අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ ආණ්ඩුව මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙතරම් දැඩි මතයක සිටියේ ඇයිද යන්න විමසා බැලිය යුතුය. මන්ද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වැනි ඇතැම් පොරොන්දු සම්බන්ධයෙන් ජවිපෙ එවැනි දැඩි ස්ථාවරයක නැත.

එයට හේතු කීපයක් දැකිය හැකිය. එක පැත්තකින්, ඔවුන්ගෙන් මන්ත්‍රීකම් ලබාගෙන දැන් පක්ෂයෙන් අයින් වී සිටින සහ විශ්‍රාම වැටුප පක්ෂයට නොදෙන 20ක පමණ පිරිසකට ඔවුන් දෙන්නේ දැඩි දඬුවමකි. එම පිරිස අතර සෙසු අයටත් වඩා විශ්‍රාම වැටුප මත යැපෙන අය සිටිති. නන්දන ගුණතිලක මේ බව පැහැදිලිවම ප්‍රකාශ කළේය. මන්ත්‍රී විශ්‍රාම වැටුප ප්‍රධාන ආදායම් මාර්ගයක් වන තවත් අය සිටිය හැකිය.

සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාස නම් වයෝවෘද්ධ කාන්තාව ලබාගන්නා, ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද හිටපු ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප ගැන පවා කතා කළද, ඇත්තෙන්ම එම විශ්‍රාම වැටුප අහෝසි කර නැත.

දේශපාලකයන්ට අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප් ලැබීම බොහෝ අයගේ වෛරයට ලක් කර තිබුණත්, දේශපාලකයන් ළඟ සේවය කරන ඇතැමුන්ට ද එවැනි විශ්‍රාම වැටුප් හිමි වේ. ආණ්ඩුව ඒවාට අත තබා නැත.

ශ්‍රී ලංකාව වේගයෙන් වර්ධනය වන වැඩිහිටි ජනගහනයක් සිටින රටකි. එවැනි රටක විශ්‍රාම වැටුප් යනු අහෝසි කළ යුතු දෙයක් නොව, තව තවත් පුළුල් කළ යුතු දෙයකි.

ඇමතිවරුන්, ජනාධිපතිවරුන් වැනි අය ඇතැම් බරපතල තීරණ ගැනීමට හා ප්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ වන අයයි. ඔවුන්ට සේවා කාලය තුළදී මෙන්ම, සේවා කාලයෙන් බැහැරදී ද විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය විය හැකිය. එසේම, සමාජ ආරක්ෂණයක් ද අවශ්‍ය විය හැකිය. එය වත්මන් මැති ඇමතිවරුන්ට ද අදාළය. උදාහරණයක් ලෙස, මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල සංවිධානාත්මක අපරාධ කල්ලි සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා නම්, ඔහුට සේවා කාලය තුළ මෙන්ම ඉන් පසුව ද විශේෂ ආරක්ෂාවක් අවශ්‍යය.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ගැන නව ලිබරල් ප්‍රතිපත්ති අනුගමනය කරන දේශපාලකයන් කතා කරන්නේ අසහනයෙනි. එය අනවශ්‍ය වැය බරක් බවට අදහසක් සන්නිවේදනය කරනු ලැබේ. මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍ර නොගෙන සිටීමෙන්, වෛද්‍යවරුන් වැනි එම වරප්‍රසාදය ලැබූ රාජ්‍ය සේවකයන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රය ද අහෝසි වී ගියේය. එපරිද්දෙන්ම, රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුපටත් අත තබාවිද කියා සැක කිරීම සාධාරණය.

අනෙක් පැත්තෙන්, මෙහෙම දෙයක් ද තිබේ. පසුගිය කාලයේ ලංකාවේ දේශපාලනය අතිශය අගතිගාමී තැනකට තල්ලු විය. එය පැති කීපයකින් සිදු විය. එක පැත්තකින් මනාප ක්‍රමය නිසා මන්ත්‍රී ධූරයකට තේරී පත්වීම සඳහා අති විශාල ආයෝජනයක් අවශ්‍ය විය. ඒ හේතුවෙන්ම මන්ත්‍රීවරුන් අතර දූෂණය පැතිරිණි. ඡන්දයට කළ වියදමත්, ඊළඟ ඡන්දයට යන වියදමත් සොයාගැනීමට ඔවුන්ට සිදු විය. ඒ වෙනුවෙන් මන්ත්‍රීවරු වරප්‍රසාද පසුපස පමණක් නොව දූෂණය පසුපස ද ගියහ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලයේදී සම්මත කරන ලද මැතිවරණ වියදම් නියාමන පනත මගින් මෙහි යම් නියාමනයක් සිදු කර තිබේ. එසේම, මන්ත්‍රී වරප්‍රසාද තවදුරටත් කප්පාදු කිරීම මගින් මැතිවරණ දේශපාලනය සඳහා පුරවැසියන් අතර තිබෙන ආකර්ශනය තවත් අඩු විය හැකිය. විශේෂයෙන්ම මුදල් හම්බ කිරීමේ මාර්ග පාදා ගැනීමට මහජන නියෝජිතයන් වීම අධෛර්යවත් වනු ඇත. එය හොඳ දෙයකි.

මැතිවරණවලට තරග කිරීම සඳහා රජයේ රැකියාවලින් ඉල්ලා අස්විය යුතු අතර, රජය සමග කොන්ත්‍රාත් කරන සමාගම්වලින් ද ඉවත් විය යුතුය. මන්ත්‍රීවරුන්ට හොඳ වැටුපක් ගෙවන්නේ ද නැත. එවැනි තත්වයක් තුළ පාර්ලිමේන්තුවට තේරී පත්වීම විශාල කැපකිරීමක් බවට පත් වේ. වත්මන් ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් එවැනි අයයි. ඔවුන්ට හිමි වැටුප හා වෙනත් වරප්‍රසාද පවා ජනතා විමුක්ති පෙරමුණ විසින් නීති විරෝධී ලෙස ලබාගන්නා අතර, ඔවුන් නඩත්තු කරනු ලබන්නේ ජවිපෙ පක්ෂ අරමුදලෙනි.

මෙම තත්වය තුළ, ඉදිරි කාලයේදී මැතිවරණ දේශපාලනය තුළ විශාල පරිවර්තනයක් සිදු වනු ඇත. දේශපාලනයට එනු ඇත්තේ, ජවිපෙ වැනි පක්ෂවලට සම්බන්ධ පිරිස්, ව්‍යාපාරිකයන්ගෙන් නඩත්තු වන පිරිස් හා බලය වෙනුවෙන් ආයෝජනය කළ හැකි විශාල ධනයක් හිමි අය පමණි.

මහජන නියෝජිතයන් බවට පත්විය යුත්තේ එවැනි අය පමණක්ද? මන්ත්‍රීවරුන්ට සාධාරණ වැටුපක් ලබාදිය යුතුය. එසේම, මන්ත්‍රී ධුරය දරන කාලයෙන් පසු ඔවුන්ට වැඩ කළ හැකි වයස දක්වා රැකියා හෝ වෙනත් වැඩ සොයාගැනීමට උපකාර අවශ්‍යය. එසේම, වයෝවෘද්ධ අයට අවශ්‍ය නම් විශ්‍රාම වැටුපක් ද ලබාදිය යුතුය.

මන්ත්‍රීවරුන් වැටුප් නොගෙන වැඩ කරමින් පසුව මහජනතාවගෙන් ඇරියස් ඉල්ලා නොසිටිය යුතුය. එසේම, මන්ත්‍රීවරුන් මහජනතාවගේ විවිධ අවශ්‍යතා සඳහාත්, මැතිවරණ සමයේදීත් සල්ලි බෙදන පුද්ගලයන් බවට පත් නොවිය යුතුය. මහජනතාව ද ඔවුන්ගෙන් එවැනි දේ බලාපොරොත්තු නොවිය යුතුය. එය ක්‍රම වෙනසකි.

Arunodakaruwo novel by Ajith Perakum Jayasinghe
2022 මැයි 9 අරගලය දවස්වල වෙච්ච මරණයක්. ආනන්ද බඹරැන්ද මන්ත්‍රීවරයා මරාදැමුවේ කවුරුද? ආරණ්‍යා බඹරැන්දට ඝාතකයා සොයාගන්නට පුළුවන් වෙයිද? මාක් ට්වේන් කවුරුද? #dawnbreakersට මොකක්ද වුණේ? කියවා දැනගන්න. පොත ගෙදරටම ගෙන්වා ගන්න අමතන්න: 077 1734470

Leave a Reply

Your email address will not be published. Required fields are marked *