අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk
ශ්රී ලංකාවේ සමකාලීන දේශපාලන කරළිය උණුසුම් කළ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ‘සිවුරේ අයිතිය’ පිළිබඳ සංසිද්ධිය අරභයා රමිඳු ලක්ඛික පෙරේරා විසින් රචිත ලිපිය, මෙරට වත්මන් පාලක පක්ෂයේ න්යායාචාර්යවරුන් තුළ පවතින දෘෂ්ටිවාදී ව්යාකූලත්වය සහ ඓතිහාසික අන්ධභාවය මැනවින් නිරූපණය කරන්නකි. සාම්ප්රදායික ‘වම’ සහ ‘දකුණ’ පිළිබඳ යල්පැනගිය රාමුවක සිරවී සිටින ඔහු, පශ්චාත්-යුද සහ පශ්චාත්-පාස්කු ශ්රී ලංකාවේ සිදුව ඇති ගැඹුරු සුසමාදර්ශීය වෙනස්කම් (Paradigm Shifts) කියවා ගැනීමට අපොහොසත් වී තිබේ. මෙම ලිපියේ අරමුණ වන්නේ රමිඳුගේ ප්රවාදයන් විසංයෝජනය කරමින්, නැගී එන සිංහල-බෞද්ධ දේශපාලන පෙළගැස්ම සහ ජවිපෙ ආණ්ඩුව මුහුණ දී සිටින සැබෑ දේශපාලන-ආර්ථික අර්බුදය විමර්ශනය කිරීමයි.
රොමැන්තික වීරයාගේ ප්රක්ෂේපණය සහ පශ්චාත්-යුද සුසමාදර්ශය
රමිඳු සිය ලිපිය ආරම්භයේදීම මෙසේ පවසයි:
“මීට වසර කීපයකට පෙර, ලිබරල් සිවිල් සමාජයේ සහ ජනවර්ග ප්රශ්නය තමයි ප්රශ්නය ලෙස සලකන ලද වාමාංශික ස්ථරවල රොමාන්තික වීරයා වූ රනිල් වික්රමසිංහ සිවුරේ අයිතිය වෙනුවෙන් පෙරට ආවේය.”
මනෝවිශ්ලේෂණාත්මක දේශපාලන න්යායට අනුව මෙය හැඳින්විය හැක්කේ ‘මනෝවිද්යාත්මක ප්රක්ෂේපණයක්’ (Psychological Projection) ලෙසයි. රමිඳු මේ අන් කිසිවකුට හෝ ආරෝපණය කරමින් ප්රකාශ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණට සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සිදු වූ දෙයයි. සැබැවින්ම රනිල් වික්රමසිංහ දේශපාලන හා ආර්ථික වීරයා බවට පත් වූයේ අනුර කුමාරට සහ ජවිපෙටය. 2015 යහපාලන ව්යාපෘතියේ සිට වර්තමාන IMF ආර්ථික මාවත දක්වාම, අනුර සහ ජවිපෙ ආණ්ඩුව අද වන විටත් අනුකරණය කරමින්, ක්රියාත්මක කරන්නට උත්සාහ කරමින් සිටින්නේ රනිල් වික්රමසිංහගේ දේශපාලන-ආර්ථික දර්ශනයමය.
එහෙත් මෙහි ඇති උත්ප්රාසය නම්, රනිල් වික්රමසිංහ පවා වත්මන් දේශපාලන යථාර්ථය හමුවේ සිය ස්ථාවරයන් වෙනස් කර ගනිද්දී, ජවිපෙ තවමත් පැරණි ලිබරල්-වාමාංශික සටන් පාඨවල එල්බ සිටීමයි. 2009 වසරේදී බෙදුම්වාදී යුද්ධයෙන් සිංහල පාර්ශ්වය තීරණාත්මක ජයග්රහණයක් අත්පත් කර ගැනීමත් සමඟ මෙරට රාජ්යය හා දේශපාලනය තුළ දැවැන්ත ‘සුසමාදර්ශීය වෙනසක්’ (Paradigm Shift) සිදු විය. විද්යා දාර්ශනික තෝමස් කූන් (Thomas Kuhn) පෙන්වා දෙන පරිදි, එක් යුගයක පැවති සුසමාදර්ශයක් බිඳ වැටී නව යුගයක් උදා වූ විට, පැරණි න්යායික මෙවලම්වලින් නව යථාර්ථය විග්රහ කළ නොහැක. පශ්චාත්-යුද සංදර්භය තුළ සාම්ප්රදායික වාමාංශික ස්ථාවරයන් ද වෙනස් විය යුතු බව ගතානුගතික, ආචීර්ණකල්පික මතවාද දරා සිටින පසුගාමී පොතේගුරුවාදීන්ට නොතේරුණත්, සමාජ චලිතයන් හඳුනන සැබෑ විප්ලවවාදීන්ට සහ ප්රායෝගික දේශපාලනඥයන්ට වැටහේ.
පාස්කු ප්රහාරය, ඥානසාරවාදය සහ සංකේතීය දේශපාලනය
රමිඳු සිය ලිපියේදී ඥානසාර හිමියන්ගේ දේශපාලන මැදිහත්වීම හඳුන්වන්නේ මෙලෙසිනි:
“ඥානසාරවාදය යනු පශ්චාත්-යුද ලංකාව තුළ ඇති කළ විපරිත ප්රවණතාවයක් බව මේ සැවොම හොඳින් දනිති. එය අවංක සිංහල බෞද්ධ යමක් නොව, අශ්ලීල අන්තර්ගතයක් සහිත, විකෘතියක් බව මේ හැමෝම ඉතා හොදින් දනිති.”
මෙහිදී මතුවන ප්රබලතම සදාචාරාත්මක සහ දේශපාලනික උත්ප්රාසය නම්, ‘ඥානසාරවාදය’ විපරීත ප්රවණතාවක් බව පවසන්නේ, 2019 පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත්රස්ත ප්රහාරයට සෘජුවම සම්බන්ධ වූ ඊබ්රාහිම් පවුලේ පියා (මොහොමඩ් ඊබ්රාහිම්) ඊට පෙර පැවති ආසන්නතම මහ මැතිවරණයේදී (2015) සිය ජාතික ලැයිස්තුවට ඇතුළත් කරගත් පක්ෂයේ න්යායාචාර්යවරයෙකු වීමයි.
ඥානසාරවාදය වටහා ගැනීමට නම් පාස්කු ප්රහාරය විසින් ඇති කළ දෙවන සුසමාදර්ශීය වෙනස කියවා ගත යුතුය. සරලව කිවහොත්, ඉස්ලාම් අන්තවාදය විසින් රටට පහර දෙන බව සමාජය අනුමාන වශයෙන් දැන සිටියත්, “මෙහෙම ගහයි” කියා බහුතර ජනයා හෝ රාජ්ය ආරක්ෂක යාන්ත්රණය දැන සිටියේ නැත. එහෙත්, “මෙහෙම ගහයි” කියා කල් තබාම නිවැරදිව හඳුනාගෙන, ඊට එරෙහිව අභීතව ප්රතිචාර දැක්වූ එකම දේශපාලන ප්රවණතාව වූයේ ඥානසාරවාදයයි. ඉස්ලාම් අන්තවාදය හා එය සමග දෘෂ්ටිවාදීව සහ දේශපාලනිකව පැටලුණු ජවිපෙ විපරීතභාවය තුළ, ඥානසාරවාදය විසින්—රමිඳු කියන පරිදි ‘අශ්ලීල’ හෝ රළු ආකෘතියකින් වුව ද—නිරූපණය කරනු ලැබුවේ ඓතිහාසික සිංහල-බෞද්ධ සටන්කාමිත්වයයි. ජර්මානු දේශපාලන න්යායාචාර්ය කාල් ෂ්මිට් (Carl Schmitt) පෙන්වා දෙන පරිදි, රාජ්යයක පැවැත්ම තීරණය වන ‘ව්යතිරේකීය මොහොතක’ (State of Exception), සාමාන්ය ලිබරල් සම්මතයන් ඉක්මවා යමින් මිතුරා සහ සතුරා (Friend-Enemy Distinction) නිවැරදිව ලකුණු කිරීමේ කාර්යය ඉටු කළේ එම බලවේගයයි.
එබැවින්, අද දවසේ ඥානසාර හිමි සහ උන්වහන්සේගේ නිදහස පිළිබඳ ප්රශ්නය හුදු පුද්ගලයෙකු පිළිබඳ ප්රශ්නයක් නොව, දේශපාලනික වශයෙන් අතිශය සංකේතාත්මක (Politically Symbolic) ප්රශ්නයකි. පශ්චාත්-මාක්ස්වාදී න්යායාචාර්ය අර්නස්ටෝ ලැක්ලාවු (Ernesto Laclau) ගේ වචනයෙන් කිවහොත්, අද ‘සිවුරේ අයිතිය’ සහ ‘ඥානසාර හිමියන්ගේ නිදහස’ යනු විවිධ සමාජ-දේශපාලන අතෘප්තීන් එකමුතු කරන ‘හිස් හැඟවුම්කාරකයක්’ (Empty Signifier) බවට පත්ව ඇත. මාක්ස්වාදීන් සමග පැටලුණු ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද තිරශ්චීන ත්රස්ත ප්රහාරයත්, ඉන් ඉක්බිති එම ප්රහාරයේ වගකීම සිංහල-බෞද්ධයන් හා ඔවුන්ගේ නායකයන් පිට පැටවීමට දියත් වූ කාදිනලීය සහ බෝන්-අගේන් (Born-Again) ‘පශ්චාත්-ප්රහාර දෘෂ්ටිවාදී ත්රස්තවාදයත්’ හමුවේ, සිංහල සමාජය දක්වන ප්රතිරෝධය අද දේශපාලනිකව වරනැඟෙන්නේ ‘ඥානසාර හිමිගේ නිදහස’ ලෙසයි.
එහෙයින්, මේ ගොඩනැගෙමින් පවතින සිංහල-බෞද්ධ දේශපාලනික පෙළගැස්ම රමිඳු පවසන පරිදි “තරමක් බැරෑරුම්” ලෙස නොව, “ඉතාම බැරෑරුම්” සංඥාවක් ලෙස ගන්නවා නම් එය ජවිපෙ ආණ්ඩුවේ දේශපාලන සෞඛ්යයට හිතකර වනු ඇත.
‘දූෂණ විරෝධයේ’ මළගම සහ පීඩිත ජාතිකවාදයේ ප්රගතිශීලී හරය
රාජපක්ෂවාදය සහ මධ්ය-දක්ෂිණාංශය අතර පැවති සමීකරණය බිඳ දමමින් ජාතික ජන බලවේගය ‘දූෂණ විරෝධය’ නම් අක්ෂය වටා නව හවුලක් ගොඩනැගූ බව රමිඳු උදම් අනයි. එහෙත් යථාර්ථය නම්, ජවිපෙ විසින් අවුල් කරන ලද එම සමීකරණය දැන් යල් පැන ගොස් අවසන් බවයි.
‘දූෂණ විරෝධය’ නම් ආකර්ෂණීය සටන් පාඨයේ සදාචාරාත්මක හරය, වත්මන් ආණ්ඩුවේ නග්න දේශපාලනික පක්ෂපාතිත්වය (Political Partisanship) විසින් මේ වන විටත් විනාශ කර හමාරය. නීතියේ ආධිපත්යය සහ දූෂණ විරෝධයේ හස්තය ජවිපෙ බල කවය කරා ළඟා නොවන බව දැන් ඉතා පැහැදිලිය. ඊට ගැඹුරු න්යායික සාධක සෙවිය යුතු නැත; පසුගිය දිනවල ජවිපෙ විසින්ම ප්රසිද්ධියට පත් කරන ලද සිය පක්ෂ නායකයන්ගේ දැවැන්ත වත්කම් උපයා ගත් ආකාරය මහජනයා හමුවේ පැහැදිලි කිරීමටවත් ඔවුන්ට සදාචාරාත්මක උවමනාවක් නැත. ක්රිකට් භාෂාවෙන් කිවහොත්, මාලිමාවේ ඊනියා දූෂණ විරෝධයේ ‘හතරේ සීමාව’ තිබෙන්නේ ‘විකට්ටුව’ ආසන්නයේමය! තමන්ගේ කඳවුරෙන් ඔබ්බට පමණක් ක්රියාත්මක වන වරණීය යුක්තියක් (Selective Justice) තුළ දූෂණ විරෝධී හෙජමොනිය තවදුරටත් පවත්වාගෙන යා නොහැක.
මෙම හිස්තැන තුළ අවදි වෙමින් පවතින නව සිංහල-බෞද්ධ බලවේගය දෙස රමිඳු බලන්නේ යුරෝ-කේන්ද්රීය ‘නව-නාසිවාදී’ (Neo-Nazi) කණ්ණාඩියකිනි. එය බරපතළ න්යායික වරදකි. පශ්චාත්-යටත්විජිත න්යායාචාර්යවරුන් වන පාර්තා චැටර්ජි (Partha Chatterjee) සහ ෆ්රන්ස් ෆැනොන් (Frantz Fanon) වැනි විද්වතුන් පෙන්වා දී ඇති පරිදි, ගෝලීය දකුණේ රාජ්යයන්හි මතුවන ජාතිකවාදයන් බටහිර ආක්රමණශීලී ෆැසිස්ට්වාදයට සමාන කළ නොහැක. අද මෙරට අවදි වන නව සිංහල-බෞද්ධ බලවේගය තුළ ඇත්තේ ‘පීඩිත ජාතිකවාදයක’ (Nationalism of the Oppressed) ප්රගතිශීලී හරයකි. ලෝකයේ සිංහල-බෞද්ධයන්ට රාජ්ය උරුමය ඇති එකම භූමිය තුළ, ඇමරිකානු හා ඉන්දීය භූ-දේශපාලනික අවශ්යතාවන්ට ගැති වූ, ‘මාක්ස්වාදී-නව ලිබරල්වාදී’ සංකර ප්රතිගාමිත්වයක ආධිපත්යයට එරෙහිව පැනනගින සිංහල විමුක්ති අරගලයක ආරම්භය එයයි.
ආර්ථික උගුල සහ උපායමාර්ගික දැක්මක් නොමැතිකම
රමිඳුගේ ලිපියේ වඩාත්ම බොළඳ තර්කය හමුවන්නේ ආර්ථිකය සම්බන්ධයෙනි. ආණ්ඩුව “ආර්ථිකය සම්බන්ධව, රැඩිකල් තීරණවලට නොගොස්, යම් ආකාරයක ප්රවේශම්කාරී ප්රතිපත්තියක් අනුගමනය” කරන නිසා විපක්ෂයට කියන්නට දෙයක් නැති බව ඔහු සිතයි. එහෙත් සැබෑව නම්, වත්මන් දේශපාලන තුලනය අවුල් කරන ප්රධානතම මර්මස්ථානය ආර්ථිකය වන අතර, ජවිපෙ මේ වන විට සිර වී සිටින්නේ දැවැන්ත ආර්ථික උගුලක බවයි.
පවතින අර්බුදයෙන් ගොඩ ඒමට නම් ආණ්ඩුව හමුවේ ඇත්තේ මාවත් දෙකක් පමණි:
පළමු මාවත: ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නව-ලිබරල් උපායමාර්ගය නිර්භීතව ඉදිරියට ගෙන යාමයි. එය කළ හැක්කේ හුදු ණය ප්රතිව්යුහගත කිරීමෙන් පමණක් නොව, දැවැන්ත ඍජු විදේශ ආයෝජන (FDI) ප්රවර්ධනය සහ ජාත්යන්තර ආර්ථික සම්බන්ධිතභාවය (Global Connectivity) තීව්ර කිරීම ඔස්සේය. භූ-ආර්ථික යථාර්ථයන් අනුව එය ආරම්භ කළ යුතුව තිබුණේ ආසන්න ඉන්දියාව සමඟ ආර්ථික ඒකාබද්ධතාවයකට යාමෙනි. එහෙත්, ලංකාවේ වත්මන් දුර්වල, ජනප්රියවාදී පාලකයන්ගේ දෙබිඩි පිළිවෙත හඳුනාගත් ඉන්දියාව, ඔවුන්ට කැමැත්තක් කර ගන්නට ඉඩ හැර පසෙකට වී සිටින බව පෙනේ. අනෙක් අතට, වර්තමාන ලෝක ආර්ථිකය තුළ සැබෑ ඍජු විදේශ ආයෝජන යනු චීන ආයෝජන මිස අන් යමක් නොවේ. ජවිපෙ ආණ්ඩුවේ ‘ප්රවේශම්කාරී’ අකාර්යක්ෂමතාවට කදිම පිළිතුරක් දෙමින්, චීනය ඩොලර් මිලියන 22ක වන්දියක් ද අය කර ගනිමින්, ඩොලර් මිලියන 392ක දැවැන්ත ආයෝජනයක් අවසන් කර දමා ගියේ මේ සතියේමය!
රැඩිකල් තීරණවලට නොගොස් රැකගත හැකි ආර්ථිකයක් ලංකාවට නැති බව වටහා ගැනීමයි. එක්කෝ අනුරගේ වීරයා වූ රනිල් වික්රමසිංහ විසින් කපා දුන් පාරේ—ලෙනින්ගේ වචනයෙන් කිවහොත් ‘පියවරක් ඉදිරියට, පියවර දෙකක් ආපස්සට’ යමින් නොව—ඍජුවම ඉදිරියට ගොස් වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කරගත යුතුය.
දෙවන මාවත: එසේ නැතිනම්, ලංකාවේ සැබෑ ආර්ථික විභවයන් පිළිබඳ රැඩිකල් තීරණයක් ගෙන, මහජනයා සමග එය විවෘතව සාකච්ඡා කර, රටට ගැළපෙන තිරසර ආර්ථික සංවර්ධන මූලෝපායක් (Home-grown Sustainable Strategy) සකස් කරගත යුතුය.
මෙවැනි ජාතිකමය මුලපිරීමක් සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කළේය. එහෙත් ගෝලීය කෝවිඩ් වසංගතයේ අභියෝගය සහ කළමනාකරණ දුර්වලතා නිසා ඔහුට එය ඉදිරියට ගෙන යාමට නොහැකි විය. කෙසේ වෙතත්, එම දැක්ම නිරූපණය කළ ඉතා වැදගත් රැඩිකල් තීරණයක් වූයේ අධික ණය බරක් සහිත සැහැල්ලු දුම්රිය ව්යාපෘතිය (LRT) අත්හිටුවීමයි. අධිවේගී ධනේශ්වර ආර්ථික වර්ධනයක් ඉලක්ක නොකරන රටකට එවැනි සුඛෝපභෝගී ව්යාපෘති අවශ්ය නැත.
වත්මන් ජවිපෙ ආණ්ඩුව මේ මාවත් දෙකෙන් එකකටවත් අවතීර්ණ නොවී සිටීම රමිඳු දකින්නේ ‘ප්රවේශම්කාරී ප්රතිපත්තියක්’ ලෙසය. එහෙත් දේශපාලන විද්යාවට අනුව තීරණ ගන්නට තරම් දැනුමක්, දැක්මක් හෝ ධෛර්යයක් නොමැතිකම (Policy Paralysis) ‘ප්රවේශම්කාරී වීරකමක්’ නොවේ; එය බංකොලොත්භාවයේ ලක්ෂණයකි.
අවසාන වශයෙන්: යල්පැනගිය ප්රවාදවල අවසානය
රමිඳු සිය ලිපියේ අවසාන භාගයේදී මෙරට අනෙකුත් ‘වාමාංශිකයන්’ ඥානසාර හිමියන්ට එරෙහිව වීදි බැස ‘ගේම ඉල්ලන්නේ’ නැතැයි කියමින් නගන ආඩපාලි ඉතාම විසුළුසහගතය. රාජ්ය බලය අතැතිව සිටින තමන්ගේම පක්ෂය ආර්ථිකය සහ දෘෂ්ටිවාදය හමුවේ දණ ගසා සිටියදී, වීදියේ සටන්වල අසූචි ඇදීමේ කොන්ත්රාත්තුව පැරණි වාමාංශික සගයන්ට පැවරීමට යාම බුද්ධිමය කුහකත්වයකි.
ඉතාලි මාක්ස්වාදී න්යායාචාර්ය අන්තෝනියෝ ග්රාම්ස්චි (Antonio Gramsci) පැවසූ පරිදි, “අර්බුදය සමන්විත වන්නේ පැරණි දෙය මිය යමින් පැවතීමත්, අලුත් දෙය තවමත් උපත ලැබිය නොහැකිව පැවතීමත් තුළය.” අද ශ්රී ලංකාව හැඩගැසෙමින් තිබෙන්නේ අප කිසිවකු තවමත් නිශ්චිතව නොදන්නා, පැරණි වාම-දක්ෂිණ ද්විඝටනයන් ඉක්මවා ගිය සම්පූර්ණයෙන්ම අලුත් දේශපාලන ගමනකටය. ඒ නව ඓතිහාසික ගමන වටහා ගැනීමට හෝ හැඩගැස්වීමට රමිඳු පෙරේරා වැන්නවුන්ගේ යල්පැනගිය, ආචීර්ණකල්පික ප්රවාදවලින් ඇති කිසිදු පලක් නැත.











