අජිත් පැරකුම් ජයසිංහ,

ශ්‍රී ලංකා රාජ්‍යය සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ප්‍රභූ ආධිපත්‍යයෙන් යුත් එකක් බව අප පෙන්වා දෙනකොට ඒක පිළිගන්නට අකැමැති අය පල්ලේගම හේමරතන හිමි සම්බන්ධ නඩුව තුළින් අප කියන දේ තේරුම් ගන්න.

අටමස්ථානාධිපති හිමි සිංහල-බෞද්ධ-ගොවිගම අය පමණක් මහණ කරන සියම් නිකායේ ප්‍රධාන භික්ෂුවක්. ඔහුට එල්ල වුණ චෝදනාව අතිශය බරපතළ එකක්. වෙන කෙනෙකුට ඔය වගේ ළමා අපයෝජන චෝදනාවක් එල්ල වුණා නම්, එම පුද්ගලයා සමාජයේ දැඩි අපකීර්තියකට ලක් වෙනවා. නීතිඥ සහාය ලබා ගැනීම පවා අතිශය දුෂ්කර වෙනවා. රිමාන්ඩ් වෙනවා. රිමාන්ඩ් එකේදී නිලධාරිවරුන්ගේ හා සෙසු සිරකරුවන්ගේ වධහිංසනයට ලක් වෙන්නට සිදු වෙනවා. සිරකරුවකු ලෙස, සැකකරුවකු ලෙස උල්ලංඝනය වන මානව හිමිකම් සම්බන්ධයෙන් කිසිවකු පෙනී සිටින්නේ නැහැ. රැකියාවෙන් වැඩ තහනම් වෙනවා. ඔප්පු වුණොත්, රජයේ රැකියාවක් නම් අහිමි වෙනවා. විශ්‍රාම වැටුප් ආදිය ද අහිමි වෙනවා. පවුලේ, අසල්වැසියන්ගේ, සමාජයේ අපකීර්තිය සදාතනිකව පවතිනවා.

අටමස්ථානාධිපති හිමිට ඒ ප්‍රතිවිපාකවලින් අවම ප්‍රමාණයකට තමයි මුහුණ දෙන්නට සිදු වුණේ. වින්දිතයා වෙනුවෙන් පෙනී සිටි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිඥ සජීවනී අබේකෝන් ඊට වඩා දරුණු විදියට අපහාසයට හා වාචික අපයෝජනයට ලක් වෙනවා. ඇය වෙනුවෙන් පෙනී සිටින්නටවත් සිටින්නේ සුළු පිරිසක්.

ඉදිරිපත් වී තිබෙන සාක්ෂි ඍජුව දූෂණය නම් චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් ද යන්න පැහැදිලි නැහැ. ඒවා අධිකරණය විසින් තීරණය කරයි. කල් යයි. කල් යන විට බොහෝ දේ වෙයි. විත්තිකරුට තියෙන බලය හමුවේ බොහෝ බලපෑම් ඍජුව නො වුණත් වක්‍රව සිදු වෙන්නට පුළුවන්.

Creative Content Consultants
For all content creations, translations, editing, proofreading and typesetting in Sinhala, English and Tamil, call 077 1229191/ 077 1734470 / [email protected] / www.praja.lk/content-lanka/

වර්තමානයේදී විමර්ශකයන් විසින්ම මාධ්‍යවේදීන් හසුරුවමින් අදාළ පාර්ශ්වවල මනසට බලපෑම් කළ හැකි ආකාරයේ මාධ්‍ය ප්‍රචාර කරන ආකාරය අපට දකින්නට ලැබෙනවා. මෙතැනදී නම්, විමර්ශකයන් මාධ්‍ය හැසිරවීමක් දකින්නට ලැබුණෙම නැහැ.

ඒ විතරක් නෙමෙයි, වින්දිත ළමයා කාන්තාවක්, ගණිකාවක් ලෙස ඇතැම් ප්‍රභූන් ප්‍රසිද්ධියේ හැඳින්වූවා. ඒ ඇතැමෙකු ඉතාම ‘මානව හිතවාදී’, ‘සංවේදී’ පුද්ගලයන්. ඔවුහු අටමස්ථානාධිපති හිමියන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවක් දක්නට ලැබුණා.

ඒ පෙනී සිටීම්වලට පැමිණි විරෝධය නිසා ඉන් පසු පෙනී සිටීම් අඩු වුණා. ඔය වගේ ‘මානව හිතවාදී’, ‘සංවේදී’ ලක්ෂණ ප්‍රදර්ශනය කරන ගරු ජනාධිපතිතුමා, කාන්තා හා ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරගලවල පතාක ‍යෝධියන් දෙදෙනෙකු වන අගමැතිනි හරිනි සහ කාන්තා හා ළමා කටයුතු ඇමතිනි සරෝජා, සෙසු ‘මානව හිතවාදී’, ‘සංවේදී’ මාලිමාවුන්, ජවිපෙ සහ වෙනත් වාමාංශිකයන් සහ වෙනත් දේශපාලන පක්ෂ, කාන්තා සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන සෙන්පතියන්, සිවිල් සංවිධාන, බොහෝ ජනමාධ්‍ය ආදී සියලු දෙනා පාහේ මෙතැනදී මැරුණා සේ නිහඬ වුණා.

ඒ වගේම, මෙතැනදී අවි අමෝරා ගෙන නැගී සිටියේ 2022 අරගලයේ සිටි පිරිස් අතරින් කොටසක් විතරයි. අරගලය කොහොමත් සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ප්‍රභූ ආධිපත්‍යයට විරුද්ධ එකක්නෙ. අරගලයේත් සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ප්‍රභූ ආධිපත්‍යයට යම් දුරකට අවනත කොටස් මේ ‘අරගලයට’ සම්බන්ධ වුණේ නැහැ.

ඔන්න ඕකයි පස්නෙ!

මං වුණත් මෙතැනදී වැඩිය දැඟලුවේ නැති බව කියන්නට ඕනැ. ඒකට හේතුව තමයි, මං පෙනී ඉන්නෙ පිරිමි අයිතිවාසිකම් සම්බන්ධයෙන් කියන එක. ඒ කියන්නෙ මං කාන්තා හා ළමා අයිතිවාසිකම්වලට විරුද්ධයි කියන එක නෙමෙයි. පිරිමින් මෙවැනි ප්‍රශ්නවලදී සමහර වෙලාවට අසාධාරණයට ලක් වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි පිරිමින් සම්බන්ධයෙන් සමාජයේ තියෙන stereotypes හෙවත් ඒකාකෘතික අදහස්. ඒ නිසා පිරිමින් වෙනුවෙන් පෙනී සිටීම ජනප්‍රිය නැහැ. ඒ වගේම, නිර්දෝෂීභාවයේ පූර්ව විනිශ්චය වැනි සංකල්පවලට ගරු නො කර, ෆේස්බුක්වලින් නඩු අහලා තීන්දු දීලා, දඬුවම් දෙන මොබ් එකට මං අයිති නැතිකමත් තවත් හේතුවක්. සැකකරුවකුට/විත්තිකරුවකුට නීතිය ක්‍රියාත්මක වෙනවා නම්, සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු වී දඬුවම් ලැබෙනවා නම්, කවුරුවත් නටන්නට අවශ්‍ය නැහැ. ඒ සඳහා නීතියට ඉඩ දිය යුතුයි. බලපෑම් නො කළ යුතුයි.

ලංකාවේ නීතියේ පවතින 1997 අංක 30 දරන ඇප පනතේ 2 වැනි වගන්තිය අනුව, “මේ පනතේ මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි වූ ව්‍යතිරේකවලට යටත්ව, මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ අනුගම්‍ය ප්‍රතිපත්තිය විය යුත්තේ ඇප දීම රීතිය වශයෙන් සැලකීම සහ ඇප දීම ප්‍රතික්‍ෂේප කිරීම ව්‍යතිරේකයක් ලෙස සැලකීමටය” ලෙස සඳහන් වෙන බව තමන්ගේ සතුරන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් ඔවුන්ට දඬුවම් ලබා දී සතුටු වන ඊනියා මානව හිමිකම් ආරක්ෂකයන් අවබෝධ කර ගත යුතුයි. රිමාන්ඩ් බන්ධනාගාරවල පවතින අධික තදබද තත්වය තුළ රිමාන්ඩ් කිරීම දණ්ඩනයක් බවට පත් ව තිබීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකි.

ඉතින්, හැමෝම නීතිය ඉදිරියේ සමාන නැති බව වගේම රාජ්‍යයේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ප්‍රභූ ආධිපත්‍යයත් තේරුම් ගන්නට මේ සිද්ධිය උදාහරණයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *