charudatta ilangasinghe

විභාග උත්තර පත්‍ර බැලීම වර්ජනය කරන අධ්‍යාපන ත්‍රස්තවාදයට විසඳුම කුමක්ද?

අජිත් පැරකුම් ජයසිංහ

මේ වෙනකොට උසස් පෙළ උත්තර පත්‍ර බැලීම දින 50ක පමණ කාලයක් ප්‍රමාද වෙලා. උසස් පෙළ සිසුන්ගේ ජීවිත කාලයෙන් දින 50ක් මේ. තාරුණ්‍යයෙන් දින 50ක්.

මේ වන විට තවදුරටත් ප්‍රමාදයට තියෙන්නෙ එකම හේතුවයි. උසස් පෙළ උත්තර පත්‍ර බලන්නට නම් තමන්ගෙන් ඉහළ පුද්ගල ආදායම් බද්ද අය නොකරන ලෙස හෝ සහන දෙන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටිනවා.

ඉහළ පුද්ගල ආදායම් බද්ද මේ වන විට රු. ලක්ෂයට වැඩි සියලුදෙනාට බලපාන ප්‍රශ්නයක්. රැකියා කරන අයගෙන් මේ වන විට එම බද්ද නොගෙවා සිටීමට සමත් වෙලා තියෙන්නෙ විනිසුරුවරුන් විතරයි. ඒ වාරණ නියෝගයක් නිසා. මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, ජනාධිපති පවා බදු ගෙවනවා.

එහෙම සංදර්භයක් තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විතරක් සහනයක් දෙන්නට පුළුවන්කමක් නැහැ. දෙන සහනයක් හැමෝටම දෙන්න ඕනැ. එහෙම සහන දීලා ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නට බැරි බව කවුරුත් දන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව රජයට මුදල් මුද්‍රණය කර වැටුප් වැඩි කිරීමේ හැකියාවකුත් නැහැ.

හැබැයි, මේ වන විට උද්ධමනය අඩු වී තිබෙන ආකාරය, ඉන්ධන ඇතුළු භාණ්ඩවල මිල අඩු වී තිබෙන ආකාරය අනුව, යම් සහනයක් ලැබී නැතැයි කියන්නට බැහැ.

මේක කාටත් දුෂ්කර කාලයක් නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විතරක් මේ වෙනකොට තරුණ සිසුන්ගේ ජීවිත මත කරන මේ සෙල්ලම ඉතාම නින්දිත තත්වයක්.

අ.පො.ස. (උසස් පෙළ) විභාගය කියන්නේ ලංකාවේ අධ්‍යාපන වෙළඳාමේ ප්‍රධාන කේන්ද්‍රය. ජනප්‍රිය පාසල් තරගය, පහේ ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ ටියුෂන්, උසස් පෙළ ටියුෂන්, පෞද්ගලික විශ්වවිද්‍යාල වැනි ව්‍යාපාර අවස්ථාවල පදනම මේ විභාගයයි. ඒ නිසා ඒ ව්‍යාපාරවලින් යැපෙන අය උසස් පෙළ විභාගයේ කාර්යක්ෂමතාව ගැන අවධානය යොමුකළ යුතුයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ගුරුවරුන් හැම තිස්සේම වැටුප් ඉල්ලීම් දිනාගැනීම සඳහා උසස් පෙළ විභාගය භාවිතා කිරීම තමන් සම්බන්ධ වෙළඳපොළටම කෙළවාගැනීමක් හෙවත් කකුලට වෙඩි තබාගැනීමක්.

ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ගුරුවරුන් ප්‍රධාන විභාග සම්බන්ධ රාජකාරි කිරීම අනිවාර්ය කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතුයි. මෙය දුෂ්කර වැඩක් නෙමෙයි. මැතිවරණ රාජකාරි සම්බන්ධයෙන් ඒ නීති දැනටත් ක්‍රියාත්මකයි. මැතිවරණ කොමිෂන් සභාවේ විධාන අනුව ක්‍රියා කිරීමට සියලුම රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බව ද එම විධාන උල්ලංඝනය කිරීම, රුපියල් ලක්ෂයක දඩයකට හෝ වසර තුනක සිරදඬුවමකට හෝ ඒ දෙකටම යටත් වීමට හේතුවන වරදක් ලෙස ද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 104 උ ව්‍යවස්ථාවේම සඳහන් කර තිබෙනවා. විභාග රාජකාරි සම්බන්ධයෙන් එච්චර දුර යන්න ඕනැ නැහැ. චක්‍රලේඛවලින් කරන්න පුළුවන්. අකැමැති අයට රස්සාවලින් ඉවත් වී යාමේ විකල්පය ලබාදිය හැකියි.

විභාග රාජකාරි කරන්නේ ස්වේච්ඡාවෙන්ය කියන කතාව අවසන් කළ යුතුයි. දැනුත් කවුරුවත් ස්වේච්ඡාවෙන් විභාග රාජකාරි කරන්නෙ නැහැ. සරලව කියනවා නම්, ගුරුවරුන් අතර විභාග රාජකාරි සඳහා තරගයක් තියෙන්නෙ. නිලධාරීන් තමන්ට කැමති අයට තමයි විභාග රාජකාරි දෙන්නෙ. උත්තර පත්‍ර බැලීම කියන්නෙ ගුරුවරයෙකුට ලැබෙන අමතර වටිනාකමක්. පොරකාලා ඒවාට යන්නෙ. ඒ වටිනාකම ටියුෂන් මාකට් එකේදි විකුණනවා.

ඒ වගේම, විභාග රාජකාරි කරන කාලය තුළ පූර්ණ වැටුප් සහිතව රාජකාරි නිවාඩු සහ අමතර දීමනාත් ලැබෙනවා. කවුරුවත් නොමිළෙ වැඩ කරන්නෙ නැහැ.

විභාග වර්ජන ත්‍රස්තවාදය දැනට තිබෙන්නේ නියපොත්තෙන් කැඩිය හැකි මට්ටමක නිසා එයට සංකීර්ණ විසඳුම් අවශ්‍ය නැහැ. හැබැයි, ලංකාව දීර්ඝ කාලීනව ජාත්‍යන්තර ඇගයුම් පද්ධති සමග සම්බන්ධ වීම ගැන අවධානය යොමුකිරීමත් වැදගත්. ප්‍රධාන විභාග ඉංග්‍රීසි බසින් පවත්වනවා නම් දැන් වුණත් මෙය කරන්නට පුළුවන්. හැබැයි, තවම ඒ සඳහා ධාරිතාවන් ගොඩනැගී නැහැ.