– අජිත් පැරකුම් ජයසිංහ

මාලිමා ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාව කිසිදු කලෙක සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීමේ ශක්‍යතාවක් නොමැති බව අප පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් කරුණු පදනම් කරගෙන ය. මෙම ආණ්ඩුව විසින් අනුගමනය කරනු ලබල අහිතකර ආර්ථික ප්‍රතිපත්තිවල දිගුකාලීන බලපෑම කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි තත්ත්වයකට රට පත් කරනු ඇත. මේ සමග ඇති රූප දෙක ඒ සඳහා සාක්ෂි වේ.

වර්තමාන ප්‍රතිපත්තිවල සරල අර්ථය වන්නේ, පෞද්ගලික සමාගම් භාණ්ඩ ආනයනය කර, බදු ගෙවා, පාඩු ලබමින් ඉන්ධන විකිණිය යුතු බවයි. එහෙත් රාජ්‍ය සමාගම් ආනයනය කර, රජයටම බදු ද අය කරගෙන, පාඩු පිට තෙල් විකුණන අතර, එම පාඩුව රජය විසින් පියවනු ලබයි. රජය මෙම පාඩුව පියවන්නේ ආහාර, ඖෂධ සහ පොත්පත් ආදියට පවා අසාධාරණ ලෙස බදු පැනවීමෙනි. මෙහි ඛේදනීය තත්ත්වය වන්නේ, පොදු ප්‍රවාහනයක් හෝ භාවිත නොකර පයින් ගමන් කරන අතිශය දිළිඳු ජනතාව පවා සුඛෝපභෝගී (V8 වැනි) වාහන සඳහා ලබාදෙන ඩීසල් සහනාධාරයට වක්‍රව උර දීමයි. පෞද්ගලික අංශය ද රජය සේම සහනාධාර ලබාදිය යුතු යැයි ආණ්ඩුව ප්‍රකාශ කළ ද, එය ප්‍රායෝගික නොවන බව සමාගම් පෙන්වා දෙයි.

තෙල් සහ බලශක්ති වෙළෙඳපොළ යනු ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජකයන් සාර්ථකව ආකර්ෂණය කරගැනීමට විශාල විභවයක් පැවති ව්‍යාපාරික අවකාශයකි. පසුගිය රජය ඒ සඳහා යම් මූලික පියවර ගෙන තිබුණ ද, වත්මන් රජයේ ප්‍රතිපත්ති මගින් එම උත්සාහයන් මුළුමනින්ම කඩාකප්පල් කර ඇත.

මෙම පසුබෑම ජාත්‍යන්තර නිල දත්ත මගින් ද මනාව තහවුරු වේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ (US State Department) ‘2026 ආයෝජන වාතාවරණ වාර්තාවට’ අනුව, 2025 වසරේ ශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජන (FDI) ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.06 ක් පමණි. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 1% ක් පමණ වන අතර, දියුණු වෙමින් පවතින රටවල සාමාන්‍යය වන 3% – 4% ක අගයට වඩා මෙය අතිශය පහළ මට්ටමකි. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සහ ආයෝජන මණ්ඩල (BOI) වාර්තා ද පෙන්වා දෙන්නේ ආයෝජන සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය නොමැතිකම මීට ප්‍රධානතම හේතුව වී ඇති බවයි.

මේ වන විට රජය ආයෝජකයන්ට ලබා දෙන වැදගත්ම පණිවිඩය වන්නේ, ආයෝජනයට අවස්ථාව ලබා දුන්න ද සාධාරණ ව්‍යාපාරික පසුබිමක් (Level playing field) නිර්මාණය කර නොදෙන බවයි. පෞද්ගලික ව්‍යාපාරිකයන්ට රාජ්‍ය අංශය සමග තරග කිරීමටත්, අධික බදු ගෙවීමටත් බල කෙරෙන අතර, ඔවුන් සමග තරග කළ හැකි අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමට රජය අඛණ්ඩව මැදිහත් වේ. ඕනෑම විචාරශීලී ආයෝජකයෙකු මෙවැනි අතාර්කික ආර්ථික පරිසරයක් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ඇත.

මෙවැනි පසුබිමක් තුළ විදේශ ආයෝජකයන් මෙරටට කැඳවීම ප්‍රායෝගික නොවේ. ගෝලීය ආයෝජන දැනටමත් අප්‍රිකාව වැනි නැගී එන කලාප දෙසට හැරෙමින් පවතී. මෙවැනි ආකල්ප සහිත ආණ්ඩුවක් යටතේ ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කරගැනීම හුදු සිහිනයක් පමණි. මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදා ආපසු හැරවිය නොහැකි, අතිශය තීරණාත්මක පස් අවුරුද්දකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *