Ganeshan Wignaraja

Economy Next, translated by Creative Content Consultants

2026 මැයි 20 වැනි බදාදා

වත්මන් වැඩසටහන 2027 වසරේ මැද භාගයේදී අවසන් වන බැවින් සහ 2028 වසරේ සිට සැලකිය යුතු ණය ආපසු ගෙවීම් කිරීමට නියමිත බැවින් ශ්‍රී ලංකාව 18 වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනක් පිළිබඳව සලකා බැලිය යුතු යැයි ආර්ථික විද්‍යාඥවරයෙකු වන ගනේෂන් විග්නරාජා මහතා පවසයි.

ඩිට්වා (Ditwah) සුළි කුණාටුවෙහි සහ බටහිර ආසියාවේ යුද්ධයෙහි සංකීර්ණ බලපෑම් හේතුවෙන් වරක් හදිසි අවස්ථාවක් ලෙස සැලකූ දෙය මේ වන විට වඩ වඩාත් නොවැළැක්විය හැකි තත්ත්වයකට පත්ව ඇති බවත්, ඒ සඳහා සැලසුම් කිරීම වගකීම් සහගත ක්‍රියාමාර්ගය බවත් විග්නරාජා මහතා පෙන්වා දුන්නේය. කොළඹ පිහිටි උපායමාර්ගික අධ්‍යයන සඳහා වූ කලාපීය මධ්‍යස්ථානයේදී (RCSS) පැවති “මැද පෙරදිග යුද්ධයේ සෙවණැල්ලේ පවතින ගෝලීය ආර්ථිකය: ශ්‍රී ලංකාවේ ණය යථා තත්ත්වයට පත් කිරීම සඳහා එහි බලපෑම්” යන තේමාව යටතේ පැවති 4 වැනි RCSS උපායමාර්ගික සංවාදයට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම සංවාදය සඳහා දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයෝ, රාජ්‍ය තාන්ත්‍රිකයෝ, ආරක්ෂක, ශාස්ත්‍රීය, බුද්ධි මණ්ඩල, සිවිල් සමාජ සහ මාධ්‍ය නියෝජිතයෝ එක්ව සිටියහ.

ආචාර්ය විග්නරාජා මහතා ලන්ඩන්හි ඕඩීඅයි ග්ලෝබල් (ODI Global – පෙර විදේශ සංවර්ධන ආයතනය) හි බාහිර ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සාමාජිකයෙකු (Fellow) ලෙස මෙන්ම මුම්බායිහි ගේට්වේ හවුස් (Gateway House) හි මහාචාර්ය සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

RCSS හි නිවේදනය පහත දක්වන ලද පරිදි වේ:

2026 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක ආර්ථික දැක්ම පිළිබඳව අදහස් දක්වමින් විග්නරාජා මහතා සිය ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. 2026 වසරේදී ගෝලීය වර්ධනය 3.1% දක්වා මන්දගාමී වනු ඇතැයි එමගින් පුරෝකථනය කර ඇති අතර, එහිදී අවදානම් තත්ත්වයන් ප්‍රමුඛ වනු ඇතැයි ද එහි දැක්වේ. ඒ අනුව දීර්ඝ කාලීන ගැටුම්, භූ දේශපාලනික ඛණ්ඩනය සහ අලුතින් ඇති වන වෙළඳ ආතතීන් නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් කෙරෙහි දැඩි ලෙස බලපානු ඇත.

ශ්‍රී ලංකාවේ අවදානම් සහගත තත්ත්වයන් අවබෝධ කර ගත යුත්තේ මෙවැනි බාහිර පරිසරයක් තුළ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

2022 වසරෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගත් ආදර්ශවත් රටක් ලෙස සැලකීමෙන් සහ 2025 වසරේ අග භාගයේදී ගොඩනැගුණු පශ්චාත් අයවැය ශුභවාදී තත්ත්වයෙන් අනතුරුව, ඩිට්වා (Ditwah) සුළි කුණාටුවේ සංකීර්ණ කම්පනයන් මෙන්ම මෑත කාලීන මැද පෙරදිග යුද්ධයේ ප්‍රතිවිපාක ශ්‍රී ලංකාවට එකවරම බලපා ඇත. ඉහළ යන තෙල්, ගෑස් සහ පොහොර මිල ගණන්, අඩාල වූ විදේශ ප්‍රේෂණ, ගුවන් සේවා සහ සංචාරක කර්මාන්තයේ බිඳවැටීම් හරහා මෙම බලපෑම එල්ල වී තිබේ.

ඒ හේතුවෙන් සමස්තයක් ලෙස අපනයන ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම දළ වශයෙන් 20%ක් මැද පෙරදිගට අපනයනය කරන තේ කර්මාන්තයේ පසුබෑමක් ද සිදු වී ඇත. එසේ වුවද, යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට යම් දිගුකාලීන අවස්ථා ද උදා කර දෙන බව විග්නරාජා මහතා පෙන්වා දුන්නේය.

ගල්ෆ් කලාපීය රාජ්‍යයන්හි ආරක්ෂිත තත්ත්වය අහිමි වෙමින් පවතින බැවින්, ශ්‍රී ලංකාව නිසි නියාමන, පාලන සහ යටිතල පහසුකම් පරිසරයක් ගොඩනගන්නේ නම්, සමුද්‍රීය වෙළඳාම, ගුවන් සේවා, මූල්‍ය සහ වෘත්තීය සේවා සඳහා ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස තහවුරු වීමට අවස්ථාව උදා වේ.

එම අවස්ථාව ග්‍රහණය කර ගන්නේ ද නැද්ද යන්න රඳා පවතින්නේ මේ වන විට ගත යුතු තීරණ සහ ප්‍රතිසංස්කරණ මත බව ද විග්නරාජා මහතා ප්‍රකාශ කළේය.

ආචාර්ය විග්නරාජා මහතා විසින් නුදුරු කාලීන අවස්ථා දෙකක් ගෙනහැර දක්වන ලදි. හොඳම අවස්ථාවේදී, හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතින අතර, තෙල් බැරලයක මිල ඩොලර් 78-90 අතර පරාසයක පවතී. උද්ධමනය අඩු මට්ටමක පවතින අතර, ආර්ථික වර්ධනය 2.7% සහ 4% අතර පවත්වා ගෙන යනු ඇත. එය දුෂ්කර වුවත් කළමනාකරණය කර ගත හැකි මූල්‍ය තත්ත්වයකි.

වඩාත් සිදුවිය හැකි මධ්‍යස්ථ අවස්ථාවේදී, අඛණ්ඩ බිඳවැටීම් හේතුවෙන් තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා යන අතර උද්ධමනය 5.6% – 6.3% ක පරාසයකට ඉහළ යනු ඇත. වර්ධනය 2.4% සහ 3.5% අතර දක්වා මන්දගාමී වන අතර දරිද්‍රතාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත. එසේම රාජ්‍ය මූල්‍ය තත්ත්වයන් දැඩි පීඩනයකට ලක් වනු ඇත. ශ්‍රී ලංකාව මෙම මධ්‍යස්ථ අවස්ථාව දෙසට ගමන් කරන බවක් පෙනෙන්නට තිබෙන බව ද විග්නරාජා මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, දිගු කාලීන මැද පෙරදිග යුද්ධයක් හේතුවෙන් මීට වඩා බෙහෙවින් නරක අතට හැරිය හැකි තුන්වන අවස්ථාවක අවදානම තවදුරටත් පවතින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව පැවති සංවාදයේදී ඇතැම් සහභාගිකරුවෝ අදහස් දැක්වූහ. ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ තිරසර වර්ධනයක් ඇති කිරීම සඳහා වූ විසඳුම් අලුත් ඒවා නොවන බව ඔවුහු පෙන්වා දුන්හ. එහෙත්, රජයන් පුරා පවතින අඛණ්ඩ අභියෝගය වී ඇත්තේ ඒවා ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සඳහා ලබා දෙන විවිධ දේශපාලන ආර්ථික හේතු බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

තවදුරටත් අදහස් දැක්වූ ඇතැම්හු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආකෘතිය සහ වර්ධනය වන තත්ත්වයන් කෙරෙහි එහි ප්‍රතිචාරාත්මකභාවය ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැටලු වඩාත් සංකීර්ණ කරන්නේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කළහ. එසේම, මෙම ගැටලුවලින් ඇතැම් ඒවා විසඳීමට වෙනත් විකල්ප මාර්ග තිබිය හැකි ද යන්න පිළිබඳව ද ඔවුහු විමසා සිටියහ.

එසේම, ඩිට්වා සුළි කුණාටුව ඇති නොවුණේ නම් සහ මැද පෙරදිග යුද්ධය සිදු නොවුණේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව මැදිහත් වූ වසර කිහිපය තුළ ප්‍රමාණවත් ප්‍රතිසංස්කරණ සිදු කර තිබුණේ ද යන ප්‍රශ්නය ද එහිදී මතු විය.

ණය පැහැර හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සුවිශේෂී තත්ත්වයට අමතරව, අනෙකුත් දකුණු ආසියානු රටවල් ද මැද පෙරදිග කලාපය මත යැපීමේ සමාන “යැපීම් උගුලකට” හසු වී ඇති බවට යෝජනාවක් ද එහිදී ඉදිරිපත් විය. ගැටුම් ඇතිවීමේ හැකියාව සහ ප්‍රධාන සැපයුම් මාර්ග අවහිර වීම කල්තියා අපේක්ෂා කළ හැකිව තිබුණු බැවින්, මෙවැනි අභියෝගයන්ට මුහුණ දීම සඳහා වැඩි ආර්ථික ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනැගීමේ අවශ්‍යතාව බරපතළ ලෙස නැවත විමසා බැලිය යුතු බව ද පෙන්වා දෙන ලදි.

ඊට ප්‍රතිචාර දක්වමින් ආචාර්ය විග්නරාජා මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැටලුව නොවන බවයි. 2022 වසරේදී විදේශ සංචිත ඵලදායී ලෙස ක්ෂය වී තිබූ බැවින් සහ වෙනත් විකල්පයක් නොතිබූ බැවින්, පැවති එකම ජීවන මාර්ගය එය බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු උග්‍ර ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින රටවල් සඳහා ඇති අවසාන ගෝලීය ණය දෙන්නා වේ. එහෙත්, එය ප්‍රතිපත්තිමය කොන්දේසි සහිතව ක්‍රියාත්මක වේ. එය නොමැති වූයේ නම්, කිසිදු අපේක්ෂාවකින් තොරව ශ්‍රී ලාංකීය ජනතාව දැඩි ආර්ථික අනාරක්ෂිතභාවයකට සහ අර්බුදයකට මුහුණ දෙනු ඇත.

වඩාත් ගැඹුරු අසාර්ථකත්වය දේශීය එකක් බව ඒ මහතා තර්ක කළේය. අඛණ්ඩව පවතින ක්‍රියාත්මක නොකිරීමේ සංස්කෘතිය, රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වල ශක්‍යතාව සහ උපායමාර්ගික තීරණ ගැනීමේ හැකියාවක් නොමැති වීම හේතුවෙන් දැනටමත් හඳුනාගෙන ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක නොවන බව ද විග්නරාජා මහතා පෙන්වා දුන්නේය.

දේශගුණික මූල්‍ය වැනි විකල්ප මූල්‍ය සාධන හරහා උපරිම වශයෙන් ඩොලර් මිලියන 500ක් පමණක් රැස් කර ගත හැකි වුවත්, ඒවා ශ්‍රී ලංකාවේ ණය වගකීම් පියවීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ද ආචාර්ය විග්නරාජා මහතා සඳහන් කළේය. එසේම, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ වෙත ප්‍රවේශයක් නොමැතිව, වෙනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකින් තොරව සැබෑ සංවර්ධන මූල්‍යකරණයක් නොපවතින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෑත කාලීන මහා භාණ්ඩාගාරයේ සයිබර් ප්‍රහාරය සහ බැංකු වංචා සිද්ධියක් ඇතුළු පාලන දුර්වලතා හේතුවෙන් ආයෝජකයන්ගේ සහ ණය හිමියන්ගේ විශ්වාසය සක්‍රිය ලෙස පළුදු වෙමින් පවතින බව ද විග්නරාජා මහතා පෙන්වා දුන්නේය. වත්මන් තත්ත්වයන් යටතේ බාහිර පාර්ශ්වකරුවන් ශ්‍රී ලංකාවට ප්‍රාග්ධනය ලබා දීමෙන් වැළකී සිටීමේ හැකියාවක් පවතින බවට ද ඒ මහතා සිය කනස්සල්ල පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *