අජිත් පැරකුම් ජයසිංහ

පරිවර්තනය කියන්නෙ මගේ වෘත්තිය. එය අභියෝගාත්මක කාර්යයක්. දැනට අවුරුදු 20ක් විතර තිස්සේ දිනපතාමත් එක එක විදියෙ නීතිමය, ශාස්ත්‍රීය, අධ්‍යාපනික, සාහිත්‍ය, කලා, චිත්‍රපට උප සිරැසි ආදී විවිධ ලේඛන සිංහලෙන් ඉංගිරිසියටත්, ඉංගිරිසියෙන් සිංහලටත් යන දෙපැත්තට ම පරිවර්තනය කරනවා. නවකතා වගේ ඒවා නම් පරිවර්තනය කරලා නැහැ. හේතුව, ඒ සඳහා මුල් ලේඛකයන්ගෙන් අවසර ගත යුතු නිසා.

Sinhala Tamil English Translations and Content Writing

කරන පරිවර්තන අතර රසවත් මෙන් ම හිසේ කැක්කුම හදන විදියේ සංකීර්ණ ලිපි ලේඛනත් තිබෙනවා. වචන ගණන වැඩි කරන්නට එකම දේ නැවත නැවත යොදමින් ලියන ව්‍යාජ ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි සමහර වෙලාවට ඇති කරන්නෙ කේන්තියක්. මොනවා වුණත් ඒ මා දන්නා, මට වැඩි ම ඉල්ලුමක් තිබෙන වෘත්තිය. අවුරුදු දහයකට වැඩි කාලයක් මා කිසිදු ආදායමකින් තොරව බ්ලොග් ලියන්නේ පරිවර්තනයෙන් උපයා ගන්නා ආදායමේ අතිරික්තයෙන්.

වෘත්තීය පරිවර්තකයන් හැම තිස්සෙම කාලයත් එක්ක අරගලයක යෙදිලායි ඉන්නෙ. ඒ නිසා, කොච්චර රසවත් වුණත්, අප කරන දේ දිහා ආපසු හැරී බලන්නට විවේකය පවා ලැබෙන්නෙ කලාතුරකින්.

පසුගිය දිනෙක මා එක් ලේඛනයක් ඉංග්‍රීසි බසින් සිංහල බසට දෙවරක් පරිවර්තනය කළා. මුල් අවස්ථාවේ කළ පරිවර්තනයෙන් මාස දෙකකට විතර පසුව තමයි එම ඡේදය ම නැවත පරිවර්තනය කළේ. කරගෙන යනකොට තමයි මතක් වුණේ මේක මං කලින් කළා නේ ද කියලා. සොයාගෙන අදාළ ඡේද දෙක සන්සන්දනය කරලා බලනකොට ඒ පරිවර්තන දෙක සම්පූර්ණයෙන් ම වෙනස්.

මෙතන උපුටා දක්වා තිබෙන්නේ පහත දැක්වෙන ඡේදයේ කළු අකුරෙන් දැක්වෙන කොටස පමණක් මා පරිවර්තනය කළ හැටියි. ඒ ඡේදය මෙසේයි.

කටින් වචන පිට කිරීමට පෙර සිය හස්ත මුද්‍රා තබා අදහස් මතවාද හුවමාරු කරගත්යුගයක දුරාතීත ලෙන් වාසී මානව වර්ගයා විසින් අතට හසුවන සුලබ ගුරුගල්, දෙඅතේ තැවරෙන මැටි, සත්ව ලේ, ගස් පොතු කහට යනාදියෙන් නිරායාසයෙන් තැබූ සටහන් යයි සිතිය හැකි බිල්ලෑව, තන්තිරිමලේ ඇතුළු පුරාණ ලංකාවේ විසිරී පැතිරී ඇති බොහෝ ලෙන් සටහන්වල පටන් අනුරපුර, පොළොන්නරු, මහනුවර යුග දක්වා අක්‍ර‍මිකව විකාශය වූ ලෝ ප්‍ර‍කට සිතුවම් කලාවක හිමිකරුවන් වන හෙළයා සොබා දහමින් ගොඩනැගූ පසුතලයන්, සොබාදහමින් ම නිපැයූ නෙක වර්ණයන්, සොබා දහමින් ම සකසා ගත් තෙළි තුඩු පින්සල් මගින් සොබා දහමේ ම බිහි වීම, පැවතීම, නැතිවීම යන බෞද්ධාගමික දර්ශනයන් තම චෛතසිකයෙන් විමසා බලා චිත්‍ර‍ණය කර ලොව හමුවේ තබන්නට තරම් කෞශල්‍යයෙන් පිරිපුන්, නිපුණත්වය ප්‍ර‍ගුණ කළ, ස්වයං ගවේශී, ඥාන විමර්ශකයෝ වූ හ.

දැන් බලන්න මා එය මුලින් පරිවර්තනය කළ හැටි.

In the pre-historic time, the humans used gestures to communicate before they invented language. In that time, the cave dwelling man used brown soil, animal blood and the dark staining sap of the crumpled tree barks that was abundant in their environment to keep signs on cave walls. Such paintings can be found in many caves scattered in the island including the ones in Billewa and Thanthirimale.

පහත දැක්වෙන්නේ ඒ කොටස ම මාස දෙකකට පසු මා අතින් පරිවර්තනය වූ හැටියි.

…… The evidence of such heritage is spread throughout the country at numerous places like Billewa, Thanthirimale. These expressive paintings were done by cave dwellers who lived in the past even before the time the man had constructed language. They did these paintings using powdered brown rock, clay applied on their palms, animal blood and stain of tree barks.

මෙයින් මා පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ, එක ම පුද්ගලයකු වුණත් එක ම දෙයක් දෙවරක් පරිවර්තනය කරන විට කෙතරම් වෙනස්කම් සිදු විය හැකි ද යන්නයි. එසේ නම්, එක් ලේඛනයක් දෙදෙනෙකු විසින් පරිවර්තනය කළ විට කෙතරම් නම් වෙනස්කම් සිදු විය හැකි ද?

ඒ අනුව බැලුවා ම පරිවර්තනය කියන්නේ නිර්මාණශීලිත්වයට කොයි තරම් කාර්යභාරයක් කළ හැකි වැඩක් ද කියා සිතාගන්නට පුළුවන්.

මහාචාර්ය සුචරිත ගම්ලත් ඇතැම් පරිවර්තකයන් හැඳින්වීමට පාවිච්චි කළ යෙදුමක් වන්නේ මෙවලම් පරිවර්තකයන් යන්නයි. මගේ උත්සාහය මෙවලම් පරිවර්තකයකු නොවන්නටයි.

1 thought on “පරිවර්තන කලාවේ රසය

  1. The English translation is much simpler and easier to understand than the original one. I had to read the English text and go back to Sinhala to understand what it meant.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.