අජිත් පැරකුම් ජයසිංහ

අසන්ධිමිත්තා චිත්‍රපටය බලන කල මගේ සිතේ කලක සිට නලියන සිතුවිල්ලක් කිතිකැවිණි. මේ සටහන ඒ ගැනයි. ප්‍රබන්ධය යනු කුමක් ද? ප්‍රබන්ධය සහ යථාර්ථය අතර තිබෙන අන්තර් සම්බන්ධය හා පරස්පරය කුමක් ද?

යථාර්ථය යනු කුමක් ද යන්න පිළිබඳව ද ගැඹුරු දාර්ශනික සංවාද තිබේ. අප වැනි සාමාන්‍ය මිනිසුන්ට යථාර්ථය යනු අප ජීවත් වන විශ්වයේ පවතින, අපේ පසිඳුරන් හරහා අපගේ මනසට සංජානනය වන හා එම සංජානන ඔස්සේ අපට පවතින බව උපකල්පනය කරගත හැකි දේ ය.

ප්‍රබන්ධය යනු යථාර්ථය හා යථාර්ථයට වඩා දෙයකි. කලාත්මක ප්‍රබන්ධය යනු යථාර්ථය යන අවකාශය මත පරිකල්පනය විසින් ප්‍රතිනිර්මාණය කරන යථාර්ථයයි. යථාර්ථයෙන් තොර ප්‍රබන්ධයක් නැත. යථාර්ථය මත නොපිහිටා කළ හැකි පරිකල්පනයක් ද නැත.

මා අසන්ධිමිත්තා චිත්‍රපටය කියවන්නට උත්සාහ කරන්නේ එකී පදනමෙහි සිටයි. (ලිපිය දැන්වීමෙන් පසු දිගට ම කියවිය හැකි ය.)

Media and Social Entrepreneur

අසන්ධිමිත්තා කතාව තුළ විමසන මූලික විෂය වන්නේ යථාර්ථය හා ප්‍රබන්ධය අතර මෙකී සහසම්බන්ධය හා පරස්පරයයි. එහි සිනමාකරුවා ද චරිතයකි. අසන්ධිමිත්තා චිත්‍රපටයේ අවසන් ජවනිකාවේ විකී තමන්ට බසයේදී හමු වන යුවතියක බලමින් සිටින අසන්ධිමිත්තා පොත ගැන කතා කරමින් හඳගම එයින් චිත්‍රපටයක් කරන බව ද චිත්‍රපටයේදී ම කියයි.

අසන්ධිමිත්තා කතාවේ අසන්ධිමිත්තා කතාකාරියකි. ඇය කියන කතාව ඇත්ත ද? නැතිනම් ඇගේ පරිකල්පනයක් ද? කතාවේ ප්‍රධාන චරිතය වන විකී යනු කවුරු ද? ඇය එවැනි චරිතයක් ඇගේ ජීවිතයට සම්බන්ධ කර පරිකල්පනය කළේ ඇයි? විකී වෙනුවෙන් ඇය පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ඇයි? විකී සිදු කළ මරණ වෙනුවෙන් එල්ලුම් ගස් යාමට ඇය පරිකල්පනය කරන්නේ ඇයි? චිත්‍රපටය පිළිබඳ කතාබහ කේන්ද්‍ර වන්නේ මෙම ප්‍රස්තුත වටා ය.

විකී යයි කෙනෙකු අවසානයේදී අසන්ධිමිත්තාගේ නිවසේ සිට නැති බව පෙනේ. විකී වැනි පිරිමියකු පරිකල්පනය කිරීමට අසන්ධිමිත්තා පෙළඹෙන්නේ ඇයි? ඔහු රැවටිලිකාර කපටියෙකි. අලසයෙකි. ස්ත්‍රිය සූරාකන්නෙකි. ප්‍රෝඩාකාරයෙකි. සෝබනකාරයෙකි. උදේ හවස බුදුන් වඳින, පන්සලක් දුටු විට වැඳවැටෙන, ලෙහෙසියෙන් මුදල් සොයාගෙන පහසුවෙන් ජීවත් වීමට ඕනෑ ම කොන්දේසියකට යටත් වන, මිනී මරන, පාදඩකම් කරන, චපල පිරිමියකු වන ඔහු සංකේතවත් කරන්නේ සිංහල බෞද්ධ සාමාන්‍ය පිරිමියා ද?

සිනමාකරුවා නියෝජනය කරන චරිතයේ මධ්‍යම පන්තික පවුල තුළට විකී පිවිසෙන ආකාරය සපුරා වෙනස් ය. එම සමාජයේ පිරිමියාට විකී යනු භීෂණයකි. කාන්තාවට විහිළුවකි.

සමන් වික්‍රමආරච්චි හා අශෝක හඳගම එකී පිරිමියා තරබාරු, වාචාල, පහසුවෙන් රැවටෙන, පිරිමින්ගේ සූරාකෑමට ලක් වන, අසරණ ගැහැණියකගේ පසුබිමෙහි ස්ථාපිත කරන්නේ ඇයි? අසන්ධිමිත්තා නියෝජනය කරන්නේ ලාංකීය පීඩිත කම්කරු කාන්තාව හා ඇගේ අසරණකම නොවේ ද?

“මට ඕනැ මිනිහෙක් කියල කවුරුහරි රූකඩයක්.” අසන්ධිමිත්තා කියයි. “ආ! මං ඔයාට රූකඩයක් වෙන්නම්,” යන්න විකීගේ පිළිතුරයි.

කාන්තාවක වීම නිසා වෙනස්කම්වලට භාජනය වීම, ලිංගවාදය, ස්ත්‍රීභාවය නිසා අමතර සූරාකෑමකට ලක් වීම, පුරුෂෝත්තමවාදයේ ගොදුරක් වීම, ආදරය අහිමි වීම, වංචනික ලෝකයක අතරමං වීම, කාංසාව, සියදිවිනසාගැනීම යනාදී ඉරණම මෙම සමාජ තීරයේ පොදු උරුමය නොවේ ද? අසන්ධිමිත්තා එකී යථාර්ථයට අභියෝග කරන්නේ ස්වයං විනාශකාරී ලෙසයි. ඇය පරිකල්පනය කරන්නේ එල්ලුම් ගසයි. රාත්තල් 300ක් බර ඇය එල්ලුම් ගස වෙත එසවීමට පිරිමි වධකයන් දරණ තැත ඇගේ සදය උපහාසයට ලක් වෙයි. ඇය පිළිගන්නේ කාගේ වරද ද? ඇය වරද සහායිකාවක පමණි. වරදකරු නිදැල්ලේ සිටියදී ඇය පමණක් එල්ලුම් ගස් යවන්නට සමාජය කටයුතු කරන බව ඇය ප්‍රකාශ කරන්නේ ඇයි?

“මං කැමති පිරිමි රොත්තක් එකතු වෙලා රාත්තල් 300ක් බර ගෑනියෙක්ව එල්ලන්න දඟලන හැටි බලන්න.” (ලිපිය දැන්වීමෙන් පසු දිගට ම කියවිය හැකි ය.)

Sinhala Tamil English Translations and Content Writing

අසන්ධිමිත්තාට රඟන නිල්මිණි සිගේරාගේ චරිත කියවීම නැවුම් සෞන්දර්යයකින් යුක්ත ය. වික්‍රම හෙවත් විකීගේ චරිතයට වයස් මට්ටම් දෙකක නළුවන් දෙදෙනෙකු යොදාගැනීම ඔස්සේ හඳගම නව මානයක් චිත්‍රපටය තුළදී කතාවට එකතු කරයි. එය තරමක කැරිකැචර් කලාත්මක ලක්ෂණවලින් යුතු ය.

චිත්‍රපටයේ එක් තැනක කඩේ මුදලාලි අසන්ධිමිත්තා ස්ලිම් වී ඇති බව කියයි. ඇය එයින් සතුටු වන බව පෙනේ. මෙම ස්ලිම් වීම යනු ඉතා වැදගත් යෙදුමකි. එය ඉංග්‍රීසි වදනකි. එයින් අදහස් වන්නේ කෙට්ටු වීම නොවේ. ශරීර අඟපසඟ සරාගීබව පිළිබඳ ඒකාකෘතිගත කිරීමකට හෙවත් stereotype එකකට අනුව ප්‍රකාශ කිරීම එයින් අදහස් වේ. එහෙත්, මෙකී මුදලාලි අසන්ධිමිත්තා ජීවත් වන නිවසේ හිමිකාරිය පමණක් නොව, ඇගෙන් පහස ලබාගත් අයෙකු බව ද පෙනේ. ස්ලිම් ශරීර අගයන ගමන් තරබාරු කාන්තා සිරුරු කෙරෙහි සරාගී වීම විසින් නියෝජනය කරන්නේ කුමන මනෝභාවයක් ද?

ස්ලිම් සිරුරු සුන්දර ය යන්න වඩා උසස් යයි සම්මත ආකල්පයකි. එය ඇති කර තිබෙන්නේ බටහිර දෘෂ්ටිවාදී මැදිහත්වීම්, වෙළඳ ප්‍රචාරණය, සිනමාව, සාහිත්‍යය, රූපලාවණ්‍යය වැනි දේ ඔස්සේ ය. එහෙත්, අමු පිරිමිකම තුළ තරබාරු සිරුරුවලට ආශාවන් සැඟවී තිබේ.

එය ද ආපසු බැලූ කල යථාර්ථය හා ප්‍රබන්ධය පිළිබඳ සාකච්ඡාවේ ම තලයක් නොවේ ද?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.