Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

නව කොරෝනා වයිරසයටත් වඩා වේගයෙන් පැතිරී යන වයිරසයක් තමයි ව්‍යාජ පුවත්, වැරදි තොරතුරු සහ දුස් තොරතුරු. දුස් තොරතුරු කීවේ සමාජය නොමග යැවීම සඳහා සිතාමතා පළ කරනු ලබන පුවත්වලටයි.

Translations by Creative Content Consultants

කොවිඩ්-19 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ බොහෝ අය මෙම වසංගතයෙන් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කිරීමයි.

මානව සමාජ පරිණාමයේදී වසංගත ද වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙන බව ඇත්තක්. ඒ නිසා කොවිඩ්-19 දෙස දේශපාලන දෘෂ්ටියකින් බැලීම අමුතු දෙයක් නොවෙයි. එහෙත්, දේශපාලන වාසි ලබාගැනීම සඳහා දියත් වන ඇතැම් ව්‍යාපෘති මේ මොහොතේ ප්‍රධාන අභියෝගය වන වයිරසය පාලනය කරගැනීමට බාධාකාරී වන්නට පුළුවන්.

උදාහරණයක් ලෙස, ලංකාවේ සිංහල ස්වෝත්තමවාදී බල ව්‍යාපෘතිය විසින් කොරෝනා වසංගතයත් මුස්ලිම් විරෝධය කුළුගැන්වීම සඳහා භාවිතා කරන ආකාරය ඉතා පැහැදිලිව දකින්නට ලැබුණා. ඒ වෙනුවෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම වගේ ම සත්‍යය යටපත් කිරීමත් දකින්නට ලැබුණා.

ඇතැම් මුස්ලිම් ප්‍රජාවන් අතර වයිරසය ව්‍යාප්ත වීම වැඩි වීම භාවිතා කරමින් සමාජය තුළ මුස්ලිම් විරෝධය වැඩි කරන්නට ව්‍යාජ පුවත් නිර්මාණය කරනු ලැබුවා. එසේම, කොවිඩ්-19 නිසා මියගිය මුස්ලිම් පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් එම පවුලේ අය අවසන් ගෞරව දැක්වීම සඳහා උනන්දුවක් නොදැක්වූ බව දැක්වෙන පුවත් නිර්මාණය කළා. මුස්ලිම් නායකයන් තම සංස්කෘතිය අනුව අවසන් ගෞරව සඳහා තිබෙන සංස්කෘතික හිමිකම ගැන කරුණු ඉදිරිපත් කළ විට ඒ ගැන සංවේදීතාවකින් යුතුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර තීරණයකට එළඹෙනවා වෙනුවට ජාතිවාදී ආධිපත්‍යවාදයකින් මතවාද ගොඩනැගුවා. එපමණක් නොව, මුස්ලිම් නායකයන් තම සංස්කෘතික හිමිකම් පිළිබඳ සඳහන් කිරීම ඔවුන් ජාතිවාදීන් ලෙස ලේබල් ගැසීමට පාවිච්චි කළා.

ඒ අතරතුර, කොරෝනා සම්බන්ධයෙන් වැරදි තොරතුරු පළ කළ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී සමාජයේ එතරම් ශක්තිමත් නොවන කොටස් පමණක් තෝරාගෙන ඔවුන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කරන ආකාරයක් ද දකින්නට ලැබුණා. නිදසුනක් ලෙස, කොවිඩ්-19 සම්බන්ධයෙන් වැරදි තොරතුරු ප්‍රකාශ කළ රාජිත සේනාරත්නට හෝ සරත් ෆොන්සේකාට නොගත් අන්දමේ දැඩි පියවර ක්‍රියාකාරී සමාජ මාධ්‍යකරුවෙකුට හා සාමාන්‍ය කාන්තාවක ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් ගන්නා ආකාරය දකින්නට ලැබුණා.

දීර්ඝ ඇඳිරි නීති, ලොක්ඩවුන් ආදිය නිසා සමාජයේ පීඩිත කොටස් මුහුණ දෙන ඇත්ත තත්වය පිළිබඳ වාර්තා නොඉවසීමේ ප්‍රතිපත්තියක් ද ඇතැම් ආණ්ඩු හිතවාදීන් වෙතින් දකින්නට ලැබෙනවා. ඒ වෙනුවට සියල්ල මැනැවින් සිදු වන බවට ව්‍යාජ පුවත් ඔවුන් විසින් ප්‍රචාරය කරනු ලබනවා. නිදසුනක් ලෙස, මෙම ලිපිය කියවන්න. ඇඳිරි නීති, ලොක්ඩවුන් කිසිම ප්‍රශ්නයක් නැහැ ය කියන සමාජ කණ්ඩායම වෙනුවෙන් තමයි බහුතරයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය භාවිතා වෙන්නෙ. ප්‍රශ්න තියෙන පුංචි මිනිසුන්ට හඬක් නැහැ.

මේ අතර ව්‍යාජ පුවත් නිර්මාණය වන අලුත්ම කලාපය වන්නේ කොවිඩ්-19 සුවපත් කරන ඖෂධ පිළිබඳවයි. අධිපතිවාදී ඇලොපති වෛද්‍ය කර්මයට විකල්ප වෙනත් වෛද්‍ය ක්‍රමවල පැවැත්ම පිළිගන්නා ගමන් ම පවත්නා තත්වය පාවිච්චි කර මුදල්, බලය හා කීර්තිය ගරාගැනීමේ ව්‍යාජ ප්‍රයත්නයන් ගැන සංවේදී වීමත් අවශ්‍යයි.

ලංකාවෙ අපි කොවිඩ්-19 ගණන් ගන්නෙ නැහැ: අධ්‍යයනයක තොරතුරු

ව්‍යාජ පුවත්, වැරදි තොරතුරු සහ දුස් තොරතුරු පැතිරීම වැළැක්වීම වෙනුවෙන් කටයුතු කිරීමත් කොවිඩ්-19 සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ජනතාවට සන්නිවේදනය කිරීමේ අරගලයේ ම කොටසක්. ඒ නිසා පහත දැක්වෙන වීඩියෝවේ තිබෙන ආකාරයේ ප්‍රයත්නයන් වැඩි වැඩියෙන් අවශ්‍යයි.

ව්‍යාජ පුවත්වලින් ආරක්ෂා වන්නට උපදෙස් තුනක් එහි යෝජනා කරනවා.

  1. තහවුරු නොවූ කිසිදු තොරතුරක් බෙදා නොගනිමු
  2. හැම දෙයක් ගැන ම විචාරශීලී වෙමු
  3. හැකි සෑම විටම නිල මූලාශ්‍රවලින් පමණක් තොරතුරු ලබාගනිමු
Translations

1 thought on “කොරෝනාවටත් වඩා වේගයෙන් පැතිරෙන වැරදි තොරතුරු

  1. Vividha jaathienta ayath sathun sahajiewanayen menma miththrathwayen suhadawa wesenu daknata lebeddie , ekama jaathiyak woo minisaa kulal kaa ganne kimada ?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: