තානාපති කනා වී. කනනාදන් විසිනි
ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත සමඟ තරග කළ හැකි සුන්දරත්වයක්, උරුමයක් සහ සත්කාරකත්වයක් ශ්‍රී ලංකාවට තිබේ. නමුත්, වැඩිපුර මුදල් වියදම් කරන සංචාරකයන් ගෙන්වා ගැනීමට, සුඛෝපභෝගී අත්දැකීම් දියුණු කිරීමට සහ අපේ ජාත්‍යන්තර අලෙවිකරණ සැලසුම් ගැන නැවත සිතා බැලීමට අප අපොහොසත් වුවහොත්, සංචාරක කර්මාන්තයෙන් ලබා ගත හැකි දැවැන්ත ආර්ථික ප්රතිලාභ ලබා ගැනීමට අප අසමත් වනු ඇත.
වෙනත් බොහෝ රටවල් බිලියන ගණන් වියදම් කරමින් කෘත්‍රිමව නිර්මාණය කර ගන්නා වූ රන්වන් වෙරළ තීර, නෙත් සිත් පිනවන භූමි දර්ශන, පැරණි ශිෂ්ටාචාර, විස්මිත වනජීවී සම්පත්, මීදුමෙන් වැසුණු තේ වතු සහ සුවිශේෂී සත්කාරකත්වය වැනි ස්වාභාවික දායාදවලින් ශ්‍රී ලංකාව ආශීර්වාද ලබා ඇත.
පැය කිහිපයක කෙටි ගමනකින් මෙතරම් විවිධත්වයක් අත්විඳිය හැකි රටවල් ලෝකයේ ඇත්තේ ඉතා ස්වල්පයකි.
එහෙත් අප අපෙන් ම අසා ගත යුතු අසහනකාරී ප්‍රශ්නයක් තිබේ. එනම්, මෙතරම් සම්පත් ඇති රටක්, සංචාරක කර්මාන්තයෙන් දිගින් දිගටම මෙතරම් අඩු ආදායමක් ලබන්නේ ඇයි ද යන්නයි.
ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ ඉලක්ක සපුරා ගන්නා සෑම විටම අපි එය සමරන්නෙමු. දේශපාලනඥයෝ ආකර්ෂණීය සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කරති. සංචාරක බලධාරීහු කර්මාන්තයේ යථා තත්ත්වයට පත් වීම ගැන උදම් අනති. එසේම, කර්මාන්තයේ පාර්ශ්වකරුවෝ ද සංචාරකයන්ගේ පැමිණීම වැඩි වීම සතුටින් පිළිගනිති.
එහෙත් සංචාරක කර්මාන්තය යනු ආගමන විගමන සංඛ්‍යාලේඛන තරගයක් නොවේ. එහි නියම සාර්ථකත්වය මැනිය යුත්තේ පැමිණෙන පිරිසෙන් නොව, ඔවුන් කොපමණ මුදලක් වියදම් කරනවා ද, කොපමණ කාලයක් රැඳී සිටිනවා ද, ඔවුන්ගෙන් කොපමණ රැකියා ප්‍රමාණයක් බිහි වෙනවා ද සහ අපේ ආර්ථිකයට කොපමණ විදේශ විනිමය ප්‍රමාණයක් එකතු වෙනවා ද යන කරුණු මතය.
පාරාදීසයක් වැනි අපේ රට, අඩු වියදමකින් සංචාරය කළ හැකි ලාභදායී ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාව වහාම නතර කළ යුතුය. ඒ වෙනුවට, වැඩි මුදලක් ගෙවා සුවිශේෂී අත්දැකීම් ලබා ගත හැකි වටිනා ගමනාන්තයක් ලෙස එය ලෝකයට හඳුන්වා දීම ආරම්භ කළ යුතුය.

සංඛ්‍යාලේඛනවලින් හෙළි වන කටුක යථාර්ථය
2024 වසරට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගනිමින්, 2025 වසරේදී ශ්‍රී ලංකාවට වාර්තාගත ලෙස සංචාරකයන් මිලියන 2.36ක් පැමිණි අතර එය 15.1%ක විශාල වර්ධනයකි. එහෙත් සංචාරක ආදායම වැඩි වී ඇත්තේ 1.6%කින් පමණි. එනම් ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.17 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.22ක් දක්වා පමණක් වර්ධනය වී තිබේ. මින් අදහස් වන්නේ එක් සංචාරකයකුගෙන් ලැබෙන සාමාන්‍ය ආදායම ඩොලර් 1,543 සිට ඩොලර් 1,363 දක්වා පහත වැටී ඇති බවය. එය ආසන්න වශයෙන් 12%ක අඩු වීමකි.
මහ බැංකුව පෙන්වා දෙන්නේ දෛනික වියදම් ගණනය කිරීමේ ඇස්තමේන්තු සංශෝධනය කිරීම සහ සංචාරකයන් රැඳී සිටින සාමාන්‍ය කාලය අඩු වීම මෙම ආදායම් වර්ධනය දුර්වල වීමට හේතු වී ඇති බවය. ඒ නිසා, සෑම සංචාරකයකුම අඩු මුදලක් වියදම් කර ඇතැයි කියා මේ සංඛ්‍යා සෘජුවම අර්ථකථනය නො කළ යුතුය.
කෙසේ වෙතත්, මෙයින් වැදගත් ප්‍රතිපත්තිමය ගැටලුවක් මතු වේ. 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ තාවකාලික සංචාරක ආදායම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 2.06ක් විය. නමුත් 2025 වසරේ එම කාල සීමාව තුළ ආදායම ඩොලර් බිලියන 2.29ක් ලෙස වාර්තා විය. ඒ අනුව, සංචාරක පැමිණීම් ආසන්න වශයෙන් 2%කින් පහත වැටී තිබේ.
ආදායම් ගණනය කිරීමේ ක්‍රමවේද වෙනස් වීම නිසා මේවා සෘජුවම සංසන්දනය කිරීම අපහසු වුවත්, මෙම සංඛ්‍යාලේඛන මඟින් එක් වැදගත් දෙයක් තහවුරු කරයි. එනම්, සංචාරකයන් පැමිණෙන ප්‍රමාණය ගැන පමණක් නොව, ඔවුන්ගෙන් ලැබෙන වටිනාකම කෙරෙහි ද අප අවධානය යොමු කළ යුතු බවය. අඩු මිල ගණන් යටතේ හෝටල් කාමර පිරවීමෙන් පමණක් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 10ක වටිනාකමක් ඇති සංචාරක කර්මාන්තයක් ගොඩනැඟිය නො හැක.
අපේ තරගකරුවන් වඩාත් හොඳින් තේරුම් ගෙන ඇති දේ
මාලදිවයින දෙස බලන්න. ජාත්‍යන්තරව පිළිගත් සුඛෝපභෝගී නිවාඩු නිකේතන, පෞද්ගලික දූපත්, ඉහළ පෙළේ නවාතැන් පහසුකම් සහ ශක්තිමත් ප්‍රවර්ධන ක්‍රමවේද හරහා කුඩා දූපත් රටකට විශාල සංචාරක ආදායමක් උපයා ගත හැකි බව මාලදිවයින ලෝකයට පෙන්වා දී තිබේ.
සීෂෙල්ස් රාජ්‍යය මීට තවත් හොඳ උදාහරණයකි. 2025 වසරේදී 400,000කටත් අඩු සංචාරකයන් පිරිසක් ගෙන්වා ගනිමින් ඩොලර් බිලියන 1.2කට ආසන්න ආදායමක් උපයා ගැනීමට එම රට සමත් වී ඇත.
ශ්‍රී ලංකාව 2025දී එක් සංචාරකයකුගෙන් ඩොලර් 1,363ක් උපයන විට, සීෂෙල්ස් රාජ්‍යය එක් සංචාරකයකුගෙන් ආසන්න වශයෙන් ඩොලර් 3,000ක මුදලක් උපයා ගෙන තිබේ. දත්ත වාර්තා කිරීමේ ක්‍රමවේද, නවාතැන් වියදම් සහ සංචාරකයන්ගේ පැතිකඩ අනුව රටවල් දෙකක් මෙලෙස සංසන්දනය කිරීමේදී ප්‍රවේශම් විය යුතු බව ඇත්තකි. නමුත්, මෙයින් අපට ගත හැකි උපායමාර්ගික පාඩම ඉතා පැහැදිලිය.
මොරිෂස් රාජ්‍යය මේ වන විට සුඛෝපභෝගී නිවාඩු ගත කිරීම්, මධුසමය සහ විවාහ මංගල්‍ය මෙන්ම ගොල්ෆ් සංචාරක කර්මාන්තය සඳහා කදිම ගමනාන්තයක් ලෙස සාර්ථකව ස්ථාපිත වී ඇත. ඒ අතරතුර කෙන්යාව, සිය ඉහළ පෙළේ වනජීවී සෆාරි අත්දැකීම් සුඛෝපභෝගී ලැගුම්හල්, වෙරළබඩ නිවාඩු නිකේතන, ජාත්‍යන්තර සම්මන්ත්රණ සහ ව්‍යාපාරික සංචාරක ව්‍යාපාරය සමඟ සාර්ථකව සම්බන්ධ කර තිබේ.
දශක ගණනාවක් අප්‍රිකාවේ ජීවත් වූ මා, කෙන්යාව වැනි රටවල් තමන්ගේ ස්වාභාවික සම්පත් ජාත්‍යන්තරව අලෙවි කළ හැකි ඉහළ පෙළේ ආකර්ෂණීය අත්දැකීම් බවට පත් කර ගෙන ඇති ආකාරය දැක තිබේ.
කෙටි දුරක් තුළ පුළුල් විවිධත්වයක් අත්විඳිය හැකි ශ්‍රී ලංකාවට ද ඇත්තේ මෙවැනි ම වාසිදායක තත්ත්වයකි. අපේ තරගකාරී රටවල් හුදෙක් සංචාරය කිරීමට ස්ථානයක් පමණක් අලෙවි කරන්නේ නැත. ඔවුහු සුවිශේෂීත්වය, පහසුව, අත්දැකීම් සහ සුන්දර මතක අලෙවි කරති.
එසේනම්, ශ්‍රී ලංකාව මෙතරම් අඩු ප්‍රතිලාභයකින් සෑහීමකට පත් වන්නේ ඇයි?
ගමනාන්ත විවාහ මංගල්‍ය (Destination Weddings): ස්වර්ණමය අවස්ථාවක්
ජාත්‍යන්තර ගමනාන්ත විවාහ මංගල්‍ය වෙළඳපොළ යනු ශ්‍රී ලංකාවට ඇති, තවමත් නිසි ප්‍රයෝජන ගෙන නොමැති විශාලතම අවස්ථාවකි. ධනවත් ඉන්දියානු පවුල්, විදෙස්ගත දකුණු ආසියාතිකයන් සහ ජාත්‍යන්තර යුවල විදේශීය ආකර්ෂණීය ස්ථානවල තම විවාහ මංගල්‍ය සැමරීමට විශාල මුදලක් වියදම් කරති.
මොරිෂස්, මාලදිවයින, තායිලන්තය සහ බාලි යන රටවල් මෙම වෙළඳපොළ තුළ මේ වන විටත් ප්‍රබල ස්ථානයක් හිමි කර ගෙන සිටී.
එසේනම් ශ්‍රී ලංකාවට එසේ කළ නො හැක්කේ ඇයි?
ගාල්ලේ ඉන්දියන් සාගරය පසුබිම් කර ගෙන පවත්වන දැවැන්ත ඉන්දියානු විවාහ මංගල්‍යයක්, ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක පවත්වන දර්ශනීය සැමරුමක් හෝ මධ්‍යම කඳුකරයේ සුන්දර පරිසරය මැද පවත්වන සුවිශේෂී උත්සවයක් ගැන මොහොතක් සිතා බලන්න.
එක් ගමනාන්ත විවාහ මංගල්‍යයක් සඳහා අමුත්තන් දුසිම් ගණනක් හෝ සිය ගණනක් වුව ද සහභාගි විය හැකිය. මෙවැනි උත්සවයකින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභය හෝටල් කාමර වෙන් කරවා ගැනීම්වලට පමණක් සීමා නොවේ.
ආහාරපාන සැපයීම, සැරසිලි, විනෝදාස්වාදය, ඡායාරූපකරණය, ප්‍රවාහනය, සාප්පු සවාරි, උත්සව කළමනාකරණය සහ වෙනත් ස්ථාන නැරඹීම යනාදී මේ සියලු අංශ හරහා රැකියා මෙන්ම විදේශ විනිමය ද උත්පාදනය වේ.
ඉන්දියාව, මැදපෙරදිග සහ විදෙස්ගත ධනවත් ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව “Weddings in Sri Lanka” නමින් සුවිශේෂී ජාත්‍යන්තර ප්‍රවර්ධන මෙහෙයුමක් දියත් කළ යුතුය.
වෘත්තීය මට්ටමේ පැකේජ, පහසු ගමන් පහසුකම් සහ ජාත්‍යන්තරව තරගකාරී සේවා ලබා දීම සඳහා හෝටල්, ගුවන් සේවා, විවාහ මංගල්‍ය සැලසුම්කරුවෝ සහ සංචාරක බලධාරීහු එකට එක්ව කටයුතු කළ යුතුය.
මේ සඳහා හුදෙක් ආකර්ෂණීය වෙළඳ දැන්වීම් පමණක් ප්‍රමාණවත් නොවේ. විශ්වාසදායක යටිතල පහසුකම්, වෘත්තීය උත්සව කළමනාකරණය සහ අඛණ්ඩ ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ද අත්‍යවශ්‍ය වේ.
සුඛෝපභෝගී සංචාරක කර්මාන්තය: අඩු මිල මත පමණක් තරග කිරීම නවත්වන්න
ශ්‍රී ලංකාව අඩු වියදම් සංචාරකයන් සම්පූර්ණයෙන්ම අත් හැර දැමිය යුතු නැත. දෙඋරින් බෑග් රැගෙන පා ගමනින් සංචාරය කරන්නන් (backpackers) සහ ස්වාධීන සංචාරකයෝ ප්‍රාදේශීය ජනතාවට මෙන්ම කුඩා ව්‍යාපාරවලට ද විශාල සහයෝගයක් ලබා දෙති. එහෙත්, ජාත්‍යන්තර තලයේදී අපගේ ප්‍රධානතම ආකර්ෂණය ලෙස “අඩු මිලට නිවාඩුවක්” යන්න තවදුරටත් යොදා ගත නො හැක.
ඒ වෙනුවට සුඛෝපභෝගී වනජීවී සෆාරි, සුවිශේෂී තේ වතු ආශ්රිත නවාතැන්, ඉහළ පෙළේ ආයුර්වේද සහ සුවතා (wellness) නිවාඩු නිකේතන, වැදගත් උරුම සහිත බුටික් (boutique) හෝටල්, ඉහළ මට්ටමේ ආහාරපාන අත්දැකීම් සහ පෞද්ගලික වෙරළබඩ සංචාර වැනි දේ රටක් ලෙස අප සක්‍රියව දියුණු කළ යුතුය.
ධනවත් සංචාරකයෝ පෞද්ගලිකත්වය, විශ්වාසනීයත්වය, සුවිශේෂී සේවාව සහ සුන්දර මතක වෙනුවෙන් විශාල මුදලක් ගෙවීමට බොහෝ විට කැමැත්තෙන් සිටිති.
කෙසේ වෙතත්, අප ඔවුන්ගෙන් අය කරන සුඛෝපභෝගී මිල ගණන්වලට සරිලන උසස් ප්‍රමිතියක් අප ලබා දිය යුතුය. මාර්ගවල දුර්වලතා, අක්‍රමවත් ප්‍රවාහන පහසුකම්, අපිරිසිදුකම, ගුවන් තොටුපොළේ ඇති වන අපහසුතා සහ විශ්වාසය තැබිය නො හැකි සේවා නිසා කොතරම් ඉහළ පෙළේ හෝටලයක වුව ද කීර්තිනාමයට හානි විය හැකිය. ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරකයෝ ගුවන් තොටුපොළට පැමිණි මොහොතේ සිට ආපසු යන මොහොත දක්වා කිසිදු බාධාවකින් තොර සුමට අත්දැකීමක් අපේක්ෂා කරති.
එබැවින් ඉහළ පෙළේ සංචාරක කර්මාන්තයක් සඳහා යටිතල පහසුකම්, වෘත්තීය පුහුණුව, පරිසර ආරක්ෂාව සහ විශිෂ්ට සේවාවක් වෙනුවෙන් සම්බන්ධීකරණය කරන ලද ආයෝජනයක් අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාව තරග කළ යුත්තේ ලාභදායීත්වය මත පමණක් නොව උසස් ගුණාත්මය මතය.
ප්‍රවේශ විය හැකි සංචාරක කර්මාන්තය (Accessible Tourism): මඟ හැරුණු ආර්ථික අවස්ථාවක්
අපට අවධානය යොමු කළ හැකි තවත් වැදගත් වෙළඳපොළක් වන්නේ ප්‍රවේශ විය හැකි සංචාරක කර්මාන්තය ය. ‘Inclusive Tourism Australia’ ආයතනයේ නිර්මාතෘ මෙලිසා ජේම්ස් පෙන්වා දෙන පරිදි, ජාත්‍යන්තර සංචාරකයන්ගෙන් හතරෙන් එකකට පමණ මෙවැනි විශේෂ පහසුකම් අවශ්‍ය වන බවට ඇස්තමේන්තු කර ඇත.
මෙම වෙළඳපොළට වැඩිහිටි සංචාරකයෝ, ඇවිදීමේ අපහසුතා ඇති පුද්ගලයෝ සහ අමතර සහාය අවශ්‍ය අමුත්තෝ අයත් වෙති. බොහෝ විශ්‍රාමිකයන් අත වියදම් කිරීමට සැලකිය යුතු මුදලක් ඇත. ඔවුහු පහසු මෙන්ම දීර්ඝකාලීන නිවාඩු ගත කිරීම්වලට කැමති වෙති.
ශීඝ්‍රයෙන් වර්ධනය වන මෙම අංශය සඳහා ශ්‍රී ලංකාව කදිම ගමනාන්තයක් කර ගත හැකිය. එහෙත්, ප්‍රවේශ වීමේ හැකියාව යනු හෝටලයකට රෝද පුටුවක් යා හැකි ආකාරයේ බෑවුමක් (ramp) සෑදීම පමණක් නොවේ.
ඒ සඳහා ආබාධිත අමුත්තන්ට පහසුවෙන් භාවිත කළ හැකි ප්‍රවාහන පහසුකම්, ඒ පිළිබඳව මනා පුහුණුවක් ලැබූ සේවකයන්, ඊට සුදුසු සංචාරක ආකර්ෂණ ස්ථාන, විශ්වාසදායක තොරතුරු සහ ඒ සඳහාම සැකසූ සම්පූර්ණ ගමන් සැලසුම් අවශ්‍ය වේ. මෙම පහසුකම් දියුණු කිරීමෙන් අපගේ සංචාරක තරගකාරීත්වය මෙන්ම සමාජයේ සියලු දෙනා ඇතුළත් කර ගැනීමේ ප්‍රතිපත්තිය ද තවදුරටත් ශක්තිමත් වනු ඇත.
අලෙවිකරණයෙන් බලාපොරොත්තු විය යුත්තේ හුදු ප්‍රසිද්ධියක් නොව, ආදායමක් ගෙන ඒමය
ශ්‍රී ලංකාවේ සංචාරක අලෙවිකරණ උපායමාර්ගයේ මූලික වෙනසක් සිදු විය යුතුව තිබේ. ජාත්‍යන්තර ප්‍රදර්ශන, ප්‍රවර්ධන මෙහෙයුම් සහ විදේශීය ප්‍රවර්ධන වැඩසටහන්වලට යම් වැදගත්කමක් ඇති බව සැබෑය. එහෙත්, මෙමඟින් සැබවින්ම ඉහළ වටිනාකමකින් යුත් වෙන් කරවා ගැනීම් (bookings) කොපමණ ප්‍රමාණයක් සිදු වෙනවා ද?
මෙම ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස අපට අමතර විදේශ විනිමය කොපමණ ප්‍රමාණයක් ලැබෙනවා ද? මේ ප්‍රවර්ධන කටයුතු සඳහා කරන වියදම්වලින් රටට ලැබෙන මැනිය හැකි ප්‍රතිලාභය කුමක් ද?
මේ ප්‍රශ්න සඳහා ඉතා පැහැදිලි පිළිතුරු ලැබිය යුතුය. ශ්‍රී ලංකාව පැහැදිලිව හඳුනා ගත් වෙළඳපොළවල් ඉලක්ක කර ගනිමින් තම ප්‍රවර්ධන කටයුතු දියත් කළ යුතුය. ගමනාන්ත විවාහ මංගල්‍ය, සුඛෝපභෝගී පවුලේ නිවාඩු සහ සම්මන්ත්රණ යන අංශ සඳහා ඉන්දියාව දැවැන්ත වෙළඳපොළකි.
මැදපෙරදිග කලාපයෙන් ඉහළ පෙළේ විවේක සහ සුවතා සංචාරක කර්මාන්තයක් සඳහා විශාල විභවයක් තිබේ. සංස්කෘතික, ස්වභාවධර්මය මත පදනම් වූ සහ දීර්ඝකාලීන සංචාර සඳහා යුරෝපය තවදුරටත් වැදගත් වේ. එසේම, උතුරු ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාවෙන් සුවිශේෂී අත්දැකීම් සොයා එන සංචාරකයන් ආකර්ෂණය කර ගත හැක.
වඩාත් හොඳ ගුවන් සබඳතා, පහසු ගමන් මාරු කිරීම් සහ විධිමත් ගමනාන්ත ප්රවර්ධනයක් හරහා ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් අපගේ උපායමාර්ගික හවුල්කරුවන් බවට පත් කර ගත යුතුය.
විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා ජාත්‍යන්තර විවාහ මංගල්‍ය සැලසුම්කරුවන්, සුඛෝපභෝගී සංචාරක ජාල, සම්මන්ත්රණ සංවිධායකයන් සහ විභව ආයෝජකයන් අපගේ සංචාරක බලධාරීන් සමඟ සක්‍රියව සම්බන්ධ කළ යුතුය.
ආර්ථික රාජ්‍ය තාන්ත්රිකත්වය යනු හුදෙක් ප්‍රවර්ධන උත්සව සංවිධානය කිරීම පමණක් නොවේ. ඉන් හෝටල් කාමර පිරවීමට, ආයෝජන ගෙන ඒමට සහ විදේශ විනිමය උත්පාදනය කිරීමට සෘජුවම සහාය ලැබිය යුතුය.
පැහැදිලි ප්‍රතිඵල මැනිය හැකි පස් අවුරුදු සැලැස්මක්
පැහැදිලි ඉලක්ක සහ වාර්ෂිකව ප්‍රගතිය මැන බලන, සංචාරක කර්මාන්තයේ වටිනාකම ඉහළ නැංවීමේ පස් අවුරුදු සැලැස්මක් ශ්‍රී ලංකාවට මේ මොහොතේ දැඩිව අවශ්‍ය වී තිබේ. එහි ප්‍රමුඛතාව දිය යුත්තේ ඉහළ පෙළේ සංචාරක කර්මාන්තය, ගමනාන්ත විවාහ මංගල්‍ය, ජාත්‍යන්තර සම්මන්ත්රණ, සුවතා සංචාරක කර්මාන්තය, විශේෂ අවශ්‍යතා ඇති අයට ප්‍රවේශ විය හැකි සංචාර සහ ශක්තිමත් ගුවන් සේවා සබඳතා ගොඩනැඟීම කෙරෙහිය. සංචාරක වියදම් දේශීය ප්‍රජාව අතට පත් වන බවට සහතික වීම ද ඒ හා සමානවම ඉතා වැදගත් වේ.
සංචාරක කර්මාන්තය පුළුල් වීමේ ප්රතිලාභ ගොවීන්ට, ශිල්පීන්ට, ආපනශාලාවලට, ප්‍රවාහන සේවා සපයන්නන්ට, කුඩා හෝටල් හිමියන්ට සහ දේශීය ව්‍යවසායකයන්ට සෘජුවම ලැබිය යුතුය.
සංචාරකයන්ගේ වියදම්, ඔවුන් පැමිණෙන ප්‍රධාන රටවල්, ඔවුන් රැඳී සිටින කාලය සහ එමඟින් දේශීය ආර්ථිකයට එකතු වූ වටිනාකම පිළිබඳව බලධාරීහු නිවැරදි සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කළ යුතුය.
විශ්වාසදායක දත්ත නොමැතිව සකසන සංචාරක ප්‍රතිපත්ති හුදෙක් අනුමාන කිරීම් පමණක් වනු ඇත. ශ්‍රී ලංකාවේ ඉලක්කය විය යුත්තේ සංචාරක කර්මාන්තයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 5ක්, ඉන්පසු ඩොලර් බිලියන 7ක් සහ අවසානයේදී ඩොලර් බිලියන 10ක් උත්පාදනය කිරීමය.
මේවා හුදෙක් දේශපාලන පොරොන්දු බවට පත් නො කර, ආයෝජන සහ යථාර්ථවාදී සැලසුම් මත පදනම් වූ, ප්‍රවේශමෙන් සකස් කළ ඉලක්ක බවට පත් කර ගත යුතුය.
සංචාරකයන්ගේ හිස් ගණන් කිරීම නවත්වන්න. ඔවුන්ගෙන් ලැබෙන වටිනාකම ගණනය කරන්න.
ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ෂණවල කිසිදු අඩුවක් නැත. අපට අඩුවක් වී ඇත්තේ එම ආකර්ෂණීය ස්ථාන රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් ඵලදායීව යොදා ගැනීමේ අභිලාෂකාමී සහ වාණිජමය වශයෙන් ප්‍රායෝගික උපායමාර්ගයකි.
සුඛෝපභෝගී සන්නාමකරණයෙන් කළ හැකි දේ මාලදිවයින පෙන්වා දී තිබේ. ඉහළ පෙළේ සංචාරක කර්මාන්තයේ වටිනාකම සීෂෙල්ස් රාජ්‍යය ඔප්පු කර ඇත. ප්‍රේමාන්විත සහ සුවිශේෂී නිවාඩු ගත කිරීම් මොරිෂස් රාජ්‍යය සාර්ථකව ලෝකයට අලෙවි කර තිබේ. කෙන්යාව සිය වනජීවී සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර ව්‍යාපාරික සංචාර සමඟ මනාව බද්ධ කර ඇත.
මේ සියලු අංශ හරහා ඔවුන් සමඟ තරග කිරීමට අවශ්‍ය සෑම විභවයක්ම ශ්‍රී ලංකාව සතුය.
එහෙත් විභවතාවක් හෝ සම්පත් තිබූ පමණින් ඉබේම විදේශ විනිමය ජනනය වන්නේ නැත.
රජය සහ සංචාරක කර්මාන්තය සංචාරකයන්ගේ පැමිණීමේ වාර්තා සැමරීමෙන් ඔබ්බට යා යුතුය. ඒ වෙනුවට වැඩිපුර වියදම් කරන සංචාරකයන්, ජාත්‍යන්තර විවාහ මංගල්‍ය, ඉහළ පෙළේ අත්දැකීම් සහ ගුණාත්මක ආයෝජන ගෙන්වා ගැනීම වෙනුවෙන් තරග කිරීම ආරම්භ කළ යුතුය.
අප නැඟිය යුතු මූලික ප්රශ්නය ඉතා සරලය: සංචාරකයන් මිලියන ගණනින් ගෙන්වා ගත්ත ද, ඔවුන්ගෙන් රටේ ආර්ථිකයට ලැබිය යුතු උපරිම ප්‍රතිලාභය ලබා ගැනීමට අප අසමත් වන්නේ නම් එහි ඇති ආර්ථික ජයග්‍රහණය කුමක් ද?
ශ්‍රී ලංකාව තවදුරටත් අඩු වියදමකින් නිවාඩුවක් ගත කළ හැකි ගමනාන්තයක් වීමට පමණක් බලාපොරොත්තු නො විය යුතුය. ලෝකයේ වඩාත්ම ආකර්ෂණීය සහ ඉහළ වටිනාකමක් ඇති ගමනාන්තයක් බවට පත් වීම අපගේ අරමුණ විය යුතුය.
පාරාදීසයක් දැනටමත් අපට හිමිය. දැන් අපට ඇති අභියෝගය වන්නේ එය කුණු කොල්ලයට විකිණීම නැවැත්වීමය.

(මෙම ලිපියේ රචකයා වන තානාපති කනා කනනාදන් මහතා උගන්ඩාවේ කම්පාලා නුවර ඉම්පීරියල් හෝටල් සමූහයේ (Imperial Group of Hotels Kampala) විධායක අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරයි. ව්‍යාපාරිකයකු, හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ උද්දේශකවරයකු වන ඔහු, අප්‍රිකානු කලාපය පිළිබඳ දශක හතරකට වැඩි අත්දැකීම් ඇති විශේෂඥයෙකි. දිගු කාලයක් අප්‍රිකාවේ පදිංචිව සිටි ඒ මහතා, අප්‍රිකානු ජාතීන් 22ක් සඳහා සමගාමී අක්තපත්‍ර සහිතව උගන්ඩාවේ සහ කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ද, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN-Habitat) සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නිත්‍ය නියෝජිතවරයා ලෙස ද සේවය කළේය. මුළු අප්‍රිකානු මහද්වීපය පුරාම ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකවරයකු ලෙස කටයුතු කරන තානාපතිවරයා, අප්‍රිකානු නායකයන් සමඟ දිගුකාලීන සබඳතා ගොඩනඟා ගනිමින් එරට රජයන් සමඟ ද සමීපව කටයුතු කර ඇත. ඔහු ගිනියා ජනරජයේ හිටපු ජනාධිපති මහාචාර්ය ඇල්ෆා කොන්ඩේ මහතාගේ ආර්ථික සහ ආයෝජන උපදේශකවරයා ලෙස ද කටයුතු කර තිබේ.)











