Mahesh Herath

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් සෞරග්‍රහ මණ්ඩලයට පිටින් පිහිටි අලුත් ග්‍රහලෝක දෙකක් සොයා ගනී

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් විසින් පාරග්‍රහයින්, එසේත් නැතහොත් සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ග්‍රහලෝක දෙකක් සොයාගෙන තිබේ.

Translations by Creative Content Consultants

ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත්, එම ආයතනයේ ආචාර්ය සරාජ් ගුණසේකර සහ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න විසින් සිදුකරන ලද විශේෂ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ග්‍රහලෝක දෙක පිළිබඳව කරුණු අනාවරණය කරගෙන තිබේ. මෙම සොයාගැනීමට මූලික වූ මහේෂ් හේරත් ප්‍රවීණ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චූලා හේරත්ගේ පුත්‍රයෙකි.

සූර්යයාගේ සිට ආලෝක වර්ෂ 1100ක් පමණ ඈතින් මෙම ග්‍රහලෝක දෙක පිහිටා තිබේ. මෙම ග්‍රහලෝක දෙකෙන් එකක් දින 13ක ආවර්ත කාලයක් සහ අනෙක දින 65ක ආවර්ත කාලයක් සහිතව අදාළ තාරකාව වටා ගමන් කරන බව මෙම සොයාගැනීම හඳුන්වාදීම සඳහා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පැවැත්වුණා මාධ්‍ය සාකච්ඡාවකදී මහාචාර්ය චන්දන ජයරත්න පැවසී ය.

මෙම තරුව K2-310A වන අතර ග්‍රහලෝක K2-310B සහ K2-310C ලෙස නම් කර ඇති බව ද, දින 65ක ආවර්ත කාලයක් සහිත C ග්‍රහලෝකය දැනට සොයාගෙන තිබෙන වැඩිම කාලාවර්තයක් තිබෙන ග්‍රහලෝකයක් බව ද, C ග්‍රහලෝකය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් බව ද මෙම මහාචාර්ය චන්දන ජයරත්න පැවසී ය.

මෙම ග්‍රහලෝක පිහිටා තිබෙන්නේ සූර්යයාට වඩා උෂ්ණත්වයෙන් අඩු, EPIC 212737443 ලෙස නම් කර තිබෙන තැඹිලි පැහැති තරුවක ග්‍රහ මණ්ඩලයේ ය.

මෙම සොයාගැනීම සඳහා පර්යේෂණ විද්‍යාඥයන් විසින් ඇමරිකානු නාසා ආයතනයේ කෙප්ලර් K2 දුරේක්ෂයේ දත්ත භාවිතාකොට තිබේ. එමගින් ආලෝක වර්ෂ 3000ක් දක්වා ඈත නැරඹිය හැකි ය.

මෙම සොයාගැනීම සම්බන්ධව යුරෝපීය ග්‍රහ විද්‍යා සමුළුවට 2018 වසරේදී ඉදිරිපත් කරන ලද පත්‍රිකාවක් මෙතනින් කියැවිය හැකි ය.