අජිත් පැරකුම් ජයසිංහ
රටකින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වුව ද, මත්ද්‍රව්‍ය මර්දනයේ නාමයෙන් අහිංසක පුරවැසියන් ව්‍යාජ චෝදනා මත සිරගත කරමින් ඔවුන්ගේ ජීවිත විනාශ කිරීම කිසිසේත් ම අනුමත කළ නො හැක. අද වන විට අපට දක්නට ලැබෙන බරපතළ ම ඛේදවාචකයක් වන්නේ, ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන් විසින් තම පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සඳහා සහ මහජනතාව භීතියට පත් කිරීම සඳහා නීතිය අවභාවිත කිරීමයි. මෙය කොතරම් දුරට ව්‍යාප්ත වී ඇත් ද යත්, පොලිසිය ගොනු කරන නඩුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් බොරු නඩු වේ.

තවත් පැත්තකින්, පොලීසිවලට අවශ්‍ය නඩු ගණන ඇතැම් විට සපයන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසිනි. බොහෝ විට, ඒ වනාහි මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ය. තමන්ට වෙලාවට මත්ද්‍රව්‍ය ටික ලැබෙනවා නම්, ඔවුන්ට ඇතුළත් එක ය; එළියත් එක ය.
බන්ධනාගාර උතුරා යාමට ප්‍රධාන හේතුවක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමයි. එය අද වන විට ලංකාවේ පවතින විශාලතම ලාභ ලබන ව්‍යාපාරය බව පෙනේ. සෑම ප්‍රදේශයකම කුඩු, අයිස් රජවරු ඇත. මතුපිටින් ඇති රාජ්‍යයට යටින් වෙනම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය හා අපරාධ පාතාල රාජ්‍යයක් ඇත. පොලීසියත්, දේශපාලනයත්, තවත් බොහෝ අංශත් එම ජාලය සමග බැඳී ඇත.
තදබදයෙන් උතුරා යන බන්ධනාගාර නිර්මාණය වන්නේ මත්ද්‍රව්‍ය චෝදනා ලබන සැකකරුවන්ගෙනි. මේ අතර, පොලීසියට අභියෝග කරන වෙනත් අය ද මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ගේ ගොඩට දමන බොරු නඩු පොලීසිය පවරයි.
විශේෂයෙන් ම විෂ වර්ග, අබින් සහ අන්තරාදායක ඖෂධ ආඥාපනතේ (PODDO) 54 වගන්තිය අද අහිංසකයන් දඩයම් කරන ප්‍රබල අවියක් බවට පත් ව තිබේ. දිවයින පුරා ම සිදු වන මෙවැනි බොරු නඩු පැවරීමේ අවනඩුවට ගොදුරු වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වන්නිහැලඹවැව කාන්තාවකගේ කතාව මේ සම්බන්ධයෙන් සමස්ත සමාජයේ ම ඇස් ඇරවීමට සමත් ප්‍රබල සාක්ෂියකි. පසුගිය දිනෙක අනුරාධපුරයේ පැවති වධහිංසනයට එරෙහි වැඩසටහනකදී අපට අසන්නට ලැබුණු කතා අතරින් මේ කතාව අතිශය ඛෙදජනක එකකි.
54 වගන්තිය අද වන විට දූෂිත නිලධාරීන්ගේ ආරක්ෂිත පලිහක් වී හමාරය. යම් පුද්ගලයකුට එරෙහි ව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවක් ගොනු කළ සැණින්, එම සැකකරුට ඇප ලබා දීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට සම්පූර්ණයෙන් ම අහිමි වේ. ග්‍රෑම් 10කට වඩා මත්ද්‍රව්‍ය ඉදිරිපත් කළ විට වින්දිතයකුට ඇප ලබා ගැනීම සඳහා අභියාචනාධිකරණයට ම යා යුතු ය. එසේ ම, පොලිසිය විසින් ඉදිරිපත් කරන මත්ද්‍රව්‍ය හෝ වෙනත් ව්‍යාජ ද්‍රව්‍ය සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තා අධිකරණයට ලැබීම දැඩි ලෙස ප්‍රමාද වීම හේතුවෙන් දිනෙන් දින නඩු කල් යයි. මෙහි ඛේදනීය ප්‍රතිඵලය වන්නේ නිර්දෝෂි පුරවැසියන්ට පවා මාස ගණනාවක් හෝ වසර ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරවල අමානුෂික ලෙස දුක් විඳීමට සිදු වීමයි. අනුරාධපුර, ඔයාමඩුව පොලිස් වසමේ වන්නිහැලඹවැව පදිංචි දරුවන් සිව්දෙනකුගේ මවක් මුහුණ දුන් අසාධාරණය මීට කදිම නිදසුනකි.
2025 ජූලි 23 වැනි දින රාත්‍රියේ මෙම පවුලට අත්විඳීමට සිදු වූයේ රාජ්‍ය ත්රස්තවාදයේ අඳුරුතම අත්දැකීමකි. අවලංගු කරගෙන තිබුණු වරෙන්තුවක් මත, පොලිසියේ අකාර්යක්ෂමතාව හේතුවෙන්, තම සහෝදරයා නිකරුණේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැරූ උත්සාහයට එරෙහි වූ පමණින් ඇයට සහ ඇගේ පවුලේ අයට ඔයාමඩුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු අමානුෂික ලෙස පහර දුන්හ.
“ඒ වෙලාවෙ ඕඅයිසී මහත්තයා මගේ බිරිඳව බිම දමා පයින් පාගමින් ඉතා අමානුෂික අයුරින් පහර දුන්නා. මටත්, මගේ අයියාටත් විතරක් නෙමෙයි, 74 හැවිරිදි තාත්තාටත් පහර දුන්නා,” යැයි එම කාන්තාවගේ සැමියා පවසයි. පහර දීමෙන් රෝගාතුර වූ පියා රෝහල්ගත කිරීමට පැමිණි 1990 ගිලන් රථය පවා හරවා යැවූ පොලිසිය, පවුලේ සිව්දෙනකු ම අත්අඩංගුවට ගෙන පසුදා අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී පිරිමි පාර්ශ්වයට රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට ඇප හිමි වුව ද, කාන්තාවට හෙරොයින් ග්‍රෑම් 10ක් සහ මිලිග්‍රෑම් 200ක් ළඟ තබා ගත් බවට ව්‍යාජ චෝදනා ගොනු කර 54 වගන්තිය යටතේ රිමාන්ඩ් කෙරිණි. ඇයට මෙවැනි අසාධාරණයක් කළේ මන් දැයි ඇසූ විට ස්ථානාධිපතිවරයා ලබා දී තිබුණේ අතිශය සාහසික පිළිතුරකි: “උඹේ ගෑනිගෙ කට ටිකක් වැඩියි, ඔහොම අවුරුද්දක් විතර ඉදල ආවම හරි යාවි.”
මෙම අමානුෂික රාජ්‍ය මර්දනයේ සැබෑ වින්දිතයන් බවට පත් ව ඇත්තේ දරුවන්ය. මව මාස 11ක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගත වීම හේතුවෙන්, වයස අවුරුදු 6 සහ 8 වන ඇගේ කුඩා දරුවන් දෙදෙනාගේ පාසල් ගමන මුළුමනින් ම නතර වී ඇත. පියාට දෛනික කුලී වැඩ කරමින් පවුල නඩත්තු කිරීමට සිදු ව ඇති හෙයින්, ඔවුන්ගේ වැඩිමල් දියණියට ද පාසල් ගමන පසෙක ලා පියා සමග කුලී වැඩට යාමට තරම් පවුල අන්ත අසරණ තත්ත්වයට පත් ව තිබේ.
ඔයාමඩුව පොලිසියේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය එකී කාන්තාවට පමණක් සීමා වී නොමැත. පොලිසියේ මෙම අනීතික ක්‍රියාවට එරෙහි ව සාක්ෂි ලබා දුන් ඔවුන්ගේ අසල්වැසියකුට ද 54 වගන්තිය යටතේ ම බොරු මත්ද්‍රව්‍ය චෝදනා ගොනු කර රිමාන්ඩ් කර තිබීමෙන් පොලිසියේ දූෂිත බලය මොනවට පැහැදිලි වේ.
ඔයාමඩුව පොලිසියේ ස්ථානාධිපතිවරයා “ඇතුළේ තබා උඹලාව හදාගන්නට යයි” ප්‍රසිද්ධියේ ම කියමින් ව්‍යාජ ලෙස 54 වගන්තිය යටතේ චෝදනා ගොනු කරන බවත්, ඔහු මෙම අසාධාරණකම් කරන්නේ දේශපාලන බලධාරීන්ගේ ආරක්ෂාව මත බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මෙම අමානුෂික ක්‍රියා සහ බොරු නඩු පැවරීමේ සංස්කෘතිය අපි දැඩි ව හෙළා දකිමු. පොලිස් නිලධාරීන් නීතිය ආරක්ෂා කළ යුතු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ලෙස කටයුතු කරනවා මිස නීතියේ සිදුරු භාවිත කරමින් මහජනතාවගෙන් පළි නො ගත යුතුය. අහිංසකයන් සිරගත වීම වැළැක්වීම සඳහා පවතින නීතිමය ප්‍රතිපාදන වහා ම සමාලෝචනය කළ යුතු ය. තව ද, රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරමින් පද්ධතිමය යළි ගොඩනැගීම් වහා සිදු කළ යුතු ව ඇත. එසේ ම, පොලිසිය සිතාමතා ම මත්ද්‍රව්‍ය ප්‍රමාණය බර වැඩි කර බොරු වාර්තා ඉදිරිපත් කර ඇති බව ඔප්පු වුවහොත්, එම වැටලීම කළ පොලිස් නිලධාරීන්ට එරෙහි ව අනිවාර්යයෙන් ම සාපරාධී නඩු පැවරිය යුතු ය. එමෙන් ම, ඔවුන් සේවයෙන් නෙරපිය යුතුය.
අපගේ ස්ථාවරය වන්නේ:
- වගවීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම: පොලිසිය සිතාමතාම මත්ද්‍රව්‍ය ප්‍රමාණය බර වැඩි කර බොරු වාර්තා (Fabricated Charges) ඉදිරිපත් කර ඇති බව ඔප්පු වුවහොත්, එම වැටලීම කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව අනිවාර්යයෙන්ම සාපරාධී නඩු පැවරිය යුතු අතර ඔවුන්ව සේවයෙන් නෙරපිය යුතුය.
- පද්ධතිමය ප්‍රතිසංස්කරණ: ව්‍යාජ චෝදනා මත අහිංසකයින් සිරගත වීම වැළැක්වීම සඳහා පවතින නීතිමය ප්‍රතිපාදන වහාම සමාලෝචනය කළ යුතු අතර, රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය.
නීතියේ පරමාර්ථය යුක්තිය ඉටු කිරීම මිස, අහිංසකයන් දඬුවමට ලක් කිරීම නොවේ. රාජ්‍ය බලය අවභාවිත කරමින්, නීතියේ ආවරණයට මුවා වී පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන මෙවැනි ක්‍රියාවන්ට එරෙහි ව සමස්ත සමාජය ම එක් ව හඬ නැගිය යුතු කාලය එළඹ ඇත. යුක්තිය සැමට සමාන විය යුතුය!












