අජිත් පැරකුම් ජයසිංහ

‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යනුවෙන් යෝජනා සම්මතයක් 2022 ඔක්තෝබර් 6දි ජීනිවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51වන සැසි වාරයේදී සිදුවිය.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සර්ම්බර්ග් යන රටවලින් සමන්විත ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ලැබුණු අතර විරුද්ධ ලැබුණේ ඡන්ද 07 ක් පමණි. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 20කි.

එම යෝජනා සම්මතයෙහි කරුණු 19ක් ඇතුළත් ය. ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අගය කර තිබෙන අතර ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය හා නිසි ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමුකර තිබේ.

යෝජනා කෙටුම්පතේ 8 වැනි කාරණය යටතේ ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය වීම් විමර්ශනයට හා ඒ සම්බන්ධයෙන් ගනු ලබන අධිකරණමය හෝ ආශ්‍රිත ක්‍රියාවලිවලට සාමාජික රටවල් සහය දිය යුතුය.

HRC/51/L.1/Rev.1 ලෙස නම් කර තිබෙන මෙම යෝජනාවලිය ශ්‍රී ලංකා රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

යහපාලන රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග්‍රාහකත්වය දක්වන ලද 30/1 සහ 40/1 යෝජනා සම්මතයන් දෙකෙන් වහාම ඉවත් වීමට බලයට පත් වූ සැණින් ගෝඨාභය රාජපක්ෂ රජය තීරණය කළා.

වගවීම සම්බන්ධ 30/1 දරන යෝජනා සම්මතය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කරනු ලැබුවේ 2015දීයි. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් වූ එක්සත් ජාතීන්ගේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකාව පොරොන්දු වී සිටිමුත් එය ඉටු කිරීමට ලංකාව අසමත් වීම හේතුවෙන් 2017 වසරේදී 40/1 යෝජනා සම්මතය මගින් ඒ වෙනුවෙන් තවත් වසර දෙකක කාලයක් ලබාදුන්නා.

මෙම යෝජනාව අනුව රජය ලබාදුන් පොරොන්දු 36 ක් පවතින බව ද එම පොරොන්දු ප්‍රධාන තේමාවන් පහකට වර්ග කළ හැකි බවද වෙරිටෙ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නා. එනම්

  • සංක්‍රාන්ති යුක්තිය සහ සංහිඳියාව
  • අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍ය
  • ආරක්ෂාව සහ නිර්හමුදාකරණය
  • බලය බෙදා ගැනීම
  • අන්තර්ජාතික මැදිහත්වීම්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ 30/1 යෝජනාවලිය අනුව රජය එකඟ වී ඇති ප්‍රධාන කරුණු 9ක් ඇති බව බීබීසී සිංහල සේවය පෙන්වා දෙයි. ඒවා නම්,

  1. කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබා දීම
  2. සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ඇති ගැටුම් නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම
  3. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම
  4. වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම
  5. එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම
  6. විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම‍
  7. අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයින් පත් කිරීම
  8. ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම
  9. කාලානුරූපී අධිකරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබා ගැනීමට අවසර දීම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවට පරාජයක් නෙමෙයි. එහෙත්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් යුද සමයේ සිටි පාලකයන් සහ හමුදා දණ්ඩමුක්තිය අපේක්ෂා කරනවා. ඒ යුද්ධය ඔවුන් කළේ සිංහල සමාජයේ අනුග්‍රහය ඇතුව බව රහසක් නෙමෙයි. වර්තමානයේ විපක්ෂයේ ප්‍රධාන භූමිකාවන් කරන ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම යුද්ධය සඳහා මහින්ද රාජපක්ෂ රජය ඇදදමා යුද්ධයට දිරිදුන්නා පමණක් නොවෙයි. ඔවුන් නිහඬතාව මගින් යුද අපරාධවලටත් දිරි දුන්නා. යුද අපරාධ සම්බන්ධයෙන් වගකීම හමුදාවට පමණක් පවරන්නේ නැතුව ඒ සඳහා දිරි දුන් දේශපාලකයන්ගේ සිට ජනමාධ්‍ය දක්වා සියලු දෙනා භාරගත යුතුයි. යුද අපරාධ කරන්නට ඔවුන්ට දිරි දී දැන් හමුදා සහ දේශපාලන නායකත්වය පමණක් පාවා දෙනවා නම් ඒක ජඩකමක්. අපි නම් ප්‍රභාකරන් මරා මේ රටේ ජනතාව කිරිබත් කන සමයේ පවා යුද්ධයට විරුද්ධව සිටි නිසා ජිනීවා යෝජනා ක්‍රියාත්මක වන එක ගැන අපේ විරෝධයක් නැහැ.

1 thought on “ඉතින් ජිනීවාවලින් මොකෑ උනේ?

  1. 2019දී ඡන්ද පොළට ගිය 69 ලක්ෂයක් තරම් වූ ජනතාවට නව නායකයකු සම්බන්ධව යම් අපේක්ෂාවක් තිබිණි. රටේ පාලනය ගෙනගිය නායකයන් කළ විගඩම් ගැන තිබුණු තදබල කලකිරීම එබඳු අපේක්ෂාවකට හේතු සාධක වන්නට ඇත. එහි අසාධාරණයක් නැත. ලෙනින්ලා, මාඕසේතුංලා වෙනුවට ලී ක්වාන් යූ ලා, මහතීර් මොහොමඩ්ලා ගැන ජනතාවට යම් දැනීමක් තිබිණි. විශ්වාසයක් තිබිණි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය හා ලිබරල් ධනවාදී ක්‍රමය ගැන තරුණ පරපුරේද යම් උදේ‍යාගිභාවයක් පෙනෙන්නට තිබිණි.

    ඒ අතරේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිනමක් ගෝඨාභයට කීවේ හිට්ලර් කෙනකු හෝ වී රට ගොඩනඟන ලෙසය. අසීමිත බලය රටේ මුල්වැසියා පමණක් නොව ඔහු ඇසුරේ දරදිය අදිමින් සිටි හා ඔහුට කුඩය හා කූඩය අල්ලමින් සිටි කේවට්ටලා අන්දමන්ද කළේය. අන්තිමට මුල් පුරවැසියාට සිදුවුණේ පැදුරු, කොට්ට අකුළාගෙන ගෙදර යන්නටය. විසි දෙක සංශෝධනය විස්සෙහි බල බිඳින්නක් බැවින් එහි යම් යහපතක් තිබිය හැකිය. එහෙත් එය පවත්නා දේශපාලන අර්බුදය පූර්ණ වශයෙන් විස¼දාලන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අමතක කළයුතු නැත.

    රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුද්ගලවාදී අරමුණු පෙරදැරි කරගෙන සකස් කළ යුත්තක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. එය තමන්ට, තමන්ගේ පිලට තමන්ගේ කණ්ඩායමට, තමන්ගේ පක්ෂයට අවාසියක් සිදුවන්නට යන අවස්ථාවේදී පමණක් ඉදිරියට ගත යුතු ප්‍රතිපත්තියක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ සමස්ත පුරවැසියන්ගේ යහපත උදෙසාය. ද්විත්ව

    පුරවැසිකම් හිමි උදවියට මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට ඉඩ නොදීමේ නීතියක් සම්මත වන්නේ නම් එය රටේ පොදුජන යහපත උදෙසා ක්‍රියාත්මක කරන්නට යන ප්‍රතිපත්තියක් විය යුතුය. දේශපාලන පක්ෂ සම්බන්ධව වුවද සාමූහිකභාවය, දේශප්‍රේමීභාවය හා සම්බන්ධ වූ සර්වකාලීන නීති රීති තිබිය යුතුය. රටක් වශයෙන් ඉදිරියට යනු හැකි වන්නේ සුජාතභාවයෙන් යුතුව ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතව රටේ නීති රීති සැකසීමෙන් පමණි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: