Dam Rajina

දෘෂ්‍ය දූෂණය ගැන රනිල්ගේ අවධානය

අජිත් පැරකුම් ජයසිංහ

දෘෂ්‍ය දූෂණය ගැන ජනාධිපති රනිල්ට දැක්මක් තිබෙන බව පසුගියදා නුවරඑළියේදී ඔහු නිලධාරීන්ට දුන් උපදෙස්වලින් පෙනෙනවා. තට්ටු හතරට වඩා උස ගොඩනැගිලි හැදීම තහනම් කරන්නැයි ඔහු කීවා. ග්‍රෙගරි වැව ආසන්නයේ අක්කර 12ක රජයේ ඉඩමක කානිවල් එකක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා. මීට කලින් ඇල්ල පැත්තෙ සුන්දර ස්ථානයක දැවැන්ත කොංක්‍රීට් තේ පෝච්චියක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා මතකයි.

ලංකාව මේ වෙනකල් තිබුණේ ලස්සන තැනක්, කඳු මුදුනක් දැක්කොත් එතන බුදු පිළිම අටවන මානසිකත්වයක. ඒත්, අටවන ජනාධිපතිවරයාට ඊට වඩා දැක්මක් තිබෙන එක සතුටට කරුණක්. හත්වන ජනාධිපති බවට පත්වුණ ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරද්දී ඔහුටත් මේ හා සමාන දැක්මක් තිබුණා. ඇත්තෙන්ම ඔහු තාප්ප ආදිය කඩා ඉවත් කර කොළඹ ලස්සන කළා.

ලංකාවට දැන් අවශ්‍ය තව තවත් කොංක්‍රීට් ගොඩගසන සංවර්ධනයකට වඩා තියෙන දේ තව ලස්සන කරගන්න, පිළිවෙල කරගන්න අභ්‍යන්තරික සංවර්ධනයක්. එහිදී මහජන අවබෝධය ඉතා වැදගත්.

උදාහරණයක් විදියට මෙහෙම හිතන්න. අපේ රටේ නිවාසවලින් 99%කට වඩා දැන් විදුලිය සපයලා ඉවරයි. ඒ ඉලක්කය සාක්ෂාත් කරගැනීමෙන් පසු අපට යාහැකි ඉලක්කයක් තමයි අවිධිමත් ලෙස සිටුවා තිබෙන විදුලි කණු හා ඇද තිබෙන රැහැන්වලින් කරන දෘෂ්‍ය දූෂණය නැති කිරීම.

ශ්‍රී ලංකාවේ ඉතා සුලබ හා මුළුමනින් ම නොතකා හරින ලද දෘෂ්‍ය දූෂණයක් වන්නේ විදුලි හා දුරකථන රැහැන් ය. ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දෘෂ්‍ය දූෂණය සම්බන්ධයෙන් මුළුමනින් ම අන්ධ ය. තම රැහැන් පද්ධති නඩත්තු කිරීමේදී දෘෂ්‍ය දූෂණය අවම කිරීම කෙරෙහි හෝ ඔවුන් අවධානය යොමු කරන්නේ නැත. අපිළිවෙලට අදින ලද විදුලි රැහැන් මෙන් ම, අතහැර දමන ලද දුරකථන රැහැන් සහ කණු රැසක් ද සුන්දර ග්‍රාමීය ප්‍රදේශවල පවා දැවැන්ත දෘෂ්‍ය දූෂණයක් සිදුකරයි. සන්නිවේදන සංඥා කුළුණු මගින් සිදුකරනු ලබන දෘෂ්‍ය දූෂණය සම්බන්ධයෙන් යම් සංවේදීබවක් පසුගිය කාලයේ ඇති විය. ඒ අනුව, ඇතැම් සංඥා කුළුණු රූස්ස ගස් මෙන් වෙස්වළාගන්වා තිබෙන ආකාරය මා කතරගමදී පවා දැක තිබේ.

මුල් රූපයේ තිබෙන බස් රථයත් පැහැදිලිවම දෘෂ්‍ය දූෂණයක්. එහෙත්, අපේ සමාජයට ඒ ගැන වෙනත් අදහස් තියෙන්නට පුළුවන්.

Encylopedia.com වෙබ් අඩවිය අනුව, දෘෂ්‍ය දූෂණය යනු සෞන්දර්යාත්මක ප්‍රශ්නයකි. එයින් අදහස් වන්නේ යමෙකුට දර්ශනයක් විඳගැනීමට නොහැකි වන අන්දමින් ඇති කරනු ලබන බාධකයි. දැකීමට ඇති ඉඩ ආවරණය කිරීම, දුර ඇති වස්තු දැකීමට ඇති හැකියාව සීමා කිරීම මෙන් ම වඩා විෂයාත්මක ප්‍රශ්න වන දෘෂ්‍යමය අවුල්, ‘සුන්දර’ දර්ශන මත කරනු ලබන ආක්‍රමණික ක්‍රියා මෙන් ම ග්‍රැෆිටි හෙවත් විරෝධාකල්ප වීදි චිත්‍ර ද වෙනත් දෘෂ්‍යමය විකෘති කිරීම් ද දෘෂ්‍ය දූෂණය යන පුළුල් යෙදුමෙන් ආවරණය වේ.

පරිසර දූෂණය හා නාගරික ආලෝකය වැනි හේතු මත සිදු වන දෘෂ්‍ය දූෂණයට කදිම උදාහරණයක් වන්නේ කොළඹ හා වෙනත් නාගරික ප්‍රදේශවල රාත්‍රී අහසයි. දූවිලි, කාබන් වැනි අංශු මත නාගරික ආලෝකය පරාවර්තනය වීම නිසා නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනයාට රාත්‍රී අහසේ සැබෑ සුන්දරත්වය දැකගැනීමට ලැබෙන්නේ නැත.

දෘෂ්‍ය දූෂණය සිදුකරන තවත් ප්‍රධාන මාර්ගයක් වන්නේ මාර්ග අසල දැවැන්ත ප්‍රචාරණ පුවරු ය. එහෙත්, ඒවා වර්තමාන වානිජ ලෝකය සඳහා අවශ්‍ය යයි සැලකේ. ඒවා සම්බන්ධයෙන් පාලනයක් තිබිය යුතු ය. එය නාගරික සංවර්ධන අධිකාරියේත්, පළාත් පාලන ආයතනවලත් විෂයපථයට අයත් වේ.

මතුගම මංසන්ධියේ දෘෂ්‍ය දූෂණය

ශ්‍රී ලංකාවේ දෘෂ්‍ය දූෂණය සිදු කරන ප්‍රධාන ආකාර කීපයක් වන්නේ පෝස්ටර්, බැනර්, කටවුට් ලෙස හැඳින්වෙන පුවරු ආදියයි. පෝස්ටර් සඳහා නාගරිකව දැන්වීම් පුවරු සවිකර තිබෙනමුත්, පෝස්ටර් අලවන්නන් විසින් භාවිතා කරනු ලබන අයෝග්‍ය ස්ථාන රැසක් තිබේ. ජවිපෙ වැනි දේශපාලන පක්ෂ පෝස්ටර් කලාව සිය ප්‍රචාරණය සඳහා පුළුල් ලෙස භාවිතා කරන ලද අතර පෝස්ටර් කලාවේ නිම් වළලු පුළුල් කිරීමක් ද කළේ ය. මැතිවරණ කාලවලදී සියලු දේශපාලකයන් තැන නොතැන නොබලා පෝස්ටර් අලවා දැවැන්ත දෘෂ්‍ය දූෂණයක් සිදුකරති. ටියුෂන් ගුරුවරුන් යනු පෝස්ටර්, කටවුට් ආදිය භාවිතා කරමින් දෘෂ්‍ය දූෂණය සිදුකරන ප්‍රධාන පිරිසකි. තවත් පිරිසක් වන්නේ ඉඩම් අලෙවිකරුවෝ ය. පාරවල අවිධිමත් අන්දමින් තිබෙන විදුලි හා දුරකථන රැහැන් කණු මත ඔවුහු ඊටත් වඩා අවිධිමත් ලෙස බැනර්, කටවුට් ආදිය එල්ලති. ඒවා යම් ප්‍රමාණයක් සඳහා පළාත් පාලන ආයතනයෙන් අවසර ලබාගන්නා අවස්ථා ද ඇත. එහෙත්, අනවසර භාවිතය එමෙන් බොහෝගුණයකි. පාසල් ඉදිරිපස ද දෘෂ්‍ය දූෂණය සුලබ ය. පාසලේ විවිධ ජයග්‍රහණ සන්නිවේදනය කිරීම සඳහා විවිධාකාරයේ බැනර් ප්‍රදර්ශනය කරන්නේ පාසලේ පෙනුම පිළිබඳ කිසිදු සැලකිල්ලකින් තොරව ය. ඇතැම් දෘෂ්‍ය දූෂණයන් සඳහා විදුහල්පතිවරුන් පොළඹවන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් එවනු ලබන චක්‍රලේඛ මගිනි. අද වන විට අවමංගල්‍යයක් පැවැත්වෙන නිවෙස් වනාහි විවිධාකාරයේ බැනර් නිසා දැවැන්ත දෘෂ්‍ය දූෂණයකට ලක් වන ස්ථානයකි. එහෙත්, ලාංකිකයන් වැඩිදෙනෙකු ඉහත දක්වන ලද කාරණා කිසිවක් දෘෂ්‍ය දූෂණය ලෙස දකින්නේ නැත.

මේවා මගින් දෘෂ්‍ය දූෂණයට අමතරව දැවැන්ත පරිසර දූෂණයක් ද සිදු වේ. ඩිජිටල් බැනර් සඳහා භාවිතා වන ප්ලාස්ටික්, පොලිතින් ආදී ඉතා සෙමින් දිරා යන අපද්‍රව්‍ය රැසක් මෙමගින් පරිසරයට එක් වේ. ඒවා ප්‍රදර්ශනය කරන අය බොහෝ විට ඒවා ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ගන්නේ නැත. මෙවැනි බොහෝ ප්‍රදර්ශන ද්‍රව්‍ය ඒ ඒ ස්ථානවල ම පරිසරයට එක් වේ.

ග්‍රැෆිටි හෙවත් වීදි චිත්‍ර යනු වෙන ම කලාවක් ලෙස ද සැලකිය හැකි ය. එය විරෝධාකල්ප ප්‍රකාශන කලාවකි. ගතානුගතික අදහස්වලට වඩා වෙනස් අදහස් ක්‍රම විරෝධී, ප්‍රචණ්ඩ ආක්‍රමණික ආකාරයකින් ප්‍රදර්ශනය කිරීමට ග්‍රැෆිටි කලාව භාවිතා කෙරේ. ලෝක ප්‍රකට වීදි සිත්තරකු වන C215 යන සන්නාමයෙන් තමන් හඳුන්වා ගන්නා ප්‍රංශ සිත්තරකු වන ක්‍රිස්ටියන් ගූමි ශ්‍රී ලංකාවට පැමිණ කොම්පඤ්ඤවීදියේ වොක්ෂෝල් වීදියේ කලකට ඉහතදී අපූරු ග්‍රැෆිටි පෙළක් නිර්මාණය කළේ ය. ඇතැම් ඒවා තවමත් ඉතිරි වී තිබේ. මෙවැනි චිත්‍ර නිර්මානය කරන්නට ස්ටෙන්සිල්, විදින තීන්ත කෑන් හා පරිගණක තාක්ෂණය ආදිය උපයෝගී කර ගනු ලැබේ. එසේම, නිශ්චිත කාලයක් තුළ වේගයෙන් නිර්මානය කරන්නටත් නිර්මාෙණකරුවාට සිදු වේ. එය බොහෝ විට කලින් සැලසුම් කර ගත් චිත්‍රයකි.

Graffiti at Colpetty Station

2018 දෙසැම්බර් මාසයේ දිනෙක කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේදී මගේ ජංගම දුරකථන කැමරාවට හසු කර ගත් වීදි චිත්‍රය මා විස්මයට පත් කරන්නට සමත් විය. එය තිබුණේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ දකුණුපසට වන්නට ඇති අතහැර දැමූ ගොඩනැගිල්ලකයි. ඒ ගොඩනැගිලි බිත්තිය ම පවා අපූරු අපූරු චිත්‍රයක් වැනි විය. එම චිත්‍රයේ පසුබිම දැනගැනීමට මම පසුව දිනෙක කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට කතා කළෙමි. දුරකථනයට කතා කළ පුද්ගලයා වරදක් වසා ගන්නට උත්සාහ කරන්නා සේ දැන් එය මකා දමා ඇති බව කීවේ ය. එපමණක් නොව, එය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අවසර ගෙන කරන ලද වෙළඳ දැන්වීමක් බවත්, ඒ සඳහා ගෙවීම් කළ බවත්, කාලය අවසන් නිසා දැන් එය මකා දමා ඇති බවත් කීමට ඔහු වගබලාගත්තේ ය. මට අවශ්‍ය වුණේ ඒ නිර්මානය කළේ කවුරුද යන්න දැන ගන්නටයි. ඒත්, ඔහු කිව්වේ කැම්පස් එකෙන් ද කොහෙද කියා ය.

මේ ලිපියත් කියවන්න: දෘෂ්‍ය දූෂණය හා චිත්‍ර අඳින රැල්ල