Migrant workers

කෆාලා ගැටලු නිසා සවුදියේ අවුරුද්දකට වැඩි කලක් සිරගත කර සිටින කාන්තාවන් නිදහස් කරනු

බහුතරය ගෘහ සේවිකාවන් වන ශ්‍රී ලාංකික කාන්තාවන් 41දෙනෙකු (ඊට වැඩි විය හැකිය) රටින් පිටකිරීම සඳහා බලහත්කාරයෙන් සවුදි අරාබියේ රියාද්හි රැඳවුම් කඳවුරක රඳවා තබාගෙන සිටින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තරය පවසයි.

මෙම කාන්තාවන් මාස අටේ සිට 18 දක්වා කාලයක් මෙසේ රඳවා සිටින අතර මව්වරුන් තිදෙනෙකු ද දරුවන් සමග රඳවා තබා තිබේ. ඒ අතරින් එක් කාන්තාවකට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව ද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි.

සවුදි අරාබියේ සේවය කරන සංක්‍රමණිකයන්ට අවසර ලබාදීමේදී අනුගමනය කරනු ලබන කෆාලා අනුග්‍රාහක ක්‍රමය මෙයට හේතුවයි. පසුගිය මාර්තු මාසයේදී සවුදි අරාබිය කෆාලා ක්‍රමයට සංශෝධන ගෙන ආවත්, සංක්‍රමණික ගෘහ කම්කරුවන්ගේ තත්වය එම සංශෝධන මගින් වෙනස් වී නොමැති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි. සේවකයන් මත දැඩි පාලනයක් පවත්වාගෙන යන රැකියාවල නියුතු පිරිස්වලට රැකියාවෙන් ඉවත් වීම සඳහා නව සංශෝධන යටතේ පවා කොන්දේසි සපුරාගැනීම දුෂ්කරය. කෆාලා අනුග්‍රාහකත්ව ක්‍රමය අනුව සංක්‍රමණික ගෘහ සේවක සේවිකාවන්ට රැකියාවකින් වෙනත් රැකියාවකට යාමට හා රටින් පිටවීමට අනුග්‍රාහක සේව්‍යයාගේ අවසරය අවශ්‍යය.

සවුදි අරාබියේ සේවය කරන කෝටියක් වන සංක්‍රමණික ශ්‍රමිකයන් අතරින් ලක්ෂ 30ක් පමණ ගෘහ සේවක සේවිකාවෝය.

කෆාලා ක්‍රමය නිසා සංක්‍රමණික ශ්‍රමිකයන් සූරාකෑමේ උගුල්වල සිරවන අතර ඔවුන්ට එයින් මිදීමට ක්‍රම අහිමි වේ. නිවෙස් හිමිකරුවන්ගේ හිංසනයට ලක්වන, නිසි පරිදි වැටුප් නොලැබෙන ගෘහ සේවිකාවන් සේවය කරන නිවසින් පළාගිය විටදී මෙසේ අත්අඩංගුවට පත්වේ. ඇතැම්විට, රැකියාවේ පවතින අසාධාරණයන් පිළිබඳ පොලිසියට පැමිණිලි කරන කාන්තාවන් පවා රැඳවුම් භාරයට පත්කෙරේ. ස්වාමියා විසින් රටින් පිටවීමට අවශ්‍ය අවසරය ලබා නොදී සිටින හෙයින් ඔවුන්ට ආපසු සියරට පැමිණීම ද දුෂ්කරය.

මෙසේ රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් ආපසු මෙරටට ගෙන්වාගැනීම සඳහා සවුදි හෝ ශ්‍රී ලංකා රජයන් ප්‍රමාණවත් තරමින් කටයුතු නොකරන නිසා මෙම කාන්තාවන් මහත් දුෂ්කරතාවට පත්වී තිබේ. මොවුන්ගේ පවුල්වල අය ද මෙම කාන්තාවන් විසින් නිවෙස් වෙත එවන ආදායම් අහිමි වීම නිසා දුෂ්කරතාවලට මුහුණ දෙති.

කොවිඩ්-19 සීමාකිරීම් නිසා මෙම කාන්තාවන්ට ආපසු සියරට පැමිණීම සඳහා ගුවන් යානා ලබාදීම ප්‍රමාද වෙමින් තිබේ.

2018දී රැකියා සඳහා විදේශගත වූ ලාංකිකයන් අතරින් 31.7%ක් කාන්තාවෝ ය. විදේශ රැකියා සඳහා පිටත් වන කාන්තාවන්ගෙන් 95%ක් පමණ යන්නේ ගෘහ සේවිකා රැකියා සඳහා ය.

වසර 40කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව විදේශ රටවලට ශ්‍රමය සඳහා තම පුරවැසියන් යවමින් සිටියි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය වැනි රාජ්‍ය ආයතන ද තිබේ. 2016දී පමණක් ශ්‍රී ලංකාවේ විදේශ සේවා ප්‍රේෂණ ඩොලර් බිලියන 7.2ක් වූ බව මහබැංකු වාර්තාවේ දැක්වේ (ශ්‍රීලමබැ, 2018). එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%කි. එයින් 50%කට වඩා මඳක් වැඩියෙන් උපයාගනු ලැබුවේ මැදපෙරදිග කලාපයෙනි.

තවත් ලිපියක්: රටට විදේශ විනිමය එවන්නට විදෙස් රටවල දුක්විඳින අපේ ගැහැණු හා මිනිස්සු