Use of quarantine laws to suppress protests in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ

නිරෝධායන නීති භාවිතා කරමින් විරෝධතා මර්දනය කිරීම හා විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක් රට පුරා පැනනැගී තිබේ.

“මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාමාර්ග සිදුකිරීම මගින් කොවිඩ් රෝගය පැතිර යාමේ විශාල අවදානමක් පවතී. එබැවින් එවැනි ආකාරයේ මහජනතාව විශාල වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දන්වන තුරු සිදු නොකළ යුතු බව දන්වා සිටිමි” යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීමක් පාදක කරගෙන, පොලිසිය එය නිරෝධායන නියෝගයක් ලෙස සලකා කටයුතු කරන බව පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.

1897 අංක 3 දරණ රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥාපනතේ විධිවිධානවලට අනුව රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම තැනැත්තෙකු පොලිස් නිලධාරියකු විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකිය.

දණ්ඩ නීති සංග්‍රහයේ ද මේ හා සම්බන්ධ නීති තිබේ. එහි 24වන පරිච්ඡේදයේ මහජන සෞඛ්‍යය හා ආරක්ෂාවට එරෙහි වැරදි යටතේ අංක 262 ජීවිතයට අන්තරාදායක වූ යම් රෝගයක් බෝවීම පැතිරවීමට තුඩුදෙන නොසැලකිලිමත් ක්‍රියා පිළිබඳව ද අංක 263 යටතේ ජීවිතයට අන්තරාදායක වූ රෝගයක් බෝවීම පැතිරවීමට තුඩුදෙන ද්වේෂසහගත ක්‍රියා පිළිබඳව ද අංක 264 යටතේ රෝග නිරෝධායන රීතියකට අකීකරුවීම යන වැරදි ගැන සඳහන් වේ. මේ සියලු වැරදි සම්බන්ධයේ පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් නොමැතිව පුද්ගලයකු අත්අඩංගුවට ගතහැකිය.

එහිදී ඇප ලබාදීම සම්බන්ධයෙන් ඇප පනතේ ප්‍රතිපාදන අදාළ වන අතර එම පනතේ 6 (1) වගන්තිය අනුව මහජන සාමය කඩවීමක් වියහැකි බවට ප්‍රකාශ කර සැකකරු දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාර කිරීමට ඉල්ලා සිටීමට ද අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට බලය තිබේ.

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 107 (1) වගන්තිය ප්‍රකාරව යම් සංඥය වරදක් සිදුකිරීම වැළැක්වීමේ කාර්යය සඳහා සෑම සාම නිලධාරියකු විසින්ම මැදිහත්වී ක්‍රියාකරනු ලැබිය හැකි අතර, එය තමාගේ උපරිම හැකියාව යොදා වැළැක්විය යුතුය.

අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව, සාම නිලධාරියකු යනු පොලිස් නිලධාරියකු සහ පොලිස් කාර්යයන් ඉටුකිරීම සඳහා දිසාපතිවරයකු විසින් ලියවිල්ලකින් පත්කරන ලද ප්‍රාදේශීය ලේකම්වරයකු සහ ග්‍රාම නිලධාරියකු වේ.

රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥාපනතේ විධිවිධාන උල්ලංඝනය වන අවස්ථා ශිරන්ති රාජපක්ෂ නුවරඑළිය වසන්ත සැණකෙළියේ මල් ප්‍රදර්ශන පැවැත්වීමේ අවස්ථාව වැනි ආණ්ඩුවේ දේශපාලකයන්ගේ පවුල්වල අයගේ උත්සවවල සිට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වගකිවයුතු එන්නත් පෝලිම් දක්වා සිදුවේ. ඒවායේදී සාම නිලධාරීන් තම වගකීම් ඉටුකරනවාද? මහජන මුදලින් වැටුප් ලබන නිලධාරීන් රාජකාරිය ඉටු නොකිරීම වරදක් නොවේද?

රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම පියවර පසුපස පැහැදිලි දේශපාලන අරමුණු තිබේ. විවේචකයන්ට එරෙහිව පවරනු ලබන බොහෝ නඩුවල ඉලක්කය වන්නේ නඩු ජයග්‍රහණය කිරීම නොව වෙහෙසකර හා වියදම්කාරී නඩු විභාග තුළින් විවේචකයාගේ කාලය, ශක්තිය හා සම්පත් නාස්ති කර හෙම්බත් කිරීමයි. ප්‍රජාව සහ මානව හිමිකම් ආරක්ෂකයා නැවැත්වීම, පරක්කු කිරීම සහ අපහසුතාවයට පත්කිරීමයි. එය සිදුවන්නේ දිළිඳු හා දෛනික වැටුප් ලබන ප්‍රජාව හෝ ගම්වැසියන් සම්බන්ධව නම්, ඔවුන්ට රැකියාව නවත්වා උසාවියට යාමට සිදුවේ.

“මහජන සහභාගීත්වයට එරෙහි උපායමාර්ගික නඩු” හෙවත් Strategic Lawsuits Against Public Participation (SLAPP) යන සංකල්පය මෙහිදී වැදගත් වේ. එයින් අදහස් වන්නේ, විවේචකයින් තැතිගැන්වීම සඳහා රජය, දේශපාලකයන් හා සමාගම් විසින් භාවිතා කරන උපායකි. කීර්තිය කෙළසීම හා අපහාස කිරීම යන චෝදනා එහිදී සුලබව භාවිතා වේ. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය තුළ නිරෝධායන නීති ද ඉතා නින්දිත අන්දමින් ඒ වෙනුවෙන් භාවිතා කරනු ලැබේ.

උද්ඝෝෂණයක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප නියම වූ කාන්තාවකට පොලිසිය ලවා පයින් පහර දී නිරෝධායනයට රැගෙන යන අවස්ථාවක් පසුගිය ජුලි 7දා රූපවාහිනී ප්‍රවෘත්තිවලින් දකින්නට ලැබිණි. නිරෝධායන නීති යටතේ කරනු ලබන සියලු මර්දන ක්‍රියාවලට උද්ඝෝෂණ තහනම් කළ යුතු බවට පොලිසියට නියෝග දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වගකිව යුතුය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිසියට මෙම නියෝගය ලබාදුන් බව කියන ලිපිය තවමත් අභිරහසකි. එහෙත්, ඔහු එවැන්නක් නොයැවූ බව ප්‍රකාශ කර නොමැති නිසා එහි වගකීමෙන් ඔහුට ගැලවීමට නොහැකිය. දැඩි විවේචනයක් හෝ විරෝධයක් හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම යනු, සමාජයේ සාමාජිකයකු/ පාර්ශ්වකරුවකු ලෙස බැරෑරුම් අදහස් බෙදාහදාගැනීමේ හෝ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ පුරවැසි නිදහස උල්ලංඝනය කරනු ලබන භයානක තත්වයක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පසුගිය ජුනි 10දා පැවසීය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඉතා වැදගත් මූලික මානව හිමිකම් තුනක් මහජන උද්ඝෝෂණ සමග සම්බන්ධ වේ. ඒවා නම්, භාෂණයේ නිදහස, සාමකාමී රැස්වීමේ නිදහස සහ සංවිධානය වීමේ නිදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (අ), (ආ) සහ (ඇ) වගන්තිවලින් එම අයිතිවාසිකම් තහවුරු කර තිබේ. මහජන විරෝධතා මගින් සිතීමේ නිදහස ද ශක්තිමත් කරනු ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10වන වගන්තිය මගින් එය සහතික කර තිබේ. 14(1) වගන්තිය මගින් තහවුරු කර තිබෙන අයිතීන් මහජන සෞඛ්‍යය සම්බන්ධ නීති මගින් සීමා කළ හැකිය. එහෙත්, එම සීමාකිරීම් සිදුකළ යුත්තේ නීත්‍යානුකූලවය. සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිත අරමුණු සමග ඒවා සම්බන්ධ විය යුතු අතර සීමාකිරීම් සාධාරණ විය යුතුය,” යි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.  

නිරෝධායනය දඬුවමක් ලෙස භාවිතා කිරීම පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතය පහත දැක්වෙන ලිපියෙහි අඩංගු වේ.

නිරෝධායනය දඬුවමක්, රැඳවුමක් ලෙස භාවිතා නොකරනු – නීතීඥ සංගමය

Creative Content Consultants

1 thought on “මහජන විරෝධය මර්දනය කිරීමට නිරෝධායන නීති භාවිතා කිරීම

  1. Nirodaayanaya yanu , hariyaakaarawa viggraha nokiriema thula mokku mokak kalath nadu pasindalanne kawarekuta kawarak hithena pariddenda ?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: