Diyawanna oya

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින අර්බුදය ආර්ථික අර්බුදයකට සීමාකර දකින්නට බොහෝදෙනෙකු කැමති බවක් දක්නට ලැබේ. එහෙත්, එය ආර්ථික අර්බුදය නිසා කැපීපෙනෙන දරුණු සමාජ, දේශපාලනික හා සංස්කෘතික අර්බුදයකි. මා එසේ කියන්නේ ඇයි?

ආර්ථික වශයෙන් අප අක්ෂ දෙකකින් යුත් අර්බුදයක සිරවී තිබේ. එකක්, ආනයන කිරීමට තරම් විදේශ විනිමය ආදායමක් අපට අපනයන, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ හා සංචාරක ව්‍යාපාරය ආදිය මගින් නොලැබීමයි. දෙවැන්න, රාජ්‍ය ආදායම් හා වියදම් අතර මූල්‍ය පරතරය පියවාගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් ණය ගෙවාගැනීමට නොහැකි වීමයි. කවුරු හෝ විශ්වකර්මයකු විසින් මේ අර්බුදයෙන් රට ගොඩදමා දෙනවා නම් අප කැමතිය. එම විශ්වකර්මයා අප කැමති දේශපාලකයකු වෙනවා නම් අප ඊටත් වඩා කැමතිය. රාජපක්ෂ පවුල හා එහි ගජමිතුරන පසුගිය කාලයේ ලංකාවෙන් පිටතට ගෙනගොස් සැඟවූ මුදලක් තිබේ නම්, එය ආපසු ගෙනැවිත්, ඊටත් වඩා ලාභදායී ආයෝජනවල යොදවා හෝ මේ ආර්ථික අර්බුදය පියමං කරගැනීමට ලැබේ නම් මා නම් ආත්මාර්ථකාමී ලෙස කැමතිය.

ඇත්ත වශයෙන්ම මෑත ඉතිහාසයක් මුළුල්ලේම සිදුවූයේ එයයි. ලෝක බැංකු දත්ත අනුව, ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ආර්ථිකයක් බවට පත්වූයේ 1997දීය. දශක දෙකකට පමණ පසු ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වුවද, ඉතා කෙටි කලකින් අපි නැවතත් පහළ මැදි ආදායම් මට්ටමට ඇද වැටී හමාරය. මේ ඇදවැටීම තව කෙතරම් ගැඹුරට විහිදේදැයි පැහැදිලි නැත.

ඉහත කී ද්විත්ව අර්බුදයන් කළමනාකරණය කරගැනීමට අප එදා සිටම කළේ එදිනෙදා පැලැස්තර අලවාගැනීමයි. උදාහරණයක් ලෙස, විදේශ ආදායම් වර්ධනය කරගැනීම සඳහා එදිනෙදා මොනවා හෝ පිටරටට විකුණාගත්තේ ප්‍රතිපත්තිමය පදනමකින් නොවේ. උදාහරණයක් ලෙස, අපි අඩු කුසලතා අපේක්ෂා කරන ශ්‍රම වෙළඳපොළට ශ්‍රමිකයන් සපයන ගමන් එය හෙළාදකින රටකි. ඉහළ කුසලතා අපේක්ෂා කරන ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම් සපුරන්නට තරම් වෘත්තීය අධ්‍යාපනික සංවර්ධනයක් ද අපේ රටේ නැත. ඒ සඳහා අවශ්‍ය විවෘතභාවය අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ඇතිකරන්නට අප කැමති නැත.

රාජ්‍ය මූල්‍ය අර්බුදය පියවාගැනීම සඳහා අප හැමවිටම කර තිබෙන්නේ රාජ්‍ය හෙවත් මහජන දේපලක් විකුණාගැනීමයි. රටේ ඉඩම්වලින් 80%කට වඩා තවමත් අයිති රජයටයි. එහෙම තිබියදීත්, රාජ්‍ය දේපල විකිණීම, බදුදීම ආදිය සම්බන්ධයෙන් රජයට ප්‍රතිපත්තියක් නැත.

අපට එසේ වූයේ ඇයි? ප්‍රතිපත්ති සම්පාදනය නොකිරීම සම්බන්ධයෙන් දේශපාලකයන්ට බැණවැදීමට අපි කැමැත්තෙමු. එහෙත්, ජාතික මට්ටමින් රාජ්‍ය පාලනයේ යෙදෙන දේශපාලකයන් ලෙස හඳුනාගත හැකි මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිස ඕනෑම යුගයකදී සීයේ ඒවා කීපයක් හෝ සීයට අඩු සංඛ්‍යාවක් ද විය හැකිය. එහෙත්, ඉහළ හා මධ්‍ය මට්ටමේ විධායක ශ්‍රේණිවල සිටින, තීරුබදු රහිත වාහන බලපත්‍ර, දේශීය හා විදේශීය ශිෂ්‍යත්ව, පුහුණුවීම් වැනි වරප්‍රසාද ලබන රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව දසදහස් ගණනකි. එවැන්නන්ගේ වගවීම ප්‍රශ්න නොකර දේශපාලකයන් පමණක් ප්‍රශ්න කරන තත්වය සමාජ, සංස්කෘතික ප්‍රශ්නයක් නොවේද?

ලංකාවේ ජනගහණයෙන් 10%ක් පමණ රජයෙන් වැටුප් ලබන්නෝය. රාජ්‍ය, පළාත් සභා හා රාජ්‍ය සේවාවන්හි සේවයේ නියුතු හා විශ්‍රාමික පිරිස ලක්ෂ 22ක් පමණ වේ. රජය සමාගමක් ලෙස සලකා බැලුවහොත්, රජයේ ආදායමෙන් 80%ක් වැටුප් ලෙස ලබාගන්නා මෙම පිරිස රාජ්‍යයේ ප්‍රධානම ප්‍රතිලාභීන් පිරිසයි. ඔවුන් රාජ්‍යයේ අයිතිකරුවන් ලෙස සැලකීම කිසිදු වරදක් නැත. රාජ්‍යයේ අයිතිකරුවන් වන මෙම පිරිසේ වගකීම ප්‍රශ්න නොකරන තත්වයක් නිර්මාණය වීම සමාජ, සංස්කෘතික ප්‍රශ්නයක් නොවේද?

ලංකාව වැටී තිබෙන වලෙන් ගොඩගැනීමට නම්, දේශපාලකයන් පළමුව ද, රාජ්‍ය නිලධාරීන් දෙවනුව ද, සිවිල් සමාජය හා පුරවැසියන් ඊළඟට ද මහජනතාවට නායකත්වය ලබාදීම අත්‍යවශ්‍යය. තිරසර විසඳුම් නිර්මාණය කරගත හැක්කේ එමගිනි. ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම, ආර්ථික ප්‍රතිසංස්කරණ හා සෙසු විසඳුම් ක්‍රියාත්මක කළ හැකි යටිතලය එයයි.

රටේ පවත්නා තත්වය පිළිබඳ පුරවැසියන් සමග සංවාදය වැදගත් වන්නේ එම නිසාය. රට ගොඩගත හැකි මැජික්කාරයන් වන්නට කාටවත් හැකියාවක් නැත. දේශපාලකයන්ට පුළුවන් එකම දෙය රට ගොඩගන්නට වැඩකරන පුරවැසියන්ට නායකත්වය දෙන්නන් බවට පත්වීම පමණි. දේශපාලකයා එතැනින් ග්‍රහණය කරගන්නා සමාජ, දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරගැනීම අත්‍යවශ්‍ය වන්නේ එහෙයිනි.

1 thought on “අර්බුදයට සංස්කෘතික විසඳුමක්

  1. Oba pawasana arbuothayata , lankawe pawathina mahajana niyojithayan pathana chanda kramaya da adu wedi wasayen daayakawe .
    Nusudusso yali yali pathwenne , owun visin nadaththu karana nischitha daayaka kulakaya nisai .
    Emagin lebena anupaathaya nisaa bala keandrayata ringathi .
    Pussoo rajayana ratak diyunuwanne keseada ?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: