අජිත් පැරකුම් ජයසිංහ

පසුගිය ඔක්තෝබර් 26දා සිදු වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හා සම්බන්ධ හිරු හා දෙරණ යන රාජපක්ෂ හිතවාදී මාධ්‍යවලට රජයේ දැන්වීම් ලබා නොදිය යුතු බවට ඇමතිවරුන් සාකච්ඡා කළ බවට පළ වූ තහවුරු නොකරන ලද ප්‍රවෘත්තියක් සමග මාධ්‍ය නිදහස පිළිබඳ අලුත් සංවාදයක් ඇති වුණා. මාධ්‍යවලට රජයේ දැන්වීම් ලබාදීම හා මාධ්‍ය නිදහස මෙම සාකච්ඡාව සමග සම්බන්ධ ය.

මූලික ම කාරණයක් වන්නේ වෙළඳ ප්‍ර‍චාරණය හා මාධ්‍ය නිදහස යනු එකිනෙකට සම්බන්ධ, එහෙත්, ප්‍ර‍තිවිරුද්ධ කාරණා දෙකක් බවයි. වෙළඳ ප්‍ර‍චාරණය ඍජුව ම සම්බන්ධ වන්නේ ජනමාධ්‍යවල ව්‍යාපාරික අංශයට ය. වත්මන් සංදර්භය තුළ වෙළඳ ප්‍ර‍චාරණය ජනමාධ්‍ය පවත්වාගෙ යාම සඳහා අත්‍යවශ්‍ය ය. එනිසා ම වෙළඳ ප්‍ර‍චාරණය විසින් ජනමාධ්‍ය හැසිරවීමක් ද සිදු වේ. එය ප්‍ර‍කාශනයේ නිදහසට බාධාකාරී ය. උදාහරණයක් ලෙස කිසියම් මාධ්‍ය ආයතනයක් යැපෙන්නේ මත්පැන්, දුම්වැටි ප්‍ර‍චාරණයෙන් නම්, එම මාධ්‍ය ආයතනයට ඒවායේ ආදීනව පිළිබඳ නිදහස් අදහස් ප්‍ර‍කාශනයකට ඉඩ දීමට නොහැකි වන්නට පුළුවන. මෙය වර්තමානයේ මාධ්‍ය තුළ ඉතා සුලබ ය. වෙළඳ ප්‍ර‍චාරණය මත ම යැපෙන, අන්තර්ගතයෙන් හිස්, සත්‍ය වටිනාකම් භාවිතා කරන්නන්ට ලබා නොදෙන, එහෙත්, සන්නාමයක් ලෙස ඉහළ හා ඒ ලොකුකම නිසා ම භාවිතා කරන්නාට ද ලොකුකමක් ලැබෙන භාණ්ඩ හා සේවා රැසක් වෙළඳපොළේ තිබේ. ඒවායේ ඇත්ත තත්වය පිළිබඳ කතා කරන්නට එකී වෙළඳ ප්‍ර‍චාරණයන්ගෙන් යැපෙන මාධ්‍යවල ඉඩක් නැත. ඒ අනුව, වෙළඳ ප්‍ර‍චාරණය මාධ්‍ය නිදහස හා සම්බන්ධ කාරණයක් ලෙස පටලවා ගත යුතු නැත. ප්‍ර‍චාරණය සම්බන්ධ වන්නේ ව්‍යාපාරික ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයටයි.

පෞද්ගලික අංශයේ සමාගමක් තම ප්‍ර‍චාරණය සඳහා යොදා ගන්නේ කුමන මාධ්‍ය ද, එය අනුග්‍ර‍හයක් ලෙස කරනවා ද, උපරිම ග්‍රාහක පිරිසක් වෙත ළඟාවීමේ අරමුණින් කරනවා ද ආදී කාරණා තීරණය කිරීමේ මුළු බලය එම සමාගම සතු ය. එය ප්‍ර‍ශ්න කිරීමේ අයිතියක් මාධ්‍ය ආයතනවලට තිබේ ද යන්න පැහැදිලි නැත.

එහෙත්, රජය හා රාජ්‍ය සමාගම් යනු පොදු දේපලයි. ඒවායේ ප්‍ර‍චාරණයන් ද මාධ්‍ය ආයතනවලට අනුග්‍ර‍හ ලෙස මෙන් ම, පුළුල් ග්‍රාහක පිරිසක් වෙත ළඟාවීමේ අරමුණින් ද කරනු ලැබේ. පුළුල් ග්‍රාහකත්වය වෙත ළඟා විය හැකි මාධ්‍ය තෝරාගැනීම සඳහා කිසියම් විධිමත් ක්‍ර‍මයක් තිබිය යුතු ය. එහෙත්, පුවත්පත් සම්බන්ධයෙන් එවැන්නක් නැත. රේඩියෝ හා රූපවාහිනී වෙනුවෙන් ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් තිබේ. මේ ආයතන කොයි තරම් ස්වාධීන ද යන්න ගැටලුකාරී ය. බරපතල ම ගැටලුව ඇත්තේ අනුග්‍රාහක පදනමින් රජයේ හා රාජ්‍ය ව්‍යවසායවල දැන්වීම් ලබා දීම සම්බන්ධයෙනි. ඒ පිළිබඳ කිසිදු ආකාරයක විනිවිද පෙනෙනසුළු ප්‍ර‍තිපත්තියක් මේ රටේ නැත.

රජයේ දැන්වීම් වර්ග දෙකක් තිබේ. පළමු වර්ගය නම් රජයේ නිල නිවේදන හා දැන්වීම් ය. ඒවා මූලික වශයෙන් පළ වන්නේ රජයේ ගැසට් පත්‍රයේ ය. එහෙත්, ඇතැම් දැන්වීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරගැනීම සඳහා ඒවා ජනමාධ්‍යවල ද පළ කරනු ලැබේ.

මේ අතර රජය විසින් තම ප්‍රතිපත්ති, වැඩසටහන්‍ සහ සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ද දැන්වීම් පළ කරනු ලබන අතර ඒවා පළ වන්නේ ජනමාධ්‍යවල ය.

දෙවන වර්ගය රජයට අයත් සමාගම්, මණ්ඩල, සංස්ථා ආදිය විසින් පළ කරනු ලබන නිවේදන හා දැන්වීම් ය. මේ සමාගම් මූලික වශයෙන් ම ව්‍යාපාරික ආයතනයි. උදාහරණයක් ලෙස දැන්වීම් මත යැපෙන ප්‍රධාන පෙළේ රාජ්‍ය ව්‍යවසාය දෙකක් වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි. සූදු ආයතන දෙකක් වන මෙම ආයතනවල මූලික කාර්යය මහජන මුදල් මහා පරිමාණයෙන් රැස් කරගෙන සුළු පරිමාණයෙන් තෑගි ලෙස කොටසක් බෙදා දී අධික ලාභයක් ලැබීමයි. ඒ සඳහා අනිවාර්යයෙන් ම දැවැන්ත ප්‍රචාරණයක් අවශ්‍ය ය. මෙම ලාභ ලැබීම පෞද්ගලික සමාගම් විසින් කරනු ලබන ලාභ ලැබීමෙන් වෙනස් වන්නේ නැත.

ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන යැපෙන ප්‍රධාන ආකාරයක් වන්නේ රජයේ දැන්වීම් ය. එම දැන්වීම් ඉහත කී දෙවර්ගයට ම අයත් වේ.

මේ වන විට වෙළඳ ප්‍රචාරණයේ හැඩතල ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබේ. ගතානුගතික දැන්වීම් ඒජන්සි විසින් කරනු ලබන ප්‍රචාරණයන්ට අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය නිසා දැවැන්ත බලපෑමක් සිදු වෙමින් තිබේ. ඒ නිසා අධි වියදම්කාරී ගතානුගතික වෙළඳ ප්‍රචාරණ කර්මාන්තය හා ඒ හා බැඳුණු ගතානුගතික ජනමාධ්‍ය වෙළඳ ප්‍රචාරණය රැක ගන්නට දැන් රජයේ හා සමාගම් අනුග්‍රහය නැතුව බැරි ය. එය සිදු වන්නේ අතිශය දූෂිත යාන්ත්‍රණයක් හරහා ය. දැන්වීම් සපයන්නන් හා දැන්වීම් පළ කරන්නන් අතර දූෂිත ගනුදෙනු රැසකි. එසේම, දැන්වීම් පළ කරන මාධ්‍ය ආයතන තමන් විසින් ලබා දෙන ප්‍රචාරය පිළිබඳ දැන්වීම් සපයන්නන්ට විස්තර කරන්නේ අතිශයෝක්තියෙනි. මෙය වෙනම කතා කළ යුතු විෂයක් නිසා අප ඒ පිළිබඳ මීට වඩා අදහස් පළ කරන්නේ නැත. මේ ක්ෂේත්‍රයේ විධිමත් පර්යේෂණ අවශ්‍ය ය.

දෙරණ, හිරු වැනි මාධ්‍ය මෙම දැන්වීම් මත යැපෙන ගමන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවලට හවුල් වීම සදාචාරාත්මක නැත. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ හා රජය විවේචනය කිරීම යනු එකක් නොවේ. රජයේ දැන්වීම් ලබාගත් පළියට රජය විවේචනය නොකර සිටින්නට ඕනෑ ය කියා එකක් නැත. එහෙත්, රජය විවේචනය කිරීම යනු කුමක්දැයි අප නිවැරදිව තේරුම් ගත යුතු ය.

ජනමාධ්‍ය විසින් කරනු ලබන විවේචනය සාධනීය විවේචනයක් වීම අත්‍යවශ්‍ය ය. පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් ඉතා දැඩි ලෙස පාර්ශ්වික විවේචනවල යෙදීම ජනමාධ්‍යවලට තරම් නොවේ. එය රාජ්‍ය මාධ්‍යවලටත් අදාළ ය. රජයේ මාධ්‍යවල සාධනීය විවේචනවලට ඉඩ නැතිනම් එය ද ගැටලුවකි.

සාධනීය විවේචන හා දේශපාලන ප්‍රචාරණ හෙවත් ප්‍රොපගැන්ඩා අතර වෙනස හඳුනාගැනීම පිළිබඳ ගැටලුවක් ද මාධ්‍ය සමාජය තුළ තිබේ. ඇතැම් විට දේශපාලන ප්‍රොපගැන්ඩා ඉදිරියට ගන්නේ සාධනීය විවේචනවලට මුවාවෙමිනි.

දේශපාලන ප්‍රොපගැන්ඩා වැරදි බවක් මෙයින් අදහස් වන්නේ නැත. එහෙත්, වෙළඳ ප්‍රචාරණය සඳහා මෙන් ම ඍජු දේශපාලන ප්‍රොපගැන්ඩා සඳහා ද මාධ්‍ය ආයතන මුදල් අය කළ යුතු ය. මාධ්‍ය ආයතන විසින් ම ප්‍රවෘත්ති මුවාවෙන් දේශපාලන ප්‍රොපගැන්ඩා සිදුකිරීම ගැටලු සහගත ය. මේවා අතර අන්තර් සම්බන්ධයන් හා බැඳියා ගැටුම් අතිශය සියුම් ය. සරලව විග්‍රහ කළ නොහැකි ය.

මුල් පුවත හා සම්බන්ධ දෙරණ හා හිරු මාධ්‍යවලට රජයේ දැන්වීම් ලබා නොදීමක් ඇත්තට ම සිදු වී නැත. ඒවායේ රජයේ දැන්වීම් අඛණ්ඩව ප්‍රචාරය වේ. ජනප්‍රිය මාධ්‍ය වන මේවායේ දැන්වීම් පළ නොකර සිටින්නට ප්‍රචාරණය අවශ්‍ය රජයේ ව්‍යවසායන්ට බැරි ය.

කෙසේ වෙතත්, යම් ජනමාධ්‍යයක් රජයේ දැන්වීම් මත රඳා පවතින්නේ නම්, එම මාධ්‍යයට රජය සමග කටයුතු කිරීමේදී අමතර වගකීමක් පැවරේ. රජයේ ප්‍රතිපත්ති, වැඩසටහන්‍ සහ සංවර්ධන කටයුතු පිළිබඳ සාධනීය විවේචන සහිත සාකච්ඡා වෙනුවට, අසාධාරණ අන්දමින් කරනු ලබන පහරදීම්, පච ප්‍රචාර හා අමු දේශපාලන ප්‍රොපගැන්ඩා කරන්නට රජයේ දැන්වීම් ලබාගන්නා ජනමාධ්‍යයකට අයිතියක් නැත.

වෙළඳ ප්‍රචාරණය යනු සමාජවාදී සංකල්පයක් නොවේ. එසේම, එය අධ්‍යාපනය ලෙස ද පටලවා නොගත යුතු ය. එහි කිසියම් රැවටිලිකාරිත්වයක් තිබේ. ගනුදෙනුකරුවා සතුටු කිරීම ධනේශ්වර වෙළඳ ප්‍රචාරණයෙහි මූලික මූලධර්මයකි. ගනුදෙනුකරුවා රජය නම්, රජය කරවන ආණ්ඩුව සතුටු නොකර රජයේ දැන්වීම් ලබාගත හැකි යයි සිතනවා නම් එය ව්‍යාපාරික වශයෙන් මුලාවකි. මේවා මාධ්‍ය නිදහස වැනි කාරණා සමග පටලවා ගත යුතු නැත.

Call 077 1734470 for Sinhala Tamil English Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.