Sri Lankan Child WFP Photo

අජිත් පැරකුම් ජයසිංහ

2017 ගංවතුරෙන් පස්සෙ අපේ ඔෆිස් එකෙන් එකතු කරපු ආධාර වගයක් බෙදන්න මායි තව ඔෆිස් එකේ කීපදෙනෙකුයි ගියා බදුරලිය පැත්තෙ ගමකට. ඒ වෙනකොට ආධාර ලෝභය පැතිරිලා තිබුණෙ ජනතාව අතර. අපිත් එක්ක කතාකරපු එක ගෑනු කෙනෙක් අඬ අඬ කිව්වා මහත්තයා ක්‍රීම් ක්‍රැකර් කන්න කැමති නැහැ, ඒ වුණාට අද උදේට ක්‍රීම් ක්‍රැකරුත් කෑවාය කියලා.

මේ වෙනකොට අරාජිකවාදී ධාරාවේ ප්‍රධාන මාධ්‍යය වන සිරස බත් මුට්ටි වීඩියෝ කරමින් විකාශය කරන්නට පටන් අරන්. කාලා ඉවර වෙලා හෝදන්න වතුර දාලා තියෙන බත් මුට්ටියකුත් ඊයෙ පෙන්නුවා, බලන්න මේ බත්මුට්ටිවලට වෙලා තියෙන දේ කියලා. එහෙමට මන්දපෝෂණ පෙනුමක් නැති ළමයි වරකා කනවා, ජෑම් ගෙඩි කනවා එහෙමත් පෙන්නනවා.

වරකා, ජෑම් ගෙඩි, පොල්, පොල්මද වගේ සිරසෙන් හා අරගලෙන් කිච කර දමන කෑම ඉතා පෝෂ්‍යදායී ආහාර. ලංකාවේ එවැනි ආහාර ඉතා සුලබයි. ගම්වල නම් පොඩ්ඩක් මහන්සි වෙනවා නම් මෙවැනි ආහාර ඕනෑ තරම් සොයාගත හැකියි. කොස්ඇට, සිය ගණනක් පළා වර්ග, වෙල් මාළු, වැව් මාළු, ගඩාගෙඩි වගේම මාතලීගෙ වාහනේ, දුවන පුහුල්, ගස් ගෝන්නු වගේ ජාති ගම්වල තවමත් අපතේ යනවා. ටිකක් මහන්සි වෙන්නයි ඕනැ. නිකම්ම පිඟානට වැටෙන්නෙ නැහැ. ටිකක් මහන්සි වුණොත්, අඩු වියදමකින් කොළ කැඳ වගේ පෝෂ්‍යදායී ආහාර හදාගන්න පුළුවන්. ඉස්සර මිනිසුන් ආහාරයට ගත්ත, බෙල්ලන්, උරගයන් වගේ ආහාරවලට නැවත හුරුවෙන්නට පුළුවන්. අලුත් ආහාර වුණත් සොයාගන්න පුළුවන්. බඩගින්නෙ මැරෙන්න ඕනැ නැහැ. (දැන් අහන්න එපා නගරවල අය මොනවද කරන්නෙ කියලා. පොළවෙ පස් පෑගෙන්නෙ නැති තරම් අග නාගරික ජීවිත ගතකරන මිනිසුන්ට පොළවෙන් කන්න බැරි බව ඇත්ත. ඒ අය හොයන්නට ඕනැ කෑම හම්බ කරගත හැකි වැඩ හා සාධාරණ වැටුප්.)

මන්දපෝෂණයට ප්‍රධාන හේතුවක් වෙන්නෙ මිනිසුන්ගෙ නූගත්කම හා නොසැලකිල්ල. ලංකාවෙ පාසල් ළමයින්ට කන්න නැති ප්‍රශ්නයකට වඩා තියෙන්නෙ වැරදි ආහාර පුරුදු. බොහෝ වෙලාවට ළමයින්ගෙ නූගත් මව්පියන් දරුවන්ගෙ පෝෂණය ගැන දන්නෙ නැහැ. උදේට කාලා එන්න වෙලාව නැතිකමත් තියෙනවා. ළමයි ඉස්කෝලෙ ආපු ගමන් කෑම කන්න දෙනවා නම් හරි. ඒ වුණාට ඉන්ටවල් දෙන්නෙ දවල් 11ට විතර. උදය රැස්වීමේදී ළමයින් කලන්තෙ දාලා වැටෙන්නට හේතු රැසක් තියෙනවා. මූලිකවම උදය රැස්වීම දීර්ඝ වෙලාවක් පවත්වන්නේ නැතුව ඉන්න පුළුවන්, ළමයින්ට ආදරේ නම්.

මුදල් තියෙන මිනිසුන් පවා මිල අධික, පෝෂණය අඩු, රසකාරක සහිත, ඇබ්බැහි කරනසුලු පීසා, රෝල්ස්, පැටිස්, කට්ලට්ස්, වඩේ, කොත්තු, ආප්ප, ෆ්‍රයිඩ් රයිස්, ක්ෂනික නූඩ්ල්ස්, කිරිපිටි, අයිස්ක්‍රීම්, චොකලට්, පැණිබීම වැනි ආහාරවලට ඇබ්බැහි වෙලා. පෝෂණ ගැටලු ඇතිවෙන්නට ඒවාත් හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි එමගින් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගත් දිරිගැන්වෙනවා.

මහින්දයි, හාමුදුරුවරුයි එකතු වෙලා හරක් මස් තහනම් කරපු එක ඉතාම බරපතල වරදක්. වහාම ඒක නිවැරදි කරන්නට ඕනැ. ඔය මීඩියා උකුස්සන්, මීඩියා සීඅයිඩීකාරයන්ට කුදගහගන්න කියලා ආහාර සඳහා දඩයම් කරන මිනිසුන් පස්සෙන් පොලිසිය එළවන්නේ නැතුව ඉන්න ඕනැ.

පර්ල් එස්. බක්ගේ සරුබිම නවකතාවේ වං ලුං ගොවියා සාගත කාලෙ කන්න කිසිම කොළ පාට තණකොළයක්වත් නැතුව අන්තිමට කුඹුරේ පස් කාලා රැකෙනවා. පොත් කියන්නෙ ‘විකුණන්නයි කියවන්නයි පොළටයි ආවේ’ වර්ගයේ බුක්ෆෙයා වැඩක් විතරක් නෙමෙයි. ලියන මහත්තුරු කරන්නෙ බිස්නස් එකක් වුණාට සල්ලි දීලා අරන් කියවන අයට ඒවායින් දැනුමක් ලබාගත හැකියි.

ලංකාව ගතකරමින් ඉන්නෙ ඉතාම දුෂ්කර කාලයක්. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නට නම් අපි හැමෝටම සැබෑ ජීවන අරගලයක් කරන්නට සිදුවෙනවා. දේශපාලකයන් විතරක් හොරකම් කරපු නිසා තමයි රටට මෙහෙම වුණේ, උන් හොරාකාපු සල්ලි අරගෙන රට සුඛිත මුදිත කරන්නට පුළුවන් ආදී වශයෙන් පට්ටපල් කෙබර දෙසාබාමින් ජනතාව රවටා ජනරජය විනාශ කර, රාජ්‍යය බිඳ දමා අරාජිකත්වය ඔස්සේ, ප්‍රධාන ධාරාවෙන් ඉවතට විසිවුණ ලාංකිකයන් සහ ඩයස්පෝරා හා බටහිර විවිධ බලවේගවල ආධාරයෙන් බලය ගැනීමට වෙර දරන අරාජිකවාදී බලවේගයට අහුවෙන්න එපා.

ඇත්ත ගැන විමසිලිමත් වෙන්න. බල අරගල කරන අයට ඒක කරගන්නට හරින්න. අනෙක් අය මේ අර්බුදයෙදි තමන්ගෙ ජීවිත රැකගන්න එක ගැන හිතන්න. ඒ වෙනුවෙන් වැඩ කළොත් රටත් බේරගන්න පුළුවන්.

මිනිසුන්ගෙ බඩගින්න කියන්නෙ නිවන්නට උපකාර කළ යුතු, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා දැනුම ලබාදිය යුතු දෙයක් මිස දේශපාලන වාසි සඳහා සහ බලය ලබාගැනීම සඳහා පාවිච්චි නොකළ යුතු දෙයක්.

3 thoughts on “වරකා, ජෑම් ගෙඩි, පොල්, පොල්මද වගේ සිරසෙන් කිච කරන කෑම

  1. සූරියවැව මන්දපෝෂණ සිද්ධිය ජී. ජී. චමල් සංජීව නමැති වෛද්‍යවරයකුගේ ප්‍රකාශයකි. වෛද්‍ය චමල් සංජීව මේ වන විට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එවැනි ආයතනයක් මෙහෙයවන වෘත්තීය සමිති ප්‍රධානීන් නිරන්තරයෙන් බහුජනතාවට බලපාන්නේ යැයි සිතන ප්‍රශ්න ගැන කතා කරති. සූරියවැව දරුවන්ගේ මන්දපෝෂණ පුවත සමගි ජනබලවේගයේ මන්ත්‍රී රෝහිනී කවිරත්න විසින් පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කරන ලදී. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්නයට යම් ප්‍රමාණයකට පිළිතුරු දී ඇති අතර සම්පූර්ණ පිළිතුරක් දීමේ අපේක්ෂාවෙන් පසුවෙතැයි දැන ගැනීමට තිබේ. පාසලේදී ගනු ලබන දිවා ආහාරය වශයෙන් පොල් කැබලි උලුප්පා Lunch box එකක දමාගෙන එන දැරියක්, නිරාහාරව පාසල් පැමිණීම නිසා ක්ලාන්ත වන දරුවෙක්, කුසගිනි නිවාගැනීම සඳහා වැව්වලට බැස නෙලුම් අල සොයන දරුවන් ගැන විවිධ ප්‍රවෘත්ති මේ දිනවල අපට අසන්නට ලැබේ.

    ශ්‍රී ලංකාව මේ මොහොතේදී ඉහළ උද්ධමන අවස්ථාවක පවතී. එහි ප්‍රමාණය 70% ක් බව කියනු ලැබේ. රටක මෙවැනි උද්ධමන තලයක් තිබෙන විට ඉහත සඳහන් ආකාරයේ භාවාතිෂය සිද්ධි ප්‍රචාරයට පත්වීම ඉතා ස්වභාවිකය. හයිටි රාජ්‍යයේ කුඩා දරුවෝ නැති බැරි කාලයට මැටිවලින් සෑදූ බිස්කට් වර්ගයක් කති. මෙය සමාන වන්නේ බඩගිනිකාර කිඹුලා කිරි මැටි කෑමටය. කිරි මැටි කෑ කිඹුලා එයින් මැරෙන්නේ නැත. එහෙත් ඌට අවශ්‍ය පෝෂණය කිරි මැටි වලින් නොලැබේ. කිරි මැටිවල ඇති ඛනිජ වලින් ඉතා ස්වල්පයක් කිඹුලාගේ සිරුර විසින් අවශෝෂණය කරගනු ලැබේ. හයිටියේ මැටි බිස්කට් කතාවේ ප්‍රතිඵලයද මෙයට සමානය. කිසියම් රටක දරුවකුට තිරිඟු පිටි වලින් සෑදූ බිස්කට් නොව මැටි වලින් සෑදූ බිස්කට් අනුභව කිරීමට ලැබීම අවාසනාවකි. සූරියවැව දරුවන්ගෙන් 80% ට මන්දපෝෂණය තිබෙන බව වෛද්‍ය චමල් සංජීව කියන්නට ඇත්තේ කිසියම් සමීක්ෂණ වාර්තාවක් පදනම් කරගෙන විය යුතුය. එවැනි සමීක්ෂණ වාර්තාවකට පිළිගැනීමක් ලැබෙන්නේ එය අන්තර්ජාතිකව පිළිගත් විගණනයන් ඔස්සේ කෙරුණු පර්යේෂණයක් නම් පමණි. මේ ගැන වැඩිදුර කතා කිරීමට අපි අපේක්ෂා නොකරමු.

  2. එවකට රත්නපුර ප්‍රදේශයේ සිසුවියකව සිටි භාග්‍යා අබේරත්න මෙන්ම රාජ්‍ය නිලධාරිනියකව සිටින දේවානි ජයතිලක මෑත කාලයේ පරිසරයට සෙනෙහෙ බැඳි ලාංකේය දුහිතෘවරු දෙපොළකි. ඔවුන්ගේ හෙළීදරව් කිරීම් සම්බන්ධව වපර ඇසින් බැලූ අයද එකල සිටියහ. එහෙත් පරිසර හිතෛෂී බොහෝ දෙනාට ඔවුන් යුග වීරවරියන් වූවාට සැක නැත. ඔවුන් එදා සොබාදහමට සෙනෙහස පාන්නට ඉදිරිපත්ව සිටියේ අන් හේතුවක් නිසා නොව එය ඔවුන් ලද අධ්‍යාපනයේම පැතිකඩක් වූ නිසා බව අමුතුවෙන් කිවයුතු නැත.

    ගෙවී ගිය දෙවසරක් තරම් කාලයක් පුරා මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව බරපතළ ඛේදනීය ඉරණමකට මුහුණ දෙමින් සිටියහ. දැනුදු එහි දුර්විපාක ප්‍රදර්ශනය කරන ආකාරයේ සිදුවීම් ගැන වාර්තා වෙයි. විකල්ප අධ්‍යාපන ක්‍රම විධි වශයෙන් මාර්ග ගත අධ්‍යාපනය හඳුන්වා දුන්නත්, සාම්ප්‍රදායික පරිසර ආශ්‍රිත නිදහස් අධ්‍යාපන ක්‍රියාවලියෙන් අෑත්වූ බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විකෘති මානසික තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවූ බවද රහසක් නොවේ. විවිධ මානසික ආතති තත්ත්වයන්ට මුහුණ දුන් සිසුන් අතර ළාබාල අයද නොසිටියාම නොවේ. සිය දිවි නහගත් කිහිප දෙනෙක්ද වෙති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදී මහවැලි ගඟට පැන දිවිනහගත් බවට සැකකරන අංජන කුලතුංග තරුණ ශිෂ්‍යයාගේ මරණයද මානසික ආතතිය හේතුවෙන් වූවක් බවට සාක්‍ෂි ඉදිරිපත්ව තිබේ. පාසල් ‍ෙදාරටු වැසී, සරසවි මංපෙත ඇහිරී නිදහසේ ඉගෙන ගන්නා වරම් අහිමිවී සිරකරුවන් සේ දිවිගෙනයමින් සිටි ශිෂ්‍ය ප්‍රජාව විවිධාකාර ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම්වලට යොමු වන්නට සූදානම් වන බවට ප්‍රකට මනෝ වෛද්‍ය විශේෂඥයන් අදහස් පළ කොට තිබුණේ අද ඊයේ නොවේ. පසුගිය කාලයේ අරගලයට සමාන්තරව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් පිටුපසද කොවිඩ් වසංගතයේ හුදෙකලා වාසයේ භීතික අත්දැකීම් විඳි ශිෂ්‍ය ප්‍රජාවද නියෝජනය වූ බවට සාක්‍ෂි තිබේ. විනාශකාරී ක්‍රියාකාරකම්වලට පොලඹවාලන, මානසික ව්‍යාකුල තත්ත්වයන් වර්ධනය වන සමාජ පසුබිමක් මේ රට තුළ ගොඩනැඟී තිබේ. මේ සම්බන්ධව ප්‍රධාන වශයෙන් වගකිව යුතුව ඇත්තේ රටේ පාලක පිරිසය. එසේම ඔවුන්ට රැකවල සපයමින් සියල්ල ‘එහෙයි’ කියමින් අනුමත කරන උපදේශකයෝය. මේ අතරින් අධ්‍යාපන බලධරයන්ගේ ක්‍රියාකාරකම් වඩාත් සුවිශේෂ වෙයි.

    මේ රටේ දේශපාලන නායකයන්ට මෙන්ම රටේ බොහෝ පුරවැසියන්ට වඩාත් අභිමත වී තිබෙන්නේ එදාවේල සැලසුම්ය. උදේ වේල සපුරාගත් පසු දහවල වේල ගැනත් අනතුරුව රෑ වේල ගැනත් සිතනු මිස අඩු තරමින් යම් කාල සීමාවකට තුන් වේල කා ජීවිතය ගෙන යන්නේ කොහොමද කියා සොයා බලන්නට වැඩි දෙනකුට අවශ්‍යතාවක් නැත. ලොව ආර්ථික අර්බුදවලට ඇද නොවැටුණු ජපානය, ෆින්ලන්තය, නවසීලන්තය වැනි රටවල් දියුණු ආර්ථිකයක් හා ප්‍රගතිගාමී සමාජ පසුබිමක් උරුම කොටගෙන තිබෙන්නේ ඒ රටවල පාලකයන් වසර සිය ගණන් අෑතට සිතා බලා සකසාගත් සංවර්ධන සැලසුම් නිසාය. අපේ රට තවමත් ලොවට අතපාමින් සිටින්නේ ටයිකෝට් ඇඳගත් යාචකයකු සේය.

    පරිසරයෙන් උපයා සපයා ගත් විදුලිය, ජලය, වාතය, හිරු එළිය යනාදී වූ හැම දෙයක්ම වර්තමානයේ විවිධ අර්බුද නිර්මාණය කරමින් සිටී. ඕනෑවටත් වඩා සියල්ල ලැබෙන විට ඒ කිසිවක් අගය කරන්නට හෝ අරපිරිමැස්මට අප හුරු පුරුදු වී නැති සේය. අප අවට වනරොද කොතරම් අගනා ස්වාභාවික නිර්මාණයක් දැයි සිතන්නට මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව උනන්දු වී නැත්තේ ඇයි? සාමා, අමර, එන්න මල් පිපිලා දැයි බලන්න. ඒ, වසර ගණනාවකට පෙර ළමා වියේදී හෝඩි පොතෙන් කියා දුන් පාඩමය. එහෙම දැන ඉගෙන ගත් ළමයින් කැලෑවලට ගිනි තබන්නට ගියේ නැත. එහෙත් අද සිදුවී තිබෙන්නේ කුමක්ද?

    රතු ඉන්දීය නායකව සිටි සියැටෙල්ලා පාසලේ පාඩම් පොත්වලට යායුතු කාලයයි මේ. ඔවුන් ගැන ඉගෙන ගත් උදවිය මහ පොළොවට ආදරය කරනු ඇත. වන ළැහැබට පෙම් බඳිනු ඇත. මේ රට අපේය අප මේ රටේය කියා හිතන්නට හුරු පුරුදුවනු ඇත.

  3. ඩයස්පෝරා භීතිකාවෙනුත් බටහිර භීතිකාවෙනුත් තමන්ගේ හෙළුව වසාගැනීමට දඟලන කුලී ලියන්නෙක් පැරා කඩේ පලයන් ඒත් හෙළුවෙන් යන්න එපා අමුඩයක්වත් ඇඳ ගනින් ඊනියා ලිබරල්වාදියෙක් යැයි සිතූ අයෙක්ගේ සැබෑ ස්වරූපය පේන්නෙ දැන් තමයි කණකොකාගෙ සුද පේන්නෙ ඉගිලෙන කොට කිව්වලු “ඩයස්පෝරා හා බටහිර විවිධ බාලවේග” අම්මෝ විමලෙ, නලියා, ගු. අමරසේකර, වසන්ත බණ්ඩා වගේ උන් තව හොඳා 😃

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: