Kalutharin Patangamu

අජිත් පැරකුම් ජයසිංහ

කලුතර රැස්වීමේදී සංජීව එදිරිමාන්න ෆීනික්ස් පක්ෂියා ගැන කියූ කතාව බොහෝ අය නිතර කියනවා. එහෙත්, අලු දූලි මතින් නැගිටීම ගැන සැබෑ උදාහරණ අඩුයි. ජනතා විමුක්ති පෙරමුණ එසේ නැගිටපු පක්ෂයක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර රැස්වීමත් එහෙම එකක්. මැයි 9 පළිගැනීමේ ත්‍රස්තවාදය විසින් ඔවුන්ට කළ හානිය අති විශාලයි. ඔවුන් දැඩි භීතියකට හා අනාරක්ෂාවකට පත්වුණා. ඒ වගේම පක්ෂයත් සීසීකඩ විසිරුණා. ඩලස්, විමල්, ගම්මන්පිල, වාසු වැනි අය වගේම චරිත හේරත්ලා, නාලක ගොඩහේවලා වගේ මහින්දගේ ජනප්‍රියත්වයේ පිහිටෙන් ඉදිරියට ආපු වියත්මගේ අයත් පක්ෂය හා නායකත්වය පාවාදුන්නා.

අරගලය කෙසේ වෙතත්, මේ ප්‍රචණ්ඩත්වය විසින් නම් රාජපක්ෂවාදීන්ට ඉගැන්නුවේ සුළුපටු පාඩමක් නෙමෙයි. මහජනයා නම් බලවේගය ගොනාට අන්දමින් ඔවුන් පසුපසින් ගෑටූ මුග්ධ ගමන් මාර්ගය වෙනස් කළ යුතුය යන පණිවුඩය පොහොට්ටුවේ දේශපාලන වෘත්තිකයන්ට බරසාර ටොක්කක් අනිමින් මහජනයා කියාදී තිබෙනවා. ඒ නිසා පොහොට්ටුව අලුතින් සිතිය යුතුයි.

පොහොට්ටුව රනිල්ට සහාය දෙන එක මා නම් දකින්නේ ඉතා සාධනීය පරිවර්තනයක ලකුණක් ලෙසයි. ඒ නිසා මේ පරිවර්තනීය අවධියේ පොහොට්ටුව ඉතාම වැදගත් දේශපාලන බලවේගයක්. එකෙ වෙන පරිවර්තනයත් රටේ අනාගතයට ඉතා වැදගත්. නාමල් රාජපක්ෂ කලුතර රැස්වීමෙදි පවත්වපු කතාව දේශපාලන වෘත්තිකයකු ලෙස ඔහුගේ ලොකු පරිණාමයක් නිරූපණය කරනවා.

දේශපාලන පක්ෂවලට අභ්‍යන්තර සුද්ද කරගැනීමක් අත්‍යවශ්‍යයි. ඒ අනුව, පොදුජන පෙරමුණට ඩලස්ලා, විමල්ලා, ගම්මන්පිලලා, නාලකලා, චරිතලා වගේ අය හලාදාන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ සුද්ද වීම ඇතුළෙ නැවතත් රාජපක්ෂවාදය තමයි ඉදිරියට එන්නෙ. කොටින්ම නාමල්ම තමයි නායකයා වෙන්නෙ.

එක්සත් ජාතික පක්ෂය නම් සුද්දම වෙලා ඉවරයි. අලුත් වෙන්නයි අවශ්‍ය. සමගි ජන බලවේගයත් පණ අදින පක්ෂයක්. ජවිපෙ හැර අනෙක් පක්ෂවල වැදගත්කම දවසින් දවස අඩුවෙමින් තිබෙනවා. ජවිපෙ මුහුණදෙන අභියෝගය වෙන්නෙ ඉතිහාසයක බර හා පරිවර්තනයට තියෙන බිය අතර ගැටුම. පොහොට්ටුවට එහෙම එකක් නැහැ. උන් රාජ්‍ය ධනවාදයේ සිට ගෝඨාභය යටතේ පෙසප මතවාදයට යටත් වන තැනටත් පසුබැස්සා. ඉන් පස්සෙ රනිල්ට යටත් වුණා. ඉදිරියේදි උන් ඕනැ ප්‍රැග්මැටික් හැඩගැසීමක් කරගනියි. නාමල් වගේ නායකයෙකුට ඒක කොහොමත් ලේසි වෙයි. ජාතිකවාදයත් ආපහු දිනාගනියි.

කෙසේ වෙතත්, පුළුල් සන්ධානයක් පිහිටුවාගන්නට රනිල් අසමත් වුවහොත් රනිල් හා රාජපක්ෂලා අතර නැවත ගැටුම් ඇතිවීමේ ඉඩක් තියෙනවා.

මොනවා වුණත්, කඩිනමින් මැතිවරණ පැවැත්වෙන්නේ නැහැ. ඡන්දයක් ඇත්තටම එන්නෙ ඡන්දයක් එයි කියලා ලණු කාලා රට වටේ රැස්වීම් ජෝගි නටලා අනුරලා, සජිත්ලා තියෙන සේසත නැතිකරගත්තාට පස්සෙ වෙන්නත් බොහෝවිට ඉඩ තියෙනවා. ණය ප්‍රතිව්‍යූහගත කරගෙන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයත් අරගෙන, ප්‍රධාන පාඩු ලබන රාජ්‍ය දේපල කීපයකුත් ප්‍රතිව්‍යූහගත කරලා, අලුත් දිළිඳු සහනාධාර ක්‍රමයකුත් ස්ථාපිත කරලා, උද්ධමනයත් අඩු කරලා, නැවත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිත් පටන් අරගෙන 2024 තමයි ආණ්ඩුව ඡන්දෙකට යන්නෙ. ඊට කලින් සමහරවිට මැතිවරණ ක්‍රමය වෙනස් කරන ජනමත විචාරණයකුත් එයි.

2 thoughts on “එක්ව නැගිටිමු. කලුතරින් පටන්ගමු

  1. හොරු බෝ කිරීමට සුදුසු වාතාවරණයක් ඇති කරන සිවිල් ජනයා සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගැනීමට පුළුවන. ආණ්ඩුව කොතරම් එපා කිව්වත් වැඩි පොලියක් දෙන කෙනකු ළඟ මුදල් තැන්පත් කිරීමට මේ රටේ ජනයා නිතරම සූදානම්ය. ඔවුන් එසේ තැන්පත් කිරීම සඳහා මුදල් සොයා ගන්නේ සිය ගේ දොර පවා උගස් කිරීමෙනි. ශ්‍රී ලංකාව තුළ කොතරම් බිල්ඩින් ඉදි කළත් ජනතාවගේ මානසිකත්වය වැඩිදියුණු කිරීමට නොහැක

  2. රී ලංකාවේ දේශපාලනය යනු, එහි යෙදෙන වැඩිදෙනාට රැකියාවකි. දේශපාලනය මගින් විශාල වශයෙන් මුදල් ඉපයිය හැකි බවට මතයක් පවතින අතර ඒ මතය සම්පූර්ණයෙන්ම ඇත්තකි. දේශපාලනඥයන් වැඩිදෙනා ස්වකීය බඩරස්සාව පටන් ගන්නේ අවමංගල්‍යාධාර සමිතිය හෝ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති නැත්නම් ලේකම් ලෙසය. මෙය දේශපාලනයේ පහේ ශිෂ්‍යත්ව විභාගය හා සමානය. ග්‍රාම සංවර්ධන සමිතිය හෝ මරණාධාර සමිතිය ඔස්සේ ලබාගන්නා ජනප්‍රියතාව මත කෙනෙකුට සමුපකාර ඡන්දයට ඉදිරිපත් විය හැකිය. ඉන් පසු ඔහු ඉල්ලන්නේ ප්‍රාදේශීය සභාවටය. මෙතැනදී ඉතා සුළු වශයෙන් ගාණක් කපා ගැනීමේ හැකියාව ඔහුට ලැබේ. 1970-77 කාලයේ පැවැති සමගි පෙරමුණ ආණ්ඩු සමයේදී නම් සමුපකාර සමිතියක සභාපති වීම ඉතාම වාසිදායක වැඩක් විය. එකල උම්බලකඩ, සීනි, රට ඉදි, සහල්, පරිප්පු, ලූනු, ටින් මාළු, පොප්ලින් රෙදි ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය බොහොමයක් දෙන ලද්දේ සලාක ක්‍රමයටය. සලාකයට බඩු දෙන්නේ වෙළෙඳ පොළේ එම බඩු හිඟ බැවිනි. මේ බඩු සමුපකාරයෙන් පන්නා වැඩි මිලට කළුකඩේට විකිණීමේ හැකියාව සමුපකාරයේ සභාපතිටත් ඔහුගේ අතයට සිටින සමුපකාර සභිකයන්ට සහ මැනේජර්ටත් අවස්ථාව ලැබේ. අද වන විට සමුපකාරයට එතරම් තැනක් නැත. ඒ වැදගත් වන්නේ දේශපාලනය කරන කෙනෙකුට ටිකක් වෙලා නැවතී සිටීම සඳහා පාවිච්චි කළ හැකි නැවතුම්පළක් ලෙස පමණි. මේ නැවතුම්පළෙන් නික්ම යන සමුපකාර සභාපතිතුමා ක්‍රමයෙන් මහජන මන්ත්‍රීවරයකු දක්වා උසස් වේ. දේශපාලනයට එනවිට එතුමා බට පතුරකි. එකල එතුමාට ඇත්තේ බයිසිකලයක් පමණකි. එහෙත් දහඅවුරුද්දක් පමණ දේශපාලනයේ නිරතවීමෙන් පසු විශාල පිටිගෝනියක් තරමට ඇඟපත දියුණු කර ගැනීමටත්, පැජරෝ, මොන්ටෙරෝ, වී 8 යනාදී වාහන පාවිච්චි කිරීමටත් ඇඟ අඩුකරගැනීමට ජිම් එකට යෑමටත්, මෙඩිකල් ටෙස්ට් සඳහා සිංගප්පූරුවේ මවුන්ට්එලිසබෙත් රෝහලට යෑමට එතුමාට වත්කමක් ලැබේ. අතේ සතේ නැතිව දේශපාලනයට පැමිණි ලංකාවේ මිනිසුන්ගෙන් සියයට අනූනවයක්ම සිය දේශපාලන ජීවිතය මස්ඨකප්‍රාප්ත කරන්නේ මේ ආකාරයෙනි. මේ රටේ වැඩිදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා ගැනත් ඇමැති මණ්ඩලය ගැනත්, රාජ්‍ය ඇමැති සෙට් එක ගැනත් කතා කළද ජනතාව තුළ සැඟවී සිටින පළාත් පාලන මන්ත්‍රීවරුන් අටදහස ගැන කතා කරන්නේ නැත. ඉන්දියාව හා සසඳන කල ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රී සංඛ්‍යාව ඉතා වැඩි බව බොහෝ දෙනෙක් කියති. එය තර්කයක් වශයෙන් ගත්කල සත්‍යයකි. එහෙත් පළාත් පාලන මන්ත්‍රීවරුන් අටදහසකට යන වියදම ගණන් බැලුවොත් පාර්ලිමේන්තු තුන හතරක් නඩත්තු කරන්න යන වියදම එයට සමාන බව බොහෝ දෙනකුට පෙනී යනවා ඇත.

    1970 වෙන් පසු මෙරට දේශපාලනයේ පරිහානිගත යුගය ඇරඹේ. මහජන නියෝජිතයන් රාජ්‍ය දේපළ සොරකම් කිරීමට පටන් ගන්නේ මේ යුගයේදීය. ලංකා ඉතිහාසයේ පළමු වන වතාවට තානායම් කාමර තුළ සම්මුඛ පරීක්‍ෂණ පවත්වා තරුණියන්ට ගුරුපත්වීම් ලබාදීම සිදුකරන්නේද 1970 දී පටන් ගන්නා ආණ්ඩු කාලයේදීය. හැබැයි සමගි පෙරමුණ ආණ්ඩුව දාමරික ආණ්ඩුවක් නොවේ. එම ආණ්ඩුව තුළ ස්ත්‍රී දූෂකයන් සහ සොරුන් සිටියද බයිසිකල් චේන් කාරයන් සිටියේ නැත. හැබැයි, 1977 දී බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩු කාලයේදී බයිසිකල් චේන් අඩුවද සම්පූර්ණ වී රටේ මුළු මහත් දේශපාලන ලෝකයම කුණු ගඳගහන මඩවළක් බවට පත්විය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පාලන සමයේදී හඳුන්වාදුන් මනාප ක්‍රමය මේ රටේ දේශපාලනයට ගැසූ හෙණ ගෙඩියක් ලෙස සැලකීමට පුළුවන. මේ හෙණගෙඩිය එකවරක් ගසා පත්තු වී අවසන් නොවන අතර සෑම අවුරුදු පහකට වරක්ම පත්තු වන හෙණ ගෙඩියක් බවට පත්ව තිබේ. හැම අවුරුදු පහකට සැරයක්ම මේ රටේ මහ ඡන්දයක් ඇත. ඒ මහ ඡන්දයේ තීරණාත්මක සාධකය වන්නේ මනාපයයි. මිනිසුන්ගේ මනාප ලබාගැනීම සඳහා බත් පැකට්, අරක්කු, සල්ලි, ටකරන්, ඇස්බැස්ටෝස් ෂීට්, ගඩොල්, සිල් රෙදි, ලිංගික අල්ලස් ඇතුළු නිමක් නැති බඩු ලැයිස්තුවක් ලබාදිය යුතුය. කිසිදු රටකට මේ ආකාරයෙන් ඉදිරියට යෑමට බැරිය. එබැවින් පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව අටදාහේ සිට පන්සීයට බැස්සවිය හැකි නම් එය ඉතාම යෝග්‍යය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: