Sri Lankan Batu Haraka

ගෝඨාභය ආණ්ඩුවටත් දෙනුන් ආනයනයෙන් කිරි උතුරයි

කිරිදෙනුන් ආනයනය යනු ලංකාවේ දේශපාලකයන්ට හා නිලධාරීන්ට කිරි උතුරන වැඩකි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ද කොරෝනා ආර්ථික අර්බුදය පැත්තක තිබියදී ඕස්ට්‍රේලියාවෙන් කිරිදෙනුන් 2,500ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇත.

Translations by Creative Content Consultants

කිරිදෙනුන් ආනයනයෙන් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු දේශපාලකයන්ට හා නිලධාරීන්ට 2014 පටන් ම කිරි ඉතිරුවේ ය. කිරි දෙනුන් 20,000ක් ආනයනය ආරම්භ කරන ලද අතර එසේ ආනයනය කරන ලද සතුන් අතරින් ඇතැමෙකු මන්දපෝෂණයෙන් පෙළුණ හ. තවත් සතුන් ලෙඩරෝග හැදී මියගිය හ. ඇතැම් සතුන් ගැබ්ගත්තේ නැත. නීරෝගී සතුන්ගෙන් ද රජය විසින් ප්‍රවර්ධනය කරන ලද කිරි ප්‍රමාණය ලබාගැනීමට බැරි වූ බව ගොවිපළ හිමියෝ පැමිණිලි කළ හ. එම කිරි හරකුන් වෙනුවෙන් ආයෝජනය කළ ගොවීන් අමාරුවේ වැටිණි. මේ සම්බන්ධයෙන් එම වකවානුවේදී මහත් ආන්දෝලනයක් ඇති විය.

යහපාලන ආණ්ඩු සමයේ ද කිරිදෙනුන් ආනයනය ගජරාමෙට සිදු වූයේ එය දේශපාලකයන්ටත්, නිලධාරීන්ටත් කිරි උතුරන මාර්ගයක් නිසා ය.

මෙම කිරි ගවයකුගේ මිළ ඩොලර් 3,000කට වැඩි ය. එනම්, රු. ලක්ෂ හයක් පමණ වේ. 2014 සිට මේ දක්වා කිරි හරකුන් ආනයනය වෙනුවෙන් රු. කෝටි සිය ගණනක් වැය කරන ලදී. කොපමණ කොමිස් මේ පසුපස තිබෙනවාදැයි එයින් අනුමාන කළ හැකි ය.

ලංකාවට කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් 2015 වසරේ සිට සිදුවූ වංචා සහ දූෂණ ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් 2019දී විමර්ශනයක් ආරම්භ කරන ලද මුත්, එය සම්පූර්ණ වූයේ නැත.

ශ්‍රී ලංකාව දිනකට කිරි ලීටර් ලක්ෂ 35ක් පරිභෝජනය කරන මුත්, නිෂ්පාදනය කරනු ලබන්නේ ලීටර් ලක්ෂ 12ක් පමණි. කිරිපිටි හා වෙනත් කිරි නිෂ්පාදන මෙට්‍රික් ටොන් ලක්ෂයකට වඩා ආනයනය කිරීම වෙනුවෙන් වසරකට රු. බිලියන 40ක් වැය කරයි.

හරකුන්ගේ කිරි යනු මිනිසුන්ට අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ. ශ්‍රී ලාංකිකයන් අතර කිරිපිටි පානය ප්‍රවර්ධනය කරන්නේ ප්‍රධාන වශයෙන් ම ආනයන සමාගම් විසිනි. කිරි ගොවීන්ට අත දීමේ මුවාවෙන් රජය කරන්නේ කිරිපිටි තවදුරටත් ජනතාව අතර ප්‍රවර්ධනය කිරීමයි. ඒ අතර, කිරිදෙනුන් ආනයනය හරහා දේශපාලකයන් හා නිලධාරීන් මහා පරිමාණයෙන් කොමිස් කුට්ටි ඩැහැගනු ලැබේ.

පශු සම්පත් දෙපාර්තමේන්තුවේ තක්සේරු අනුව, ශ්‍රී ලංකාවේ එළ හරක් ලක්ෂ 11ක් පමණ ද, මී හරක් ලක්ෂ හතරක් පමණ ද සිටිති.

අතීතයේදී රට පුරා දේශීය බටු හරකුන් සිටිය හ. එම හරකුන් දේශීය පරිසරයට ඔරොත්තු දුන් මුත්, ඔවුන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණය අඩු බව කියමින් රජය කිරි ගොවීන්ට ආනයනික හරකුන් හඳුන්වා දෙන ලදී. බටු හරකුන් මහා පරිමාණෙන් මස් කඩවලට දක්කන ලදී. බටු හරකා හෙවත් දේශීය ගවයා (Bos primiginious indicus) මේ වන විට වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ශ්‍රී ලංකාවට ආවේණික සත්වයෙකි.

කවරයේ ඡායාරූපයේ ඉන්නේ දේශීය බටු හරකෙකි. ඡායාරූපය උපුටා ගත්තේ මෙතැනිනි

Translations