Dilum Amunugama

වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් සුද්දකිරීම සඳහා අතගසා තිබෙන ප්‍රමුඛතම ආයතනය මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි. එය දූෂිත ආයතනයක් බව ආණ්ඩුවේ අදහසයි.

මීට වසරකට පමණ පෙර, මම මගේ රියදුරු බලපත්‍රය අලුත් කරවා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රස්තියාදු වුණෙමි. (එම ලිපිය මෙතැනින්) එය එතරම් විශාල රස්තියාදුවක් නොවේ. සාමාන්‍යයෙන් රජයේ සේවක සේවිකාවන් මහජනතාව සමග කටයුතු කිරීමේදී දක්වන මූසල ප්‍රතිචාර හැර විශාල අකාර්යක්ෂමතාවක් එහි තිබුණේ නැත. සාමාන්‍ය රස්තියාදුවට අකැමැති පිරිස්වලට හොර පාරෙන් කටයුතු කරගතහැකි පහසුකම් සපයන බාහිර පුද්ගලයන් ඒ අවට ගැවසෙන බව සත්‍යයකි. ඔවුහු යම් මුදලක් ලබාගෙන ඔබේ කටයුතු පහසුවෙන් කරදෙන බව කියති. ඇතුළේ සිටින නිලධාරීන් ඔවුන් සමග සම්බන්ධ බවට සැක කළ හැකිය.

2019 වසරේ දෙසැම්බර් 26 දින ජනාධිපතිවරයා මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට කඩාපැන නිරීක්ෂණයක් සිදු කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත යයි කියන නිලධාරීන් 600ක් මාරු කර ඇති බව ද ඔවුන් මාරු කළේ බුද්ධි අංශ නිලධාරීන් යොදවා විමර්ශනය කිරීමෙන් පසුව බව ද ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයට පැවසූ බව වාර්තා කරන ලදී.

කෙසේ වෙතත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක සංඛ්‍යාව අනුව පෙනෙන්නේ සියලුදෙනා මාරු කර තිබෙන බවකි. වාර්ෂික ස්ථානමාරු ඉල්ලා සිටි අය පවා මාරු කර තිබෙන අතර, දැන් ඔවුන්ට අලුත් සේවා ස්ථානවලට යන්නට සිදුවන්නේ හොරකම් කර අසු වූ පිරිසක් ලෙස හංවඩු සහිතවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර දූෂිතයන් සිටී නම් ආණ්ඩුව කළ යුතු වන්නේ ඔවුන් අල්ලාගෙන විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. එහෙත්, ඒ කිසිවක් සිදු නොකර සියලු නිලධාරීන් සොරුන් ලෙස නම්කර ඇති බවක් පෙනේ. මෙය ඉතා මුග්ධ ක්‍රියාවකි.

දිනමිණ පුවත්පත කියන පරිදි මාසයකට රු. කෝටි පහකට වැඩි ‘ජරාව’ කෑ නිලධාරීහු මෙහි සිටිති. ඒ අතර නියෝජ්‍ය-සහකාර කොමසාරිස්වරු 20ක් ඒ අතර සිටින බව ද දිනමිණ කියයි. අල්ලස් ගන්නා නිලධාරීන් අත්අඩංගුවට ගත යුතුය. ස්ථානමාරු ප්‍රමාණවත් නැත.

රාජ්‍ය අංශයේ ආයතනයක් සම්බන්ධයෙන් මෙම වෘත්තිකමය නොවන අපරිණත දේශපාලන මැදිහත්වීමට වැඩිපුර සම්බන්ධ බව පෙනෙන්නේ ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගමයි. නිලධාරීන් මාරුකිරීමේ මෙම ක්‍රියාමාර්ගය ඔස්සේ ඔහු දැවැන්ත ප්‍රචාරයක් ගන්නට උත්සාහ කරන බව පෙනේ. 2018 වසරේදී දින 52 ආණ්ඩු සමයේ පාර්ලිමේන්තුවේ කතානායක මේසයේ මයික්‍රෆෝනයක් අතින් කඩන්නට ගිය දිලුම් අමුණුගම අත ද කපා ගත්තේය. (ඡායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවේදී ඔහු රෝහල්ගතව සිටි ආකාරයයි)

මෙම ඇමතිවරයාගේ ක්‍රියාකලාපය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කර තිබෙන දක්ෂ රාජ්‍ය නිලධාරියකු වන සුමිත් අලහකෝන් සැලසුම් චින්තනය හෙවත් design thinking භාවිතා කරමින් නිලධාරීන් සමග එක්ව කරනු ලබන වෙනස්කම්වලට ද දැඩිව බලපානු ඇත.

වළංකාරයාගේ අවුරුද්දක වැඩ විනාශ කරන්නට පොලුකාරයාට පැයක්වත් උවමනා නැත.

1 thought on “මයික් කඩා අත කපාගත් දිලුම් පොල්ලක් ගෙන මෝටර් ප්‍රවාහන වළං කඩේට පනියි

  1. Kawru monawa kiwwath rajaye sewakayo , oya kiyanatharam dhoshitha nowethi . Wedak karaganna yana minisun ichcha bhangathwayata pathewenne bohovita , owungeama asampoorna liyakiyavili heathuwen .
    Lokko horu allanna wage rajjya aayathanawalata polu aragena kadaa panina keliya dige giyoth yana unta nirwasthrawa ennata siduwana dawasa wedi eathaka nowe .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: