධ පරමවිඥානාර්ථ ව්‍යාපාරයේ මැදිහත් වීමෙන් බුද්ධාගමේ ලෞකික සැමරීම් පාර්ශ්වයට අංග රැසක් එක් වූ බව පෙනේ. වෙසක්පත්, වෙසක් බැති ගී වැනි සැමරුම් කෙළින් ම ක්‍රිස්තියානි නත්තල් සැමරුම්වල ආභාසයෙන් ආරම්භ කරන ලද බව පෙනේ. එහෙත්, වෙසක් ලන්තෑරුම හා සමාන දෙයක් ක්‍රිස්තියානි ආගමික සංස්කෘතික සැමරුම්වල නැත.

(Post – modern සහජීවනය ලෙස නම් කර තිබුණු ඉහත දැක්වුණ ඡායාරූපය ලබාගත්තේ ප්‍රගීත් රත්නායකගේ ෆේස්බුක් පිටුවෙනි.)

1 thought on “සිංහල බෞද්ධයන් ලෝකයෙන් ගෙන අපේ කරගත් වෙසක් කූඩුව

  1. Den dekmata behevinma virala ELIYA PETTI ehatha sandahan aaloka karanaye thawath kulakayaki . THAMA SO MAA JOTHIRGAAMAYA nam woo phaataye arutha , aaloka poojawan thulin gamya noviema shokayaki .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.