අජිත් පැරකුම් ජයසිංහ
මෑත කාලයේ ශ්‍රී ලංකාව තුළ විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල (විශේෂයෙන්ම ටික්ටොක් ඇතුළු වේදිකාවල ජනප්‍රිය වූ Afro Soul සංගීත මුසුව හරහා) අතිශය ජනප්‍රිය වූ ප්‍රංශ ගීතයක් ලෙස ස්ට්‍රෝමේ (Stromae) විසින් ගායනා කරන ‘Papaoutai’ හැඳින්විය හැකිය. බැලූ බැල්මට මෙය නර්තනයට සුදුසු, වේගවත් රිද්මයක් සහිත විනෝදාත්මක ගීතයක් සේ පෙනුණද, එහි පද මාලාව තුළ ගැබ්ව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ අතිශය ඛේදනීය සහ ගැඹුරු සමාජීය කතිකාවකි.
මෙම ගීතය බෙල්ජියම් ජාතික ගායකයෙකු වන ස්ට්‍රෝමේගේ (ඔහුගේ සැබෑ නම Paul Van Haver) ජීවිතයේ අතිශය පෞද්ගලික සහ වේදනාත්මක සැබෑ අත්දැකීමක් මත පදනම් වූවකි. ඔහුගේ පියා රුවන්ඩා ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ අතර, ස්ට්‍රෝමේගේ ළමා කාලය තුළ පියා ඔවුන් සමඟ සිටියේ කලාතුරකිනි. 1994 වසරේදී රුවන්ඩාවේ ටුට්සි (Tutsi) ජාතිකයින්ට එරෙහිව සිදුවූ අමානුෂික ජන සංහාරයේදී ඔහුගේ පියා කෲර ලෙස ඝාතනයට ලක් විය.
1994 වසරේ රුවන්ඩාවේ දින 100ක් වැනි කෙටි කාලයක් තුළ හුටු (Hutu) අන්තවාදීන් විසින් ටුට්සි (Tutsi) ජාතිකයන් ඇතුළු ලක්ෂ අටකට අධික පිරිසක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ ඛේදවාචකය රුවන්ඩා ජන සංහාරය ලෙස හැඳින්වේ. මෙම අඳුරු ඉතිහාසය පසුබිම් කරගනිමින් 2004 වසරේදී නිර්මාණය වූ “හොටෙල් රුවන්ඩා” (Hotel Rwanda) චිත්‍රපටය මඟින් එම ම්ලේච්ඡ සමයේදී තම ජීවිතය පවා අනතුරේ හෙළමින් අසරණ වූ සරණාගතයින් 1,200කට අධික පිරිසකට කිගාලි නුවර හෝටලයක් තුළ රැකවරණය ලබා දුන් පෝල් රුසෙසබාගිනා (Paul Rusesabagina) නම් හෝටල් කළමනාකරුවාගේ කතාව ලොවට අනාවරණය කරයි.
පියෙකු නොමැතිව හැදී වැඩීමේ වේදනාවත්, කිසිදා ආපසු නොඑන පියෙකු එනතුරු මඟ බලා සිටින කුඩා දරුවෙකුගේ ඛේදවාචකයත් මෙම ගීතයේ හරය බවට පත්ව ඇත. ගීතයේ නම වන ‘Papaoutai’ යන්නෙහි සැබෑ ප්‍රංශ අරුත (Papa, où t’es ?) “තාත්තේ, ඔබ කොහෙද?” යන්නයි. එය සත්‍යය වටහාගත නොහැකි, පියා රැකියාවට ගොස් ඇතැයි යන මවගේ අහිංසක මුසාවන් මත යැපෙන කුඩා දරුවෙකුගේ වේදනාත්මක ප්‍රශ්න කිරීමකි.
ගීතයේ එන වඩාත්ම ප්‍රබල, එමෙන්ම දාර්ශනික සමාජ විවේචනය ගැබ්ව ඇත්තේ පහත පද පෙළ තුළය:
“Tout le monde sait comment on fait des bébés Mais personne sait comment on fait des papas”
(දරුවන් සාදන්නේ කෙසේදැයි සැවොම දනිති / නමුත් පියවරුන් නිර්මාණය කරන්නේ කෙසේදැයි කිසිවෙකු නොදනී)
මෙමඟින් ස්ට්‍රෝමේ මතු කරන්නේ හුදු ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් (Procreation) සහ සමාජීය/මානසික වගකීමක් (Fatherhood) අතර ඇති දැවැන්ත පරතරයයි. දරුවෙකු මෙලොවට බිහි කිරීම ජීව විද්‍යාත්මකව පහසු කාර්යයක් වුවද, දරුවෙකුගේ ජීවිතය හැඩගස්වන, ආදරය, රැකවරණය සහ මාර්ගෝපදේශනය ලබා දෙන සැබෑ ‘පියෙකු’ බවට පත්වීම ඊට වඩා බෙහෙවින් සංකීර්ණ ක්‍රියාවලියකි. සමාජයක් ලෙස අප ප්‍රජනනයට සහ දරුවන් බිහි කිරීමට අවධානය යොමු කළද, වගකීම් සහගත, සාර්ථක පියෙකු ගොඩනැගෙන්නේ කෙසේද යන්න පිළිබඳව සමාජය තුළ කිසිදු විධිමත් කියවීමක් හෝ මඟපෙන්වීමක් නොමැති බව ඔහු මෙයින් ප්‍රකාශ කරයි.
ගීතය ඉදිරියට යත්ම, එය කුඩා දරුවෙකුගේ දෘෂ්ටිකෝණයෙන් ඔබ්බට ගොස්, වැඩිහිටියෙකු ලෙස ස්ට්‍රෝමේ තුළ ඇති මානසික අරගලය නිරූපණය කරයි. තමාට පරමාදර්ශී පියෙකුගේ සෙවණක් හෝ ආදර්ශයක් නොලැබුණු පසුබිමක, අනාගතයේදී තමා කෙසේ නම් හොඳ පියෙකු වන්නද යන බිය ඔහු තුළ පවතී.
“අපි පිළිකුල් සහගත පියවරුන් වේවිද? නැතහොත් ප්‍රශංසනීය පියවරුන් වේවිද?” යනුවෙන් ඔහු අසන ප්‍රශ්නය, ඛේදවාචකයන්ට හෝ පවුල් බිඳවැටීම්වලට මුහුණ දුන් වර්තමාන සමාජයේ බොහෝ තරුණ පරම්පරාවන් මුහුණ දෙන පොදු අභ්‍යන්තර ගැටුමක් මනාව පිළිබිඹු කරයි.
‘Papaoutai’ යනු හුදෙක් ශ්‍රවණය කර අමතක කර දැමිය හැකි තවත් එක් විනෝදාත්මක ගීතයක් පමණක් නොවේ. එහි සංගීතය අපව නර්තනයට පොළඹවන අතරම, එහි පද මාලාව අපගේ හෘද සාක්ෂියට තදින් පහර දෙයි. පීතෘත්වයේ වගකීම, යුද්ධයේ සහ සමාජ ප්‍රචණ්ඩත්වයේ අදෘශ්‍යමාන ප්‍රතිවිපාක මෙන්ම, පවුල නම් ආයතනය බිඳ වැටීමෙන් ළමා මනසට සිදුවන බලපෑම පිළිබඳව ගැඹුරු සමාජ විද්‍යාත්මක කියවීමක් මෙම ගීතය හරහා ගෝලීය සමාජයටම ලබා දී ඇත.
ශ්‍රී ලාංකීය සමාජය ද අතීතයේ විවිධ සමාජ ඛේදවාචක සහ යුදමය තත්ත්වයන් හේතුවෙන් පවුල් සංස්ථා බිඳ වැටීම් අත්විඳ ඇති පසුබිමක, පීතෘත්වයේ සැබෑ අරුත සහ වගකීම පිළිබඳව යළි සිතා බැලීමට මෙම ගීතය කදිම නිමිත්තකි.
එහි මුල් ගීතය:












