ස්වාධීන කොමිෂන් සභාවලට ‘තරුණියන්’ පත්කරනු!

අජිත් පැරකුම් ජයසිංහ
පුද්ගලයෙකුට තනතුරක් දුන්නාම ඒ පුද්ගලයා ඒ තනතුරට අදාළ විදියට රඟපාන එකට තමයි වෘත්තිකභාවය කියන්නෙ. ඒකට තමන්ගෙ හෘදය සාක්ෂිය එහෙමම තියාගෙන තනතුරේ වගකීමට මුල්තැන දෙන්නට ඕනැ. එස්කිමෝවරුන්ට ෆ්‍රිජ්වලින් වැඩක් නැති බව දැන දැනම වුණත්, උන්ට ෆ්‍රිජ්වල වටිනාකම කියල දෙන්න ඕනැ. නැතිනම් ඒ තනතුර නොගෙන ඉන්න ඕනැ. මං කරපු සමහර රස්සාවලදි මං එහෙම රඟපාලා තියෙනවා. ඒ බොරු දිගටම කරන එක තේරුමක් නැතිය කියල හිතුණු නිසා තමයි මං රස්සා කරන එක අතහැර දැම්මෙ. තමන් කැමති දේ විතරක් කරන එක ආර්ථිකවත් හරිම අමාරු වැඩක්.
ස්වාධීන කියන්නෙත් රඟපෑමක්. ස්වාධීන කොමිෂන් සභාවලට හොඳ නළුවන් පත්කරන්න ඕනැ. ස්වාධීන නිසා වෙන අයට අධ්‍යක්ෂණය කරන්නත් බැහැනෙ. ඒ නිසා තමන්ම අධ්‍යක්ෂණය කරගන්නටත් පුළුවන් වෙන්න ඕනැ. බල දේශපාලනය සම්බන්ධයෙන් තමන්ගෙ ආශාවන් පාලනය කරගන්නට බැරි අය ස්වාධීන කොමිෂන් සභාවලට පත් නොකළ යුතුයි. ස්වාධීන කොමිෂන් සභා පත්කරන්නෙම පරිපාලනයත් බල දේශපාලනයත් අතර යම් පරතරයක් හදන්නටයි. ඒ දෙක අතර අනිසි සම්බන්ධතාව මගින් දූෂණය ඇතිවිය හැකි බව ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයකු වන වුඩ්රෝ විල්සන් පවසා තිබෙනවා.
පහුගිය වතාවේ ජෝක් වුණ ස්වාධීන කොමිෂන් සභාවලින් අංක එක තමයි මැතිවරණ කොමිෂන් සභාව. පොලිස් කොමිෂන් සභාව ජෝක් වීමේ වැඩිම සම්භාවිතාවක් තියෙද්දි අඩුවෙන් එහෙම වුණ එකක්. සීමා නිර්ණය කොමිෂන් සභාව වගේ ඒවට මහජන මුදල් නාස්ති කිරීමේ තේරුමක් තියෙනවාද මන්දා. දැනටත් ජෝක් වෙමින් තිබෙන කොමිෂන් සභාවක් තමයි තොරතුරු කොමිෂම. ඒක කොච්චර ස්වාධීන කොමිෂන් සභාවක්ද කියන එක පැහැදිලි නැහැ.
ලංකාවෙ ඉහළ පෙළේ වෘත්තිකයන් තමයි ලංකාව හෑවෙ. දේශපාලකයන් කළේ ඒකෙ ගොම්පස් දාන එක. මේ රටේ ජනතාව මේ නෙළාගන්නෙ තමන් වපුරපු දේ පින්වතුනි.
ස්වාධීන කොමිෂන් සභාවලට ‘තරුණියන්’ පත්කරනු!
ස්වාධීන කොමිෂන් සභාවලට තරුණයන් හෝ තමන් තරුණයන් යයි කියන විශ්‍රාම පූර්ව වයස්වල සිටින්නන් පත්කරන්නට බැරි හේතුවක් තිබේ නම් කියන්න.

රාජ්‍ය අනුග්‍රහයෙන් පිට පළාතක පැවැත්වෙන අවමංගල්‍යෝත්සවයක් මගින් ඉතා හොඳ විනෝදයක් ලබා ගැනීමට කොළඹ සිටින රජයේ නිලධාරීන්ටත් ඇතැම් දේශපාලනඥයන්ටත් පුළුවන. එවැනි ආදාහන පූජෝත්සවයක් සඳහා ආණ්ඩුවේ වාහන සීයත් දෙසීයත් අතර ගණනක් කොළඹින් පිටත්වීම සිරිතය. ආදාහන පූජෝත්සවය දවසක වැඩකි. ලංකාව යනු දවසක් ඇතුළත ඕනෑම තැනකට ළඟා විය හැකි මාර්ග පද්ධතියක් ඇති රටකි. එබැවින් පිට පළාතක පැවැත්වෙන ආදාහන පූජෝත්සවයක් සඳහා එදිනම උදේ ගොස් රෑ වනවිට ගෙදර පැමිණීමට ඕනෑම කෙනකුට හැකියාවක් ඇත. එහෙත් මෙවැනි උළෙලකට සහභාගී වන ඇතැම් දේශපාලනඥයන් සහ ඇතැම් රාජ්‍ය නිලධරයන් කරන්නේ පූජෝත්සවයෙන් අනතුරුව එදා රෑ රෙස්ට් හවුස්වල ගතකිරීම ය. මෙය ශෝකය නමැති සාධකය සතුට නමැති සාධකයට පෙරළෙන අවස්ථාවකි. තමන් සහභාගි වූ ශෝකජනක අවස්ථාව අමතක කරන VIP කට්ටිය කරටිය දෙකට කැඩෙන තුරු මැදියම් රෑ වන තෙක් විස්කි බී මළ මිනී සේ නින්දට වදිති. පසුදා ඔවුන් සලකන්නේ නිවාඩු දවසක් ලෙස ය. කලින් දා බීපු අමාරුව පහ කර ගැනීමට එදා දවස යොදාගනු ලැබේ. තමන් ගන්නා ෆන් එකෙන් හැකි හැම රුපියලක්ම ආණ්ඩුවෙන් ගැනීම මේ රටේ ඇතැම් දේශපාලනඥයන්ගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් දීර්ඝකාලීන පුරුද්ද සහ පළපුරුද්ද ය. පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන් වහන්සේගේ මතය නිසා අපවත්වී වදාළ අටමස්ථානාධිපති නායක හාමුදුරුවන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන් වැඩක් ගැනීමට මේ රටේ සිටින ඇතැම් රජයේ නිලධාරීන්ට සහ ඇතැම් දේශපාලනඥයන්ට හැකිවන්නේ නැත. අනුරාධපුරය යනු ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි ශුද්ධ භූමියයි. මේ රටේ බෞද්ධාගමික මුදුන් මල් කඩකි. අනුරාධපුරය යනු අතීත ශ්‍රී ලංකාවේ පැවති ප්‍රමුඛ රාජධානියයි. මේ රාජධානියේ සිට රජවරුත් භික්ෂුන් වහන්සේලාත් දේශප්‍රේමී ජනතාවත් මේ රට දැය සහ සමය ආරක්ෂා කළහ. ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කර පවත්නා ශ්‍රී දළදා මාලිගාව පිහිටි මහනුවර නගරය මේ රටට වැදගත් වන්නේ යම් සේද, අනුරාධපුර නගරය ද එහි ඇති පූජනීයත්වය නිසා රටට අතිශයින්ම වැදගත් ය. මේ බිමෙන් මතු වූ සංඝ පීතෘවර පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන් වහන්සේගේ ප්‍රගතිශීලී සහ දේශප්‍රේමී අදහස මේ මුළු රටම මහත් සේ අගය කළ යුතුය.