Peacock dance

අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ පළාත් පාලන ආයතනවල බලය තහවුරු කරගත්ත ආකාරය අනුව, එහි සදාචාරාත්මක ඉහළ ස්ථානය එයට අහිමි වුණා. කලින් මාලිමාවට සහයෝගය දෙමින් සිටි නිර්මාල් රංජිත් දේවසිරි වගේ අයට ටිකෙන් ටික එයින් ඈත් වෙන්නට මෙම තත්වය උපකාරී වෙනවා. සුනන්ද දේශප්‍රිය, සේපාල් අමරසිංහ වැනි අය දැඩි ලෙස මාලිමාව විවේචනය කරනවා. කවදාවත් රාජ්‍ය පාලනයක් එක්ක කටයුතු නොකරන, සදාතනික විරෝධතාවාදීන්ට දැන් හෙමින් සැරේ පස්ස ගහන්නට අවස්ථාව ලැබිලා.

ඒ වුණාට, ජවිපෙ නජිත් ඉන්දිකලාගේ අති වාම කණ්ඩායම කොටුව ඇතුළේ තබාගැනීම නිසා වාම ආන්තික බලවේගය පෙරටුගාමීන් දිහාවට ඇදී යන එක පාලනය කරගන්නට පුළුවන් වී තිබෙනවා. වංගීස සුමනසේකර, විදර්ශන කන්නන්ගර වැනි අය තවම මාලිමාවේ රැඳී ඉන්නට එය හේතු වෙනවා.

ඔය ඉතින් දේශපාලන පෙරමුණේ තත්වයනෙ. මහජන පෙරමුණේදි නම් ජවිපෙ සෑහෙන දුරට ජනතාවගෙන් ඈත් වෙලා ඉවරයි. හක්මන සභාපතිවරයා වැනි අලුතෙන් පත් වුණ සමහර පළාත් පාලන සභාපතිවරු පොඩි පොඩි සංදර්ශන දානවා පෙනුණා. ඒවාටවත් ජන ආකර්ශනයක් ඇති බවක් පෙනෙන්නෙ නැහැ. මාලිමා මහජන නියෝජිතයන්ට ජන පදනමක් ගොඩනගා ගන්නට හැකි වී ඇති බවක් පෙනෙන්නෙ නැහැ. ඔවුන්ගේ සංදර්ශන සියල්ලම වගේ පාර්ලිමේන්තුවට, මාධ්‍යවලට හා සමාජ මාධ්‍යවලට සීමා වෙලා. පොදු ජනතාව අතර ඔවුන් ගැන පැහැදීම වේගයෙන් අඩු වෙමින් යනවා. ජනතාවට ජවිපෙට වඩා බඩු මිල වැදගත්.

පවතින ආර්ථික තත්වය යටතේ ලොකු ලොකු සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ හැකියාවක් නැති තරම්. දුම්රිය දෙපාර්තමේන්තුව උඩරට දුම්රිය මාර්ගයේ පීලි උඩ නවත්තපු හෝටලයක් හදලාලු. ඔය හෝටලය පවත්වාගෙන යන එකෙන් පොදු ප්‍රවාහනයට නම් ඇති වැඩක් නැහැ. දුම්රිය හෝ පොදුවේ පොදු ප්‍රවාහනය සම්බන්ධ අංශු මාත්‍රයකවත් සංවර්ධනයක් තවම නම් වෙලා නැහැ. කිසිදු වියදමකින් තොරව කළ හැකි දේවත් කිසිවක් කර නැහැ. ජුලි 1 සිට වාහනවල නීති විරෝධී උපාංග ඉවත් කිරීමේ තීරණය හෝ ක්‍රියාත්මක වෙනවා නම් ලොකු දෙයක්.

ඒ අතරෙ පරණ ආණ්ඩු වගේම අරෙහෙම කරනවා, මෙහෙම කරනවා කිය කියා සංවර්ධනය ගැන ලොකු ටෝක් දෙන එක නම් ආණ්ඩුව කරනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කරනවා වැනි කතා එවැනි ඒවායි. ඔය කියන දේවල් කරන්න ලේසි නැහැ. ඒ වෙනුවෙන් අති විශාල ධනස්කන්ධයක් අවශ්‍යයි. ආණ්ඩුවට සල්ලි තියෙනවද? ඒ වගේම, මෙහෙමත් හිතන්නට පුළුවන්. දුම්රිය සේවාව සම්බන්ධයෙන් ගත්තාම තිබෙන ලොකුම ගැටලුව කොටුව දුම්රිය ස්ථානයද? තවමත් සුන්දර, සාපේක්ෂව තරමක් විධිමත් ස්ථානයක් වන කොටුව දුම්රිය ස්ථානය කඩාගන්නෙ නැතුව වෙනත් කරන්නට දේ නැද්ද? රජය ප්‍රමුඛතා හඳුනාගෙන තිබෙනවාද?

මේ දවස්වල ආණ්ඩුව යන්තම් මිට ගහගෙන දුවනවා. පසුගිය ආණ්ඩුවෙන් බදු ආදායම් ශක්තිමත් කරපු නිසාත්, මිල සූත්‍ර හඳුන්වා දීපු නිසාත් මේ ආණ්ඩුවට ආදායම් වියදම් තුලනය කරගන්නට ටිකක් ලේසියි. ආණ්ඩුවේ නියෝජිතයන් වැඩි දෙනෙකුට තත්වයේ බරපතලකම හා අවදානම් ගැන අවබෝධයක් නැති නිසා වර්තමාන තත්වය 2019දි පත්වුණ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ තත්වයට සමානයි. ඒ වුණාට ලබන මාසය වෙනකොට ලොකු අභියෝග මතුවෙන්නට පුළුවන්. යුද්ධය නිසා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වැඩි වුණොත්, නැවත විදුලි බිල පවා වැඩි කරන්නට සිදු වේවි. මේ අතරෙ එක්සත් ජනපදය එක්ක තීරු බදු ප්‍රශ්නය විසඳගන්නට ආණ්ඩුව මොනවා කරනවාද කියන එක පැහැදිලි නැහැ. ඒ ගැන ලොකු ටෝක් දෙන්නෙත් නැහැ. මහින්ද සමරසිංහ වැඩේ ගොඩ දා දෙයිද? ගොඩ දාගත්තොත් හොඳයි. නැතිනම්, බරපතල ප්‍රශ්නයක්.

පළාත් පාලන සභා පිහිටුවපු ආකාරයත් එක්ක, ජවිපෙ පාරිශුද්ධත්වයේ රංගනය අවසන් වී තිබෙන නිසා, අපි ජවිපෙ දිහා අලුතින් බැලිය යුතු බව මං මීට කලින් කිව්වනෙ. ජවිපෙ තවදුරටත් ටිල්වින් සිල්වගෙ කොමියුනිස්ට් හීනයවත්, හරිනි අමරසූරියගෙ ලිබරල් වාමාංශයවත්, උපුල් කුමාරප්පෙරුමලාගෙ ලිබරල් දක්ෂිණාංශික මැදවත් නෙමෙයි. ජවිපෙ සංකේතය අනුර කුමාර දිසානායකම තමයි. ජවිපෙ වේගයෙන් තත්කාර්යවාදය හෙවත් ප්‍රැග්මැටිසම් පැත්තට යොමු වෙමින් තිබෙන බව තමයි පෙනෙන්නෙ. ඒ කියන්නෙ ප්‍රායෝගික තත්වයන් යටතෙ ලංකාවේ හා ලෝකයේ පැවතිය හැකි ප්‍රායෝගික තත්වයක් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක්. ඒක වමවත්, දකුණවත් මැදවත් නෙමෙයි.

ජවිපෙ හා ජවිපෙ නායකත්වය දෙන පහළ මධ්‍යම පන්තිය සම්බන්ධයෙන් ගත්තාම මෙය විප්ලවීය පරිවර්තනයක්. මොකද, ඔවුන් මෙතෙක් කල් තම දෘෂ්ටිවාදය ලෙස ප්‍රකාශ කළ රාජ්‍ය මූලික වාම ජාතිකවාදයට වඩා මෙය හාත්පසින්ම වෙනස් තත්වයක්.

රාජ්‍ය මූලික ආර්ථිකය කියන කාරණේම අරගන්නකෝ. ජවිපෙ රාජ්‍ය මූලිකත්වය අවසන් කරමිනුයි ඉන්නෙ. පීල්ලක් උඩ නවත්තපු රෙස්ටොරන්ට් එකක් වගේ සිල්ලර බිස්නස් එකකින් ඇති කරන්නට පුළුවන් රාජ්‍ය මූලිකත්වයක් නැහැ. තව වැඩි කාලයක් යන්නට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව ඔය පෙට්ටි කඩේ බදු දෙයි. බදු ගන්න එවුන් පුළුවන් නම් පවත්වගෙන යයි. බැරි නම් වහල දායි. ඔය කතන්දරේම ලබන අවුරුද්ද වෙනකොට ශ්‍රීලන්කන් එකටත්, තවත් බොහෝ ආයතනවලටත් වෙනවා. ලබන අවුරුද්ද වෙනකොට ජවිපෙ තව තවත් ප්‍රැග්මැටික් වෙනවා.

ඉදිරියට යන්නට අවශ්‍ය නම්, අපි වී හෑව් අ ඩ්‍රීම් කණ්ඩයම විදියට ප්‍රවර්ධනය කරපු, රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙමින් ක්‍රියාත්මක කරමින් සිටි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන ඉක්මවා ගිය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නට ජවිපෙට සිදු වෙනවා. එතකොට අපට ජවිපෙට විරුද්ධ වෙන්නට හේතුත් නැතුව යාවි. ඒ වුණාට ජවිපෙට ඔය කියන වැඩේ කරන්නට ජනවරමක් තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. හේතුව, ඔවුන් කිව්වේ එකක්. දැන් කරන්නට සිදු වෙලා තියෙන්නෙ වෙනින් දෙයක්. ඒ නිසා වඩා හොඳයි ජනාධිපති අනුර හැකි ඉක්මනින් ජනවරමක් ලබාගන්න එක.

හැබැයි ඉතින්, බල දේශපාලනයෙදි අපි ජවිපෙන් විතැන් වෙලා ඉවර නිසා අපට වඩා හොඳ පාලනයක් වෙනුවෙන් දිගටම කරන්නට බොහෝ දේ තිබෙනවා. අලුත් බලවේගයක් හදන්නට ඕනැ. වර්තමානයේ බලයේ සිටින පිරිස එක්ක නම් ජනාධිපති අනුර කුමාරටවත් යන්නට පුළුවන් ගමනක් නැහැ. මේක ඒ තරම් මොන්ටිසෝරියක් දෙයියො. විපක්ෂය ඊට එහා. බලය වෙනුවෙන් මොකක් කළත්, කාට කාටත් කරන්නට තියෙන්නෙ එකම දෙයයි. ඒ පුළු පුළුවන් තරම් ප්‍රැග්මැටික් වෙන එක.

Peacock dance

Leave a Reply

Your email address will not be published. Required fields are marked *