Mahara prison

මහර බන්ධනාගාරයේදී 2020දී මරාදමන ලද කොවිඩ් රෝගීන් 9 ඇතුළු 11ට යුක්තිය

අජිත් පැරකුම් ජයසිංහ

2020 නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී සිදුවීමකින් රැඳවියෝ 11දෙනෙකු මියගියා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 100කට වැඩි පිරිසකට තුවාල සිදුවුණා. මෙහි තිබෙන අමානුෂිකම පැතිකඩ වන්නේ මියගිය 11දෙනාගෙන් නවදෙනෙකුම කොවිඩ්-19 රෝගීන් බව සනාථ වීමයි. ඒ කියන්නේ, මරා දමා තිබෙන්නේ රෝගීන් පිරිසක්. ඔවුන් මරාදැමීමට හේතු වුණේ, රෝගී අයිතිවාසිකම් උදෙසා පැනනැගුණු අරගලයක ප්‍රතිඵලයක් ලෙස බව තමයි අපගේ නිරීක්ෂණය වුණේ.

මහර බන්ධනාගාරය ගැන එවකට එහි අධිකාරි ජගත් වීරසිංහ කියූ පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. දැන් 3,000ක් පමණ රඳවා තිබෙනවා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි.

මේ අනුව බලන කල, මහර බන්ධනාගාරයේ එක් සිරකරුවෙකුට තිබෙන ඉඩ තුළ සිරකරුවන් සිව්දෙනෙකුට වඩා රඳවා තබා තිබෙනවා. මෙය තමයි ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සාමාන්‍ය තත්වය. දොළොස් දහසක් සිරකරුවන්ට පහසුකම් තිබෙන බන්ධනාගාරවල මේ වන විට තිස්දහසකට වඩා සිරකරුවන් රඳවා තිබෙනවා.

මෙවැනි පරිසරයක් තුළට කොවිඩ්-19 පැතිර ගිය විට එහි සමාජ දුරස්ථභාවය පවත්වාගන්නට බැරි බවත්, රෝගය අධිවේගයෙන් පැතිරෙන බවත්, එයින් බන්ධනාගාර පමණක් නොව, සමස්ත සමාජයම අවදානමට ලක්වන බවත් ඕනෑම කෙනෙකුට වටහාගත හැකියි. එහෙත්, ආණ්ඩුවට මේ කාරණා වැටහෙනවා ද යන්න පැහැදිලි නැහැ. සිරකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තිබෙන්නේ රජයටයි. මහර බන්ධනාගාරයේ උණුසුම් සිදුවීම් නිර්මාණය වුණේ රජයේ අඩුපාඩු නිසායි. සිරකරුවන් ඝාතනය වන තත්වයක් නිර්මාණය කිරීමෙන් මෙම ප්‍රශ්නය අවසන් වන්නේ නැහැ.

සිරකරුවන් කිසිවෙකුත් වෙඩිතැබීම්වලින් මියගොස් නැති බව සිද්ධියෙන් පසු අලුතෙන් පත් වූ බන්ධනාගාර භාර ඇමති ලොහාන් රත්වත්ත පාර්ලිමේන්තුවේ පැවසුවා. ඒත්, දැන් ඇත්ත හෙළිදරව් වෙලා. මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා, එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට ඊයේ (26) නියම කළා.

මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඬපැවැත්වීම සඳහා හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයි ද මහේස්ත්‍රාත්වරයා පැවසුව.

මෙම සිද්ධියේ දී මිය ගියේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි අමිත් සුභසිංහ, රවිඳු සුලක්‍ෂණ රුද්‍රිගු, සුජිත් කුමාර, ප්‍රගීත් අතුල කුමාර, කාරියවසම් හෙවත් රංග, සම්පත් පුෂ්පකුමාර, භවන්ත මහින්ද, මාලන් ෆෙක්, අවිශ්ක මධුෂාන්, ලහිරු නිමන්ත සහ සුජිත් කුමාර යන අයයි.

මුල් ඡායාරූපයේ දැක්වෙන්නේ ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිට වැළපෙන ආකාරයයි.