Imaad Shah Zuberi

අජිත් නිවාඩ් කබ්රාල් සුබේරි සමග රටට අහිමි කළ ඩොලර් මිලියන 8.5

මහබැංකුවට අලුතෙන් පත්කරන ලද අජිත් නිවාඩ් කබ්රාල් යනු දේශපාලකයෙකි. ඔහුගේ පත්වීම මහබැංකුව සම්බන්ධ නීතිවලට හා ආචාරධර්මවලට පටහැණිය. රජිත් කීර්ති තෙන්නකෝන් විසින් එම පත්වීම අභියාචනාධිකරණයේදී අභියෝගයට ලක්කර තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් යනු රාජපක්ෂ පවුලේ ඉත්තකු වන වංචනික පුද්ගලයකු බව නොදන්නා කෙනෙකු සිටිය නොහැකිය. ප්‍රෝඩාකාරී රාජපක්ෂ පවුල යළි බලයට පත්කිරීම නම් ඓතිහාසික මුග්ධකම සිදුකළ ලාංකික ජනතාව අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකුවට පත්කිරීම පිළිබඳ එතරම් විමතියට පත්නොවනු ඇත.

කබ්රාල්ට චෝදනා රැසක් තිබේ. එක්සත් ජනපදය විසින් අපරාධ වැරදි සඳහා සිරගත කර තිබෙන ඉමාඩ් ෂා සුබේරිට 2014දී ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදය තුළ රටේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා ඩොලර් මිලියන 8.5ක් මහබැංකුව හරහා ගෙවා තිබේ. එවකට මහබැංකුවේ අධිපති ධුරය හෙබවූයේ අජිත් නිවාඩ් කබ්රාල්ය. කැබිනට් අනුමැතියකින් තොරව සිදුකරන ලද මෙම ගනුදෙනුවේ කතාව කුතුහලය දනවන එකකි.

50 හැවිරිදි ඉමාඩ් ෂා සුබේරි යනු යනු කැලිෆෝනියාවේ ආකේඩියාහි ව්‍යාපාර වස්තු ධනවාදියෙකි. එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණයක් විසින් පසුගියදා ඔහු අවුරුදු 12ක සිර දඬුවමකට හා වන්දි වශයෙන් ඩොලර් මිලියන 15කට හා ඩොලර් මිලියන 1.75ක දඩයකට ලක්කරන ලදී. එයට හේතුව වන්නේ විදේශ නියෝජිතයකු ලෙස එක්සත් ජනපද රජයේ ඉහළ නිලධාරීන් හට බලපෑම් කිරීමේ කටයුතු පිළිබඳ බොරු වාර්තා ඉදිරිපත් කිරීම, ඩොලර් මිලියන ගණනක් බදු වංචා කිරීම, නීති විරෝධී අන්දමින් ක්‍රියාමාලාවලට දායකත්වය සැපයීම හා ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් වෙනුවෙන් අරමුදල් ලැබුණු ආකාරය පිළිබඳ ෆෙඩරල් රජයේ විමර්ශනයකට බාධා කිරීමයි.

සුබේරිගේ බොරු වාර්තා ඉදිරිපත් කිරීම එක්සත් ජනපදයේ විදේශ නියෝජිතයන් ලියාපදිංචි කිරීමේ පනතට පටහැනි ක්‍රියාවකි. ඔහුගේ ක්‍රියාකලාපය ගැන ජාතික ආරක්ෂාව පිළිබඳ සහකාර නීතිපති ජෝන් සී. ඩීමර්ස් මෙසේ පවසයි: “සුබේරි ලියාපදිංචි නොවූ විදේශ නියෝජිතයකු ලෙස සිට ව්‍යාපාරිකයකු බවට පත්වුණා. ඔහු නීති විරෝධී ක්‍රියාමාලාවන්ට දායක වීම සඳහා විදේශ මුදල් භාවිතා කළා. එමගින් ඔහු දේශපාලනික වශයෙන් බලපෑම් කිරීමේ හැකියාව ලබාගත්තා. ඔහු එම බලපෑම් හැකියාව පාවිච්චි කළේ විවිධ විදේශීය බලවේග වෙනුවෙන් ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකිරීමට එක්සත් ජනපද නිලධාරීන් පොළඹවාගැනීමයි.”

එයට අමතරව ඔහු එක්සත් ජනපදයේ දේශපාලන ක්‍රියාමාලාවලට විදේශ මුදල් යොදවා තිබේ. මේ අතර ඔහු බදු ගෙවීම ද පැහැරහැරියා. ඒ විතරක් නෙමෙයි, ඔහුට මුදල් ලබාදුන් පුද්ගලයන්ට වංචා ද කළා.

ඔහු ශ්‍රී ලංකාවෙන් මුදල් ලබාගෙන තිබෙන්නේ ද එවැනි කූට ක්‍රියාවක් වෙනුවෙනි. එනම්, එක්සත් ජනපද නිලධාරීන්ට බලපෑම් කිරීම හරහා ඒ වන විට ශ්‍රී ලංකා රජයට අහිමි වූ කීර්තිය, පිළිගැනීම නැවත ලබාදීමයි. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපය පිරිහීමට ලක්වී තිබුණේ රටේම ජනතාවට එරෙහිව කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිසාය.

නිලධාරීන්ට බලපෑම් කිරීම සඳහාත්, නීතිමය කටයුතු වෙනුවෙනුත්, මාධ්‍ය මිලදීගැනීම සඳහාත් විශාල වියදමක් කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එකඟ කරගත් සුබේරි ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 8.5ක් ලබාදීමට ශ්‍රී ලංකාව එකඟ කරගත්තේය. මාස හයක ක්‍රියාවලියක් වූ මෙම කාර්යය වෙනුවෙන් ශ්‍රී ලංකාව වහාම ඩොලර් මිලියන 3.5ක් ගෙවුවේය. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව මෙම ඩොලර් මිලියන 8.5න් ඩොලර් මිලියන 6.5ක් ම සුබේරිට ගෙවන ලදී. ඔහු එයින් ඩොලර් මිලියන 5.65ක්ම තමන්ගේ හා තම බිරිඳගේ සුඛ විහරණය සඳහා යොදාගත්තේය. නිලධාරීන්ට බලපෑම් කිරීම, මහජන සම්බන්ධතා ආයතන හා නීති ආයතන සඳහා ඔහු වැය කළේ ඩොලර් 850,000ක් පමණි. ශ්‍රී ලංකාව විසින් මුදල් ලබා නොදුන් බව කියා ඇතැම් උප කොන්ත්‍රාත්කරුවන්ට මුදල් නොගෙවා පොල්ල තැබීමට ද ඔහු කටයුතු කළේය.

අජිත් නිවාඩ් කබ්රාල් විසින් පාලනය කරන ලද ශ්‍රී ලංකා මහබැංකුව හරහා සුබේරිට ලබාදුන් මෙම දැවැන්ත මුදල් කන්දරාව වනාහි මැදපෙරදිග ශ්‍රමිකයන් වැනි දුක් විඳින ජනයා විසින් මේ රටට දුකසේ උපයා දුන් මුදල්ය. අජිත් නිවාඩ් කබ්රාල් හා මහින්ද රාජපක්ෂ ඇමරිකානු පල්හොරෙකුට ලබාදුන් ඒ මුදල් ගැන පසුගිය යහපාලන රජය හෝ විමර්ශනයක් සිදුකළේ නැත.

දැන් නැවතත් ශ්‍රී ලංකා මහබැංකුව භාරදෙන්නට යන්නේ දැනට හිරේ සිටින සුබේරිගේ මේ යහළුවාටය.

ඉංග්‍රීසියෙන් කියවන්න