අජිත් පැරකුම් ජයසිංහ (2019 මාර්තු 31 ලංකා පුවත්පතේ ද පළ විය)

“පුංචි පවුල රත්තරං” කියන්නෙ ලංකාවෙ සාර්ථක ම සමාජ ක්‍රියාමාලා පාඨයක් ය කිව්වොත් වැරදි නැහැ. ශ්‍රී ලංකා රජයේ අනුග්‍ර‍හය ඇතිව ජනගහන පාලන ක්‍ර‍මවේදයක් ලෙස තමයි මුලින් ම පවුල් සැලසුම හඳුන්වා දුන්නේ. 1960 දශකයේදී 2.8%ක මට්ටමේ තිබුණු ජනගහන වර්ධනය වර්තමානයේ පවතින මට්ටමට ගෙන ඒමට හැකි වූයේ එම සාර්ථකත්වය නිසා ය.

1965දී රජය අතිශය වැදගත් ප්‍ර‍තිපත්ති තීරණයක් ගත්තේ ය. ඒ පවුල් සැලසුම මාතෘ සෞඛ්‍යය, ළමා සෞඛ්‍යය වැනි වෙනත් ප්‍ර‍ජනන සෞඛ්‍ය සේවා සමග සම්බන්ධ කිරීමට පියවර ගැනීමයි. 1968දී පවුල් සෞඛ්‍ය කාර්යාංශය පිහිටුවන ලද අතර පවුල් සැලසුම එය යටතට පවරා ගන්නා ලදී.

1972 පස් අවුරුදු සැලැස්මෙහි සඳහන් වන ආකාරයට එවකට පැවති ජනගහන වර්ධන වේගය පැවතියේ නම් වසර 2000 වන විට ලංකාවේ ජනගහනය මිලියන 27ක් වන්නට නියමිතව තිබිණි. එසේ වී නම්, ශ්‍රී ලංකාව රැකියා, ඉඩම්, ආහාර, ජලය, බලශක්ති ආදී ප්‍ර‍ශ්න රැසකට මුහුණ දෙන්නට නියමිත විය. එහෙත්, ජනගහන පාලනය නිසා 2001දී සිදු කරන ලද ජනගහන සංගණනය අනුව මෙරට ජනගහනය වූයේ මිලියන 18.7ක් පමණි.

කෙසේ වෙතත්, අද වන විට පවුල් සැලසුම එදාට වඩා දැඩි සංස්කෘතික විරෝධයකට තුඩු දී තිබේ. රටේ සියලු ජනවර්ගවල ජනගහන වර්ධන වේගය එක සමාන නොවීම හේතුවෙන් වර්තමාන ජන අනුපාතයන් අනාගතයේදී තමන්ට අවාසිදායක අන්දමින් වෙනස් වනු ඇතැයි ද, එමගින් දැනට පවත්නා තුලනය බිඳවැටෙනු ඇතැයි ද බියක් ඇති වී තිබේ. මෙය වඩාත් සරලව කිවහොත්, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහනයේ වර්ධනය සෙසු ජනගහනයන්ගේ වර්ධනයට වඩා වැඩි වීම කෙරෙහි සිංහල හා දෙමළ වාර්ගික සමාජයන් වෙතින් විරෝධයක් පැන නැගී තිබේ.

1880 දශකයේ මෙරට පවුලක්

මෙම සංදර්භය තුළ පවුල් සැලසුම යනු තව දුරටත් ජනගහන පාලනය ම විය යුතු ද යන ගැටලුව පැන නැගී තිබේ. පවුල් සැලසුමෙහි මූලික අරමුණ ජනගහන පාලනය බවට පත් වුවහොත් එය ජනවර්ගයන් අතර ඝර්ෂණයක් ඇති කිරීමට හේතු වනු ඇත. වර්තමානයේදී සිදු විය යුත්තේ පවුල් සැලසුම ජනගහන පාලනයට වඩා පවුල් හා සමාජ යහපතට ඉවහල් වන දෙයක් බවට පත් කර ගැනීමයි.

යුවලවලට ළමයින් ජනිත කරනවා ද, නැද්ද, ජනිත කරන්නේ නම් ඒ කොයි කාලයේ ද යන්න තීරණය කරන්නට බලය ලබා දුන් විට එමගින් කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඇතුළු ඔවුන්ගේ පවුල්වලට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් අත්පත් කරගත හැකි වෙනවා.

රජයන්, සිවිල් සමාජය, බහුපාර්ශ්වීය සංවිධාන, ආධාරක ප්‍ර‍ජාව, පෞද්ගලික අංශය සහ පර්යේෂණ හා සංවර්ධන ප්‍රජාව එක්සත් කර, හිමිකම් පාදක පවුල් සැලසුම සඳහා ඔවුන් යොමු කරමින් මෙය යථාවත් කිරීම සඳහා වැඩ කරන ගෝලීය හවුල්කාරිත්වයක් වන FP2020 නම් එක්සත් ජාතීන්ගේ සාමූහිකයේ අධ්‍යක්ෂිකා, බෙත් ෂ්ලක්ටර් මිය පසුගියදා ශ්‍රී ලංකාවට සපැමිණි අතර, මෙහිදී ජනමාධ්‍ය අමතමින් සියලු ගැබ්ගැනීම් සැලසුම් සහගත ගැබ්ගැනීම් බවට පත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා ය. “1968 මැයි 13දා ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැත්වුණ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී ‘ළමයින් සංඛ්‍යාව සහ ඔවුන් අතර පරතරය වගකීම් සහගත ලෙස නිදහසේ තීරණය කිරීමේ මූලික මානව හිමිකම්අ මව්පියන්ට ඇති බව පිළිගන්නා ලදී. පවුල් සැලසුම විසින් ජීවිත බේරා දෙනු ලැබේ. වසර 2018දී, නවීන උපත් පාලන ක්‍ර‍ම භාවිතා කිරීමේ ප්‍ර‍තිඵලයක් ලෙස, FP2020 අවධානය යොමු වී තිබෙන රටවල් 69ක මිලියන 119ක් අනවශ්‍ය ගැබ්ගැනීම් සහ මිලියන 20ක් අනාරක්ෂිත ගබ්සා වළක්වන ලදී. එමගින් වළක්වන ලද මාතෘ මරණ සංඛ්‍යාව 137,000කි,” යි ඇය පැවසුවා.

මෙම පුවත්පත් සාකච්ඡාව ඇමතූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතා මෙසේ පැවසී ය: “පවුල් සැලසුම කියන්නේ ජනගහන පාලනය ය කියන අදහසේ අද වන විට අපි නැහැ. ජනගහන පාලනය පවුල් සැලසුම හරහා කරන්නට බැරි බවයි වර්තමාන දත්ත විශ්ලේෂණය කරන විට අපට පෙනී යන්නේ. ඒ වුණත්, පසුගිය සමයේ ශ්‍රී ලංකාව අත්පත් කරගත් සෞඛ්‍ය ජයග්‍රහණ සහ සමාජ සංවර්ධනයන්ට පවුල් සැලසුම ඉවහල් වුණා. පවුල් සැලසුම් සේවා අඩපණ වුණොත්, එය බොහෝ අංශවල ගැටලු ඇති කරන්නට පුළුවන්. මේ වන විට රජය කැප වෙලා ඉන්නවා මානව හිමිකමක් ලෙස සලකා පවුල් සැලසුම් සේවා සපයන්නට.

ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ජයග්‍ර‍හණ තිබුණත්, 2016 ජනවිකාස හා සෞඛ්‍ය සමීක්ෂණය අනුව, ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන්ගෙන් 35%ක් උපත් පාලන ක්‍ර‍ම භාවිතා කරන්නේ නැත. පූර්ණ නොකරන ලද පවුල් සැලසුම් අවශ්‍යතා ප්‍ර‍තිශතය 7.3%කි. ඊට අමතරව, නවයොවුන් වියේ ගැබ්ගැනීම් ප්‍ර‍තිශතය 4.6%ක් වේ. ඇතැම් පළාත්වල මෙය 5-8% දක්වා වෙනස් වීම් තිබේ.

එහි ප්‍ර‍තිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ දෛනිකව ගබ්සා කිරීම් 650ක් පමණ සිදු වන බව තක්සේරු කර තිබේ. එම සංඛ්‍යා මෑත වකවානුවේදී පහත වැටුණු බවට සාධක නැත. එම ගබ්සා කිරීම් අතරින් 80%ක් පමණ කරන්නේ වයස අවුරුදු 30ට වැඩි විවාහක කාන්තාවන් ය. පශ්චාත් ගබ්සා සත්කාරකත්වය පිළිබඳ 2015දී නිකුත් කරන ලද මාර්ගෝපදේශ මගින් අවධාරණය කරන පරිදි ශ්‍රී ලංකාවේ මාතෘ මරණවලින් 10-13% අතර ප්‍ර‍මාණයකට වගකිව යුත්තේ අනාරක්ෂිත ගබ්සා ය. එය රටේ මාතෘ මරණවලට දෙවන වඩාත් සුලබ හේතුවයි. නීතිමය බාධක තිබියදී පවා, අනාරක්ෂිත ගබ්සා දිගින් දිගට ම කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ජීවිත අවදානමේ හෙළයි.

අනාරක්ෂිත ගබ්සා අවම කිරීමේ ප්‍ර‍ධාන මාර්ගය වැළැක්වීමයි. ගර්භනීභාවය වළක්වාගත යුතු කාන්තාවන් ආරක්ෂිත සහ ඵලදායී පවුල් සැලසුම් ක්‍ර‍ම භාවිතා කළ යුතුයි. එයින් අදහස් වන්නේ තම සිරුර සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවශ්‍ය දැනුම, ගුණාත්මක ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය සේවාවන් වෙත පිවිසීමට හැකිකම සහ තම සාඵල්‍යතාව කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය සැපයුම්  ඔවුන්ට ඇති බවයි. ප්‍ර‍ජා වෛද්‍ය විද්‍යාලයේ සභාපතිනි වෛද්‍ය ජානකී විදානපතිරණ මිය විසින් ද මෙම කරුණ අවධාරණය කරන ලදී. “ඉංග්‍රීසියෙන් contraceptives කියන වචනයට උපත් පාලන ක්‍රම කියා ව්‍යවහාර කරන එක වැරදියි. එය ප්‍රතිසන්ධි විරෝධක ලෙස නිවැරදි විය යුතුයි. විශේෂයෙන් ම වයස අවුරුදු 20ට අඩු ගැබ්ගැනීම් වැළැක්වීම අවශ්‍යයි. එයට හේතුව එවැනි ගැබ්ගැනීම් අවදානම් සහගත වීමයි. එයින් ගබ්සා, මළ දරු උපත්, නොමේරූ දරු උපත්, අවුරුදු පහට අඩුවෙන් දරුවන් මිය යාම, දරුවන්ගේ විවිධ සංකුලතා, පසුකාලීනව දියවැඩියාවට ගොදුරු වීම වගේ ම නව යොවුන් වියේ මවට ද එයින් දැඩි හානි සිදු වන්නට පුළුවන්. එවැනි ගැබ්ගැනීම් වැළැක්වීමෙන් රටට විශාල සමාජ, ආර්ථික වාසි අත්පත් කරගන්නට පුළුවන්. 2016දී කරන ලද ජන විකාස සෞඛ්‍ය සමීක්ෂණය අනුව, වයස අවුරුදු 15 – 49 අතර කිසියම් දිනෙක විවාහ වී සිටි යුවල අතර 65%ක් ප්‍රතිසන්ධි විරෝධක භාවිතා කරනවා. එය ඉතා ප්‍රශස්ථ මට්ටමක්. ඒත්, වයස අවුරුදු 15 -19 අතර විවාහක යුවල අතර මෙය 43%ක් පමණයි.”

පුංචි පවුල රත්තරං කියන ප්‍රචාරණ පාඨය අතහැර දැම්මාට ඒ කාලෙ පවුල් සැලසුම ප්‍රචාරණය වෙනුවෙන් භාවිතා වුණ රේඩියෝ දැන්වීමක තිබෙන මේ කවිය නම් අදටත් වලංගුයි.

‘නැණැති දනා – පමණ දැනා
දරු සුරතල් – බලති මනා’

Leave comment

Your email address will not be published. Required fields are marked with *.