charity

පුණ්‍යාධාර බිස්නස් හරියට කරන හැටි

දිළිඳු හා අවදානමට පාත්‍ර වූ ප්‍රජාවන් වැනි සමාජ කණ්ඩායම් වෙනුවෙන් පුණ්‍යාධාර එකතු කරන එකත් එක්තරා ව්‍යාපාරයක්. නැතිනම් බිස්නස් එකක්. ඒ ව්‍යාපාරයේ කිසිම වරදක් නැහැ. විවිධ හේතු මත එවැනි උපකාර කරන්නට සූදානම් පිරිස් ඉන්නවා. ඒ අයව උපකාර අවශ්‍ය අය වෙත සම්බන්ධීකරණය කරන එක අවශ්‍ය කාර්යයක්. විශේෂයෙන්ම දියුණු රටක පුණ්‍යාධාර කරන්නට කැමති මිනිසුන්ගේ පුණ්‍යාධාර ලංකාව වගේ දිළිඳු රටක උතුරු, නැගෙනහිර, ඌව වගේ පළාතක දුෂ්කර ප්‍රදේශයක දිළිඳු ජනතාව වෙත යොමුකරන එක වෘත්තිකමය වැඩක්.

ඒ රැකියාව සංවර්ධන අංශයේ හෝ මානුෂීය අංශයේ රැකියාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ලංකාවෙ නම් ඒ වගේ රැකියා කරන අයට එන්ජීඕකාරයන් කියනවා. ඒ අංශවල වෘත්තිකයන්ට සාමාන්‍යයෙන් හොඳ වැටුප් ලැබෙනවා. ප්‍රවාහන පහසුකම්, ගමන් වියදම්, ක්ෂේත්‍ර රාජකාරිවලදි නවාතැන් ආදී පහසුකම් ලැබෙනවා. දුෂ්කරතා නැත්තෙ නැහැ.

මේ පුණ්‍යාධාර වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ නිශ්චිත සැලැස්මකට අනුවයි. විශේෂයෙන්ම, රටක රජයක් හරහා ආධාර කරනවා නම්, මුලින්ම රජය සමග සාකච්ඡා කරන්නට ඕනැ. රජයේ පටිපාටි, ප්‍රමිති හා නිර්ණායක ආදිය තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න ඕනැ.

උදාහරණයක් විදියට කාට හරි පිටරට ඉන්න කෙනෙකුට හිතෙනවා අනේ ලංකාවෙ රෝහල්වල පහසුකම් අඩුයි, ඒ නිසා මං පැරසිටමෝල් පෙති 1000ක් අරන් දෙනවාය කියලා. ඉතින් එයා පැරසිටමෝල් පෙති පෙට්ටියක් කුරියර් කරලා එවනවා ලංකාවට. අදාළ බදු මොනවා හරි තියනවා නම් ඒවා ගෙවලා, කුරියර් ගාස්තුත් ගෙවලා ගන්නය කියලා (මේක උදාහරණයක් විතරයි හොඳේ. කුරියර් සේවාවන් ගැන විස්තර අනවශ්‍යයි).

දැන් මේක රෝහලකට ඇවිත්ය කියල හිතන්නකො. රෝහලේ ප්‍රධානියාට මේක භාරගන්න පුළුවන්ද? මේ පෙති මොනවද? ඒවායෙ ප්‍රමිතිය මොකක්ද? විශ්වාසද? ඒවා ලෙඩුන්ට දීලා මොකක් හරි අවදානමක් ඇති වුණොත් කවුරුද වගකියන්නෙ? කුරියර් ගාස්තුව ගෙවන්නෙ කොහොමද? ඒ සඳහා රජයේ මුදල් ලබාගන්නෙ කොහොමද? කවුද ඒ වියදම අනුමත කරන්නෙ? ඔය වගේ ප්‍රශ්න අටෝරාශියක් එනවා.

ඉතින් මේ බෙහෙත් පෙති පෙට්ටිය රෝහලට භාරගන්න විදියක් නැහැ. ඒක එවපු කෙනාටත් දැන් මේක කරදරයක්. කුරියර් කොම්පැනියෙන් කතාකරලා කියනවා මොනව හරි කරන්න කියලා. එයා අල්ලගන්නවා යූටියුබ්කාරයෙකුව හරි පේජ්කාරයෙකුව හරි. එයාට ඕනැ කොහොම හරි මේක රෝහලට දෙන්න. එයා මේ වැඩේ කළේ යහපත් චේතනාවකින්.

හැබැයි, යූටියුබර්ට හරි පේජ්බෝයිට හරි වෙන ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ට ඕනැ රීච් එක වැඩිකරගන්න. ඒ සඳහා හොඳම දේ තමයි රාජ්‍ය විරෝධී දේශපාලන රැල්ල එක්ක සෙට්වෙන එක. මොකද, ඔය වගේ නිව්ස් වැඩිපුර ෆලෝ කරන්නෙ එහෙම අයනෙ. ඒ නිසා මේ කට්ටිය මොකක්ද කරන්නෙ? මෙන්න බලන්න අහවල් බෙහෙත් නැති රෝහලට පැරසිටමෝල් පෙති දාහක් අපේ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු එවලත් බලන්නකො ඒක කුරියර් ගාස්තු ගෙවලා ගන්නෙ නැතුව දැන් එක්ස්පයරි ඩේට් පැනලා අපරාදෙ හයියූ කියල වාර්තාවක් ලියනවා. ඒක බලලා එයාගෙ ඕඩියන්ස් එක හෙවත් දායක සභාව නොදකින් කාලකණ්ණි මුන්ට හෙණ ගහනවා කියලා කමෙන්ට් දානවා. තව කට්ටියක් පැනලා ඕකට විසඳුම තමයි මාලු මාමා බලයට පත්කිරීම කියලා මාලු මාමගෙ ගුණ වර්ණනා කරනවා. මාලු මාමත් කට උල් කරලා වේදිකාවල අර පැරසිටමෝල් කතාව කියනවා. ස්ටේජ් එක පාමුල ඉන්න වහල්ලු කඳුළු සලමින් අප්පුඩි ගහනවා.

ඔබට පුණ්‍යාධාර කරන්නට කැමැත්තක් තියෙනවා නම්, මුලින්ම පුණ්‍යාධාර කියන ව්‍යාපාරය හා වෘත්තිය හඳුනාගන්න. රටවල් අතර වගේම රට තුළ වුණත් ඒ සඳහා ක්‍රමයක් තියෙනවා. විශේෂයෙන්ම රජයක් එක්ක වැඩකරනකොට මුලින්ම රජය එක්ක සාකච්ඡා කරලා ගිවිසුමකට එළඹෙන්න ඕනැ. කොච්චර හිඟන රටක වුණත්, රජයක් තියෙනවා නම්, ඒ රජයේ පටිපාටි, ප්‍රමිති, නිර්ණායක ආදිය තියෙනවා. හිඟන්නන්ටය කියලා බාල බඩු එහෙම සපයන්න ඒ අනුව බැහැ.

බඩු ටිකක් එකතු කරලා එවලා අන්න ඒවා තාම වරායෙ මුන් ඒකෙ බදු ගෙවලා අරගන්නෙ නැහැ, අපි දැන් එම්කේ, ආයෙ නම් මේ වගේ ගොන් වැඩ කරන්නෙ නැහැ, අපි මේව යවනවා සුඩානෙට, එහේ ආණ්ඩු හොඳයි මීට වඩා කියන කට්ටිය සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ අය චැරිටි කියන බිස්නස් එක ගැන මොකුත් නොදන්න හෝ ඒක ඇතුළෙ වෙන වංගු ගහන පිරිසක් විය හැකියි.

ඔය රූපයේ තියෙන ජාතියේ ලිපි ලියවෙන්නේ එහෙම විය හැකියි.