අජිත් පැරකුම් ජයසිංහ

(දිගු කලක් ආදරයෙන් එකට ජීවත් වූ මගේ ඥාති වැඩිහිටි යුවලක කාන්තාව මිය ගිය පසු ආදාහනාගාරයේ ඇගේ සිරුර දවද්දී, ඇගේ සැමියා අසීමිත දුකක් වාවාගෙන දුම් කවුළුවෙන් නික්ම යන දුම් දෙස බලා සිටිනු දැක සිතට නැගුණ කවි සංකල්පනාවකි.)

බිම සිට මම දැන්

බලා සිටින්නෙමි

දුම් නළයේ

ඈත කෙළවරින්

සිහින් දුමක් වී

ඈතට පාවී

ඔබ මුසු වන හැටි

වළා රොදක් හා

 

 

දුටුවද ඔබ මා

නෙත් විදහා

බලා සිටිනයුරු

ඔබ දකිනාතුරු

ඇසිපිය නොහෙළමි

ඔබ වෙනුවෙන්

ඇසෙනතුරා ඔබ

මා අමතනයුරු

 

 

නොහඬා ගල් වුණ

ඉකිය සිරව ගිය

උගුර දැවෙයි

හද ඇවිළෙයි

 

 

හමුවීමත්

වෙන්වීමත්

අහම්බයක් ම ය

වෙන් විය යුතු ම ය

කඳුළක් නොසලමි

හිස සිඹ සමු දෙමි

ඉතින් යන්න ඔබ

ඉස්සර වූයෙන්

 

 

මගේ ම සිරුරෙන්

කොටසක් දැවේ ය

අග්නි කුටිය තුළ

ඉන් ඔබ නික්මෙත

 

 

ක්ලාන්ත නොම වෙයි

පාවෙයි මා දැන්

සිහිනයක් ය මේ

සැබෑවක් ද ලොව?

 

 

ආදරයෙන් හිස

පිරිමදිනා අත්

දෙනෝ දහක් මැද

සොහොන් පාළුවකි

ඔබ විතරක් නැත

 

 

ඔබ නැති ලොවක් ය

හිස් ම හිස් ය එය

හිස්බව පමණකි

හිස් ම හිස් ම හිස්

Leave comment

Your email address will not be published. Required fields are marked with *.