අජිත් පැරකුම් ජයසිංහ

අද අප ජීවත් වන්නේ සත්‍යයත්, අර්ධ සත්‍යයත්, පට්ටපල් බොරුවත් එකම තිරයක් මත එකිනෙකා පරයා කෑගසන ඩිජිටල් යුගයකය. සමාජ මාධ්‍ය ඇල්ගොරිතම විසින් අප කැමති මතයම නැවත නැවත අප ඉදිරියට ගෙනැවිත් අතහරින විට, දේශපාලන වේදිකාවල සහ ආගමික දේශනාවල “සත්‍යය ඇත්තේ අප ළඟ පමණයි, අනෙක් සියල්ල බොරු” යැයි මොරදෙන විට සාමාන්‍ය මිනිසෙකු තුළ හටගන්නා ව්‍යාකූලත්වය අලුත් දෙයක් නොවේ.

මීට වසර දෙදහස් පන්සියයකට පමණ පෙර, ඉන්දියාවේ කොසොල් ජනපදයේ ප්‍රධාන වෙළඳ මාර්ගයක පිහිටි කේසපුත්ත නම් නියම්ගමේ විසූ කාලාම වැසියන් මුහුණ දුන්නේද හරියටම මේ අර්බුදයටමය. ඒ නගරය එදා පෙරදිග “මතවාදී වෙළඳපොළක්” විය. එහි පැමිණි විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණවරු තම තමන්ගේ දර්ශනය පමණක් පරම සත්‍යය ලෙස උලුප්පා දක්වමින් අන් මත පතුරු ගැසූහ. කාලාම වැසියන් බුදුරජාණන් වහන්සේ හමුවී ඇසුවේ අදටත් වලංගු ඒ සදාතනික ප්‍රශ්නයයි: “ස්වාමීනි, මේ හැමෝම තමන් හරි කියනවා, අනුන් වැරදියි කියනවා. මේ අයගෙන් ඇත්ත කියන්නේ කවුද? බොරු කියන්නේ කවුද?”

මිනිස් චින්තන ඉතිහාසයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් වන අංගුත්තර නිකායේ කාලාම සූත්‍රය (කේසමුත්ති සූත්‍රය) බිහි වන්නේ එතැනිනි. ඒ තුළින් ගොඩනැඟෙන විචාර බුද්ධිය සහ ‘නොවරදින පිළිවෙත’, ශතවර්ෂ ගණනාවකට පසු බටහිර දර්ශනයේ බිහි වූ බ්ලේස් පැස්කල්, විලියම් ජේම්ස් සහ බර්ට්‍රන්ඩ් රසල් වැනි දැවැන්ත චින්තකයන්ගේ තර්කනයන් සමඟ සංසන්දනය කර බැලීම අතිශය රසවත් මෙන්ම කාලෝචිත දාර්ශනික අභ්‍යාසයකි.

Creative Content Consultants
For all content creations, translations, editing, proofreading and typesetting in Sinhala, English and Tamil, call 077 1229191/ 077 1734470 / [email protected] / www.praja.lk/content-lanka/

කාලාම සූත්‍රය: අන්ධ විශ්වාසයට එරෙහි පළමු ප්‍රඥප්තිය
කාලාම වැසියන්ගේ සැකය හෙළා නොදැක, “සැක කිරීමට සුදුසු තැනදී ඔබට සැකයක් ඇතිවීම සාධාරණයි” යනුවෙන් පිළිගත් බුදුරජාණන් වහන්සේ, කිසිදු මතවාදයක් අන්ධ ලෙස පිළිගැනීමට පදනම් කර නොගත යුතු කරුණු දහයක් පෙන්වා දුන් සේක:

මා අනුස්සවේන – නැවත නැවත ඇසූ පමණින් (ප්‍රචාරණය නිසා).

මා පරම්පරාය – පරම්පරාවෙන් පැවත ආ පමණින් (සම්ප්‍රදාය නිසා).

මා ඉතිකිරාය – මෙසේ වීලු යන කටකතා නිසා (වත්මන් භාෂාවෙන් කිවහොත් වයිරල් වූ පමණින්).

මා පිටකසම්පදානේන – පූජනීය ග්‍රන්ථයක හෝ පොතපතේ ලියැවී තිබූ පමණින්.

මා තක්කහේතු – හුදු වාග් තර්කයකට ගැළපුණු පමණින්.

මා නයහේතු – යම් න්‍යායකට අනුකූල වූ පමණින්.

මා ආකාරපරිවිතක්කේන – මතුපිට පෙනුම හෝ ආකර්ෂණීය බව සලකා.

මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා – තමා දැනටමත් දරන මතයට ගැළපුණු පමණින් (නූතන මනෝවිද්‍යාවේ මෙය Confirmation Bias හෙවත් තහවුරු කිරීමේ පක්ෂග්‍රාහීත්වය ලෙස හැඳින්වේ).

මා භබ්බරූපතාය – එය ප්‍රකාශ කරන පුද්ගලයාගේ උසස් බව, තනතුර හෝ ජනප්‍රියත්වය නිසා.

මා සමණෝ නෝ ගරූති – මේ ශ්‍රමණයා අපගේ ගුරුවරයා යැයි සිතා.

බොහෝ විට නූතන සමාජ මාධ්‍යවලත්, ඇතැම් බටහිර කියවීම්වලත් කාලාම සූත්‍රය වරදවා වටහා ගැනෙන තැනක් තිබේ. එනම්, මෙය “තමන්ට හිතෙන ඕනෑම දෙයක් පිළිගැනීමේ අසීමිත නිදහසක්” ලෙස අර්ථකථනය කිරීමයි. එහෙත් ප්‍රකට බෞද්ධ විද්වතෙකු වන පූජ්‍ය භික්ඛු බෝධි හිමියන් (A Look at the Kalama Sutta) සහ මහාචාර්ය කේ. එන්. ජයතිලක (Early Buddhist Theory of Knowledge) පෙන්වා දෙන පරිදි, කාලාම සූත්‍රය හුදු පුද්ගලවාදී සාපේක්ෂතාවාදයක් (Relativism) නොවේ.

බුදුරදුන් මෙහිදී ලබා දුන්නේ අතිශය ප්‍රායෝගික සදාචාරාත්මක හා අත්දැකීම්ගත පරීක්ෂණාගාරයකි. යම් ධර්මයක් හෝ ක්‍රියාවක් තමන් තුළ ලෝභ, ද්වේෂ, මෝහ වර්ධනය කරන්නේද? එය නුවණැත්තන්ගේ (විඤ්ඤූ) ගැරහීමට ලක් වන්නේද? එය තමාටත් අනුන්ටත් අහිත පිණිස පවතින්නේද? එසේ නම් එය අත්හළ යුතුය. අනෙක් අතට එය අලෝභ, අදෝස, අමෝහ වඩන්නේ නම්, නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වන්නේ නම්, හිත සුව පිණිස පවතින්නේ නම් එය පිළිගෙන අනුගමනය කළ යුතුය.

අස්සාස හතර සහ සීතාවක කවියාගේ ගැඹුරු දැක්ම
කාලාම සූත්‍රය අවසන් වන්නේ මිනිස් සිතට පුදුමාකාර ස්ථාවරභාවයක් ලබා දෙන අස්සාස හතර හෙවත් සැනසිලි කරුණු හතරෙනි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ වඩමින් වෛරයෙන් හා පළිගැනීමෙන් තොර පිරිසිදු මනසකින් ජීවත් වන පුද්ගලයාට පාරභෞතික අවිනිශ්චිතතාවන් හමුවේ පවා ලැබෙන ජයග්‍රහණ හතර මෙසේය:

පළමු සැනසීම: පරලොවක් සහ කර්ම විපාක ඇත්නම්, යහපත්ව ජීවත් වූ මම මරණින් මතු සුගතියක උපදින්නෙමි.

දෙවන සැනසීම: පරලොවක් හෝ කර්ම විපාක නැත්නම්, මම මෙලොවදීම වෛරයෙන්, ද්වේෂයෙන් හා මානසික පීඩාවෙන් තොරව සුවසේ ජීවත් වෙමි.

තෙවන සැනසීම: පව් කරන්නාට විපාක ඇත්නම්, කිසිවෙකුට අනර්ථයක් නොසිතන, පව් නොකරන මට කිසිදු දුකක් නොපැමිණෙනු ඇත.

සිව්වන සැනසීම: පව් පල නොදෙන්නේ නම්, මම දෙයාකාරයකින්ම (මෙලොවත් පරලොවත්) පිරිසිදු වූවෙකු ලෙස මා දකිමි.

සීතාවක යුගයේ විසූ අපේ ප්‍රකට කවියෙකු වන අලගියවන්න මුකවෙටිතුමා සිය සුභාෂිතයේදී මෙම ගැඹුරු දාර්ශනික තර්කය සාමාන්‍ය ජනයාගේ හදවතට දැනෙන සරල පද්‍යයකට නැඟුවේ මෙලෙසිනි:

“ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත

හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත

නැතත් එපරලොව ඉන් වන අවැඩ නැත

ඇතොත් නැතැයි පව්කළහුට වෙයි විපත”

පරලොව පිළිබඳ විවාදය කුමක් වුවත්, සදාචාරසම්පන්න ජීවිතයක් තෝරා ගැනීම කිසිදු පාඩුවක් නැති, සෑම අතින්ම ආරක්ෂිත ඥානවන්ත තීරණයකි යන අදහස එයින් මැනවින් ප්‍රකට වේ.

බ්ලේස් පැස්කල්ගේ ඔට්ටුව: දෙවියන් වෙනුවෙන් කාසියක් උඩ දැමීම
කාලාම සූත්‍රය දේශනා කොට වසර දෙදහසකටත් වඩා ගත වූ පසු, 17 වැනි සියවසේ ප්‍රංශයේ විසූ අතිවිශිෂ්ට ගණිතඥයෙකු, භෞතික විද්‍යාඥයෙකු සහ සම්භාවිතා න්‍යායේ (Probability Theory) පුරෝගාමියෙකු වූ බ්ලේස් පැස්කල් (Blaise Pascal) මීට බැලූ බැල්මට සමාන තර්කයක් බටහිර ලෝකයට ඉදිරිපත් කළේය. ඔහුගේ Pensées (සිතුවිලි) නම් කෘතියේ එන මෙය දර්ශන ඉතිහාසයේ ප්‍රකට වූයේ පැස්කල්ගේ ඔට්ටුව (Pascal’s Wager) නමිනි.

නූතන තීරණ න්‍යායේ (Decision Theory) පළමු භාවිතයක් ලෙස සැලකෙන මෙහිදී පැස්කල් මෙසේ තර්ක කළේය: “දෙවියන් සිටී හෝ නොසිටී. හේතුවාදී බුද්ධියට මෙය නිශ්චිතව විසඳිය නොහැකිය. එහෙත් අපට තීරණයක් නොගෙන සිටිය නොහැකිය; ඔබට ඔට්ටු ඇල්ලීමට සිදුවේ.” ඔහුට අනුව, දෙවියන් සිටින බවට විශ්වාස කර ඔට්ටු ඇල්ලුවහොත් හා දෙවියන් සැබැවින්ම සිටී නම්, ඔබට අනන්ත වූ සදාකාලික ස්වර්ගීය සැපතක් (+∞+∞) හිමිවේ. දෙවියන් නොසිටියහොත් ඔබට අහිමි වන්නේ මෙලොව සීමිත ලෞකික සැප කිහිපයක් පමණි. නමුත් දෙවියන් නැතැයි ඔට්ටු අල්ලා වැරදුණහොත් අත්වන්නේ අනන්ත වූ නිරයක දුකකි (−∞−∞). එබැවින් ගණිතමය අපේක්ෂිත වටිනාකම අනුව, දෙවියන් විශ්වාස කිරීම වඩාත්ම බුද්ධිමත් ඔට්ටුව බව පැස්කල් පැවසීය.

එහෙත් පැස්කල්ගේ ඔට්ටුවට එරෙහිව බටහිර දාර්ශනිකයන් වෙතින්ම ප්‍රබල විවේචන එල්ල විය:

බහු දේව විවේචනය (Many Gods Objection): පැස්කල් උපකල්පනය කළේ ලෝකයේ ඇත්තේ එක් දෙවියෙකු (කිතුනු දෙවියන්) පමණක් බවයි. එහෙත් ලෝක ඉතිහාසය පුරා දහස් ගණනක් දෙවිවරුන් සහ එකිනෙකට පරස්පර ආගම් පවතී. යම් හෙයකින් ඔබ වැරදි දෙවියෙකු වෙනුවෙන් ඔට්ටු ඇල්ලුවහොත්, සැබෑ දෙවියන් කෝපයට පත් විය හැකිය!

ව්‍යාජ විශ්වාසයේ ගැටලුව: බිය හෝ ස්වර්ගය නම් ලාභය තකා “රක්ෂණ ඔප්පුවක්” ගන්නාක් මෙන් බලෙන් ඇති කරගන්නා විශ්වාසයක් අවංක විය හැකිද? ඇමරිකානු දාර්ශනික විලියම් ජේම්ස් (William James) සිය The Will to Believe (1896) ලිපියේදී පවා පෙන්වා දුන්නේ, මෙවැනි ආත්මාර්ථකාමී ගණන් බැලීමක් මත දෙවියන් විශ්වාස කිරීමට යන පුද්ගලයෙකුට සර්වඥ දෙවියෙකු ස්වර්ගය ලබා දෙනු ඇතැයි සිතීම අවිචාරවත් බවයි.

පැස්කල්ගේ ඔට්ටුවත්, කාලාම සහ අපණ්ණක සූත්‍රවල එන බෞද්ධ පිළිවෙතත් අතර ඇති තීරණාත්මක වෙනස මතු වන්නේ හරියටම මෙතැනිනි:

නිර්ණායකය පැස්කල්ගේ ඔට්ටුව (Pascal’s Wager) බෞද්ධ ‘නොවරදින පිළිවෙත’ (කාලාම / අපණ්ණක)
මූලික පදනම දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය (Belief). කෙලෙසුන්ගෙන් තොර සදාචාරාත්මක චර්යාව (Ethics).
පරලොව නොමැති නම් සීමිත ලෞකික පාඩුවක් සිදුවේ (කාලය හා සැපත වැය වීම). මෙලොවදීම වෛරයෙන් තොර මානසික සුවය සහ නුවණැත්තන්ගේ ප්‍රශංසාව හිමිවේ (පාඩුවක් නැත).
බහු දේව විවේචනය වැරදි දෙවියා තෝරාගැනීමේ අවදානමට ලක්වේ. දෙවියෙකු තෝරාගැනීමක් නැති නිසා විවේචනයෙන් මුළුමනින්ම නිදහස්ය.
මනෝවිද්‍යාත්මක අවංකභාවය බිය හෝ ලාභය තකා ව්‍යාජ විශ්වාසයක් ඇති කරගැනීමේ අවදානම. සිතේ ද්වේෂය හා ලෝභය දුරු කිරීම ස්වාභාවික මානවීය ගුණධර්මයකි.
අපණ්ණක සූත්‍රය: කැටයම් නැති දාදු කැටය සහ ෂට් ශාස්තෘවරුන්ගේ අභියෝගය
කාලාම සූත්‍රයේ ඇති මෙම ප්‍රායෝගික තර්කනය තවත් ඉහළ දාර්ශනික තලයකට ඔසවා තබන්නේ මජ්ඣිම නිකායේ 60 වැනි සූත්‍රය වන අපණ්ණක සූත්‍රය මගිනි. මෙහි එන ‘අපණ්ණක’ යන පාලි වචනයට අපූරු නිරුක්තියක් තිබේ. පුරාණ භාරතීය දාදු කෙළියේදී (Gambling), කිසිදු වංචාවක් නැති, කුමන පැත්තට පෙරළුණත් ජයග්‍රහණය සහතික කරන “නොවරදින දාදු කැටයට” හෝ “සහතික දිනුමට” (උභයත්ථ කටග්ගහෝ – දෙපැත්තෙන්ම දිනුම) ‘අපණ්ණක’ යනුවෙන් භාවිත විය. පැස්කල් සූදුවේ භාෂාවෙන් දෙවියන් ගැන කතා කිරීමට සියවස් ගණනාවකට පෙර, බුදුරදුන් සාලා නම් බමුණු ගමේ වැසියන්ට දේශනා කළේ දෙපැත්තෙන්ම දිනන සදාචාරාත්මක දාදු කැටයකි!

බුද්ධ කාලීන භාරතය යනු චින්තන විප්ලවයකින් ඇවිළී ගිය සමාජයකි. එකල ප්‍රසිද්ධව සිටි ෂට් ශාස්තෘවරුන් හෙවත් ශාස්තෘවරුන් සයදෙනා විසින් සමාජගත කොට තිබූ ප්‍රබල, එහෙත් සදාචාරය දෙදරවා හරින මතවාද රැසක් සාලා ගමේ බමුණන් අවුල් ජාලයකට ඇද දමා තිබුණි:

අජිත කේසකම්බලී: මරණින් මතු සියල්ල විනාශ වී පස්, වතුර, ගින්දර, සුළඟට එක්වන බවත්, දන්දීමේ හෝ පින් පව්වල කිසිදු අරුතක් නැති බවත් කියන දැඩි භෞතිකවාදී උච්ඡේදවාදය (නාස්තිකවාදය).

පූරණ කස්සප: ගංගා නම් ගඟේ එක් ඉවුරක මිනී මැරුවත් පවක් නැති බවත්, අනෙක් ඉවුරේ දන් දුන්නත් පිනක් නැති බවත් කියන අකිරියවාදය (සදාචාර විරෝධී ක්‍රියාවාදය).

මක්ඛලී ගෝසාල: සත්වයාගේ දියුණුවට හෝ පිරිහීමට කිසිදු හේතුවක් නැති බවත්, මිනිස් උත්සාහය හා වීර්යය මුළුමනින්ම නිෂ්ඵල අතර සියල්ල නියතියට අනුව ඉබේ සිදුවන බවත් කියන අහේතුකවාදී නියතිවාදය.

පකුධ කච්චායන: පෘථිවි, ආපෝ, තේජෝ, වායෝ, සැප, දුක සහ ජීවය යන මූලික කොටස් හත සදාකාලික බැවින් කඩුවකින් හිස ගසා දැමුවද සිදුවන්නේ කොටස් හත අතරින් කඩුව ගමන් කිරීමක් පමණක් යැයි කියන ශාස්වතවාදී අකතවාදය.

නිගණ්ඨ නාථපුත්ත: පෙර පව් ගෙවා දැමීම සඳහා සිරුරට දැඩි දුක් දෙන අත්තකිලමථානුයෝගී තපස සහ චාතුර්යාම සංවරය.

සංජය බෙල්ලට්ඨිපුත්ත: කිසිදු ප්‍රශ්නයකට “ඔව්” හෝ “නැහැ” යැයි පිළිතුරු නොදී ආඳෙකු මෙන් ලිස්සා යන අමරාවික්ඛේපවාදය හෙවත් අන්ත සංශයවාදය.

අපණ්ණක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙම නාස්තිකවාදය, අකිරියවාදය සහ අහේතුකවාදය යන ප්‍රධාන මිථ්‍යා දෘෂ්ටි තුන තාර්කිකව බිඳ හෙළන්නේ කිසිදු අද්භූත තර්ජනයකින් නොවේ; ප්‍රායෝගික බුද්ධියෙනි (විඤ්ඤූ පුරිසෝ). “පරලොවක් නැත, පින් පව් නැත, උත්සාහයෙන් පලක් නැත” යැයි සිතන පුද්ගලයා තුළ ස්වාභාවිකවම කයින්, වචනයෙන් සහ මනසින් දුසිරිත් වැඩෙයි. එවිට පරලොවක් නැතත් ඔහු මෙලොවදීම නුවණැත්තන්ගේ නින්දාවට සහ දුකට පත් වේ. පරලොවක් තිබුණහොත් ඔහු දෙලොවින්ම පරාජය වේ!

නමුත් පරලොවක් සහ කර්ම විපාක ඇතැයි සලකා, තම උත්සාහයෙන් යහපත් ක්‍රියාවන්හි නිරත වන්නා පරලොවක් තිබුණත් නැතත් මෙලොවදී ගෞරවයෙන් හා සැනසීමෙන් ජීවත් වෙමින් දෙපැත්තෙන්ම ජය ලබයි. එපමණක් නොව, සූත්‍රය ඉන් ඔබ්බට ගොස් භව නිරෝධය හෙවත් නිවන දක්වාම මෙම තර්කය විහිදුවයි: භවය නැවැත්විය හැකියැයි පිළිගෙන කෙලෙස් දුරු කිරීමට උත්සාහ කරන්නාට, භව නිරෝධයක් තිබුණත් නැතත් මෙලොවදීම ආශාවන්ගේ හා තෘෂ්ණාවේ පීඩාවන්ගෙන් නිදහස් වූ පරම ශාන්තිය අත්විඳිය හැකිය.

අඟහරු වටා කැරකෙන තේ පෝච්චිය: බර්ට්‍රන්ඩ් රසල්ගේ සාක්ෂිවාදී අභියෝගය
20 වැනි සියවසේ බටහිර විශ්ලේෂණාත්මක දර්ශනයේ දැවැන්තයෙකු වූ නොබෙල් ත්‍යාගලාභී බර්ට්‍රන්ඩ් රසල් (Bertrand Russell) මෙම විචාරශීලී සංවාදයට තවත් තියුණු මානයක් එක් කළේය. 1952 වසරේදී “Is There a God?” (දෙවියෙකු සිටීද?) නමින් ලියූ ලිපියේදී ඔහු ඉදිරිපත් කළ රසල්ගේ තේ පෝච්චිය (Russell’s Teapot) අදටත් දාර්ශනික හා විද්‍යාත්මක චින්තනයේ ප්‍රබලතම උපමාවකි.

රසල් මෙසේ පැවසීය: “පෘථිවියත් අඟහරු ග්‍රහයාත් අතර කක්ෂයක, අපේ ප්‍රබලතම දුරේක්ෂයකටවත් නොපෙනෙන තරම් කුඩා පෝසිලේන් තේ පෝච්චියක් සූර්යයා වටා භ්‍රමණය වන බව මම ප්‍රකාශ කළහොත්, එය එහි නැති බව කිසිවෙකුටත් ඔප්පු කළ නොහැකිය. එහෙත් එය නැති බව ඔප්පු කළ නොහැකි වූ පමණින්, මගේ කීම සැක කිරීම මෝඩකමක් යැයි මම කිවහොත්, මිනිසුන් මා විකාර කියවන්නෙකු ලෙස සලකනු ඇත.”

පසුකාලීනව තාරකා විද්‍යාඥ කාල් සේගන් (Carl Sagan) සිය “ගරාජයේ සිටින අදෘශ්‍යමාන මකරා” (The Dragon in My Garage) උපමාවෙන් තවදුරටත් ඉදිරියට ගෙන ගිය මූලධර්මය මෙයයි: යමක් පවතින බවට ඔප්පු කිරීමේ වගකීම (Burden of Proof) ඇත්තේ එය ප්‍රකාශ කරන තැනැත්තාට මිස, එය නැතැයි කියන විචාරකයාට නොවේ. අසාමාන්‍ය ප්‍රකාශ සඳහා අසාමාන්‍ය සාක්ෂි අවශ්‍ය වේ.

මරණින් මතු සැබැවින්ම දෙවියන් ඉදිරියට යාමට සිදු වුවහොත් ඔබ කුමක් කියන්නේදැයි වරක් මාධ්‍යවේදියෙකු බර්ට්‍රන්ඩ් රසල්ගෙන් විමසූ විට ඔහු දුන් සුප්‍රකට, උපහාසාත්මක එහෙත් අතිශය අවංක පිළිතුර වූයේ:

“සාක්ෂි මදි දෙවියනේ! සාක්ෂි මදි!” (“Not enough evidence, God! Not enough evidence!”)

රසල්ගේ දර්ශනයෙන් මතු වන සදාචාරාත්මක හරය (විලියම් ක්ලිෆර්ඩ්ගේ The Ethics of Belief දර්ශනයටද සමගාමීව) ඉතා ප්‍රබලය. සාක්ෂි නොමැති අදෘශ්‍යමාන සංකල්ප අන්ධ ලෙස විශ්වාස කිරීම මානව වර්ගයා අන්තවාදයට, යුද්ධවලට සහ චින්තන වහල්භාවයට ඇද දමයි. සර්වඥ දෙවියෙකු සිටී නම් පවා, උන්වහන්සේ අගය කරනු ඇත්තේ පැස්කල් මෙන් වාසිය තකා බොරු ඔට්ටු අල්ලන කපටි මිනිසුන්ට වඩා, තමාට දුන් බුද්ධිය අවංකව පාවිච්චි කර සත්‍යය සොයන විචාරශීලී මිනිසුන් බව රසල් තහවුරු කළේය.

පෙරදිග සහ බටහිර එකම තොටුපළකදී හමුවීම
පෙරදිග බෞද්ධ සූත්‍ර ධර්මත්, බටහිර විශ්ලේෂණාත්මක දර්ශනයත් දෙස සමීපව බලන විට පෙනී යන්නේ, ඒවා එකිනෙකට සතුරු කඳවුරු දෙකක් නොව එකම සත්‍ය ගවේෂණයේ ගැඹුරු හමුවීම් බවයි.

බර්ට්‍රන්ඩ් රසල් “තේ පෝච්චිය” හරහා අපට අනතුරු ඇඟවූ පරිදි, සාක්ෂි හෝ ප්‍රත්‍යක්ෂ අත්දැකීම් නොමැති කිසිවක් සම්ප්‍රදාය, පොතපත හෝ ගුරු ගෞරවය නිසා අන්ධව නොපිළිගන්නැයි බුදුරජාණන් වහන්සේ මීට වසර දෙදහස් පන්සියයකට පෙර කාලාම සූත්‍රයෙන් දේශනා කළ සේක. එහෙත්, හුදු සංශයවාදය හෝ සාක්ෂි ඉල්ලා සිටීමෙන් පමණක් මිනිස් ජීවිතයට සදාචාරාත්මක දිශානතියක් නොලැබෙන තැනදී බුදුදහම තවත් පියවරක් ඉදිරියට තබයි.

පැස්කල්ගේ ඔට්ටුව දෙවියන් කෙරෙහි ඇති අන්ධ විශ්වාසය මත රැඳෙමින් “බහු දේව” සහ “ව්‍යාජ විශ්වාස” උගුල්වල සිරවෙද්දී, කාලාම සහ අපණ්ණක සූත්‍ර ඒ සියලු දුර්වලතා ඉක්මවා යයි. ඒවා අපට කියා දෙන්නේ පාරභෞතික විශ්වාසයන් වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමට නොව, වෛරයෙන්, ලෝභයෙන් සහ මෝහයෙන් තොර ජීවිතයක් වෙනුවෙන් ආයෝජනය කිරීමටය.

ව්‍යාජ පුවත්, ආගමික අන්තවාදය සහ දේශපාලන මුග්ධත්වය විසින් සමාජය බෙදා වෙන් කරන වත්මන් ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත ලෝකයටම මෙම දාර්ශනික සම්මිශ්‍රණය කදිම මාර්ගෝපදේශකයෙකි. රසල් මෙන් තියුණු සාක්ෂිවාදී විචාර බුද්ධියකින් ප්‍රශ්න කිරීමටත්, කාලාම සහ අපණ්ණක සූත්‍ර පෙන්වන පරිදි කිසිදු අන්ධ විශ්වාසයකට වහල් නොවී, මෙලොවදීම සිතට ශාන්තිය ගෙන දෙන සදාචාරසම්පන්න ‘නොවරදින පිළිවෙත’ තෝරා ගැනීමටත් අපට හැකි නම්, මරණින් මතු කුමක් සිදු වුවත් අප දැනටමත් ජීවිතය ජයගෙන අවසන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *