අජිත් පැරකුම් ජයසිංහ
හමුදාවට දුම්රිය රියදුරු පුහුණුව දෙන හා එයට විරුද්ධව දුම්රිය රියදුරන් වැඩ වර්ජනය කරන ප්‍රශ්නයකුත්, ඒ වර්ජනය නිසා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අපහසුවට පත්වෙනවාය කියලා සංවේදී වෙලා ආණ්ඩුව ඒ තීරණය හකුළා ගත් කතාවකුත් අද දවසේ අහන්නට ලැබුණා.
මෙතනදීත් චරිතය වෙලා ඉන්න ප්‍රසන්න ගුණසේන වෛද්‍යතුමාගේ අනෙකුත් වැඩ වගේම මේකත් කිසිම ප්‍රතිඵලයක් නැති දෙයක් බව තමයි පෙනෙන්නෙ.
ලංකාවෙ අකාර්යක්ෂමම රාජ්‍ය ආයතන අතරින් ඉදිරියෙන්ම තිබෙන එකක් තමයි දුම්රිය දෙපාර්තමේන්තුව. ඇත්තටම එය පවතින්නේ රාජ්‍ය සේවකයන්ට ලබාදෙන අඩු වියදම් වාර ප්‍රවේශ පත්‍ර නිසා වෙන්නට ඇති. මොකද, රජයේ නිවාඩු දිනවලට දුම්රිය වැඩි හරියක් දුවන්නෙ නැහැ.
ඉංග්‍රීසීන්ගේ කාලෙ අපේ රටේ ඉදි කරන ලද දුම්රිය මාර්ග පද්ධතිය කියන්නෙ ඇත්තටම විශාල සම්පතක්. එයින් වැඩ ගන්නා ප්‍රමාණය තවමත් අඩුයි. එය නඩත්තු කිරීමටත් අධික වැය බරක් දරන්නට වෙනවා. සමස්තයක් ලෙස දුම්රිය ධාවනය අතිශය වියදම්කාරී වැඩක් බව තමයි පෙනෙන්නෙ.
ලංකාවේ දුම්රිය පිළිබඳ ලේඛන ඇසුරෙන් කළ සොයාබැලීම අනුව, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 18,000ක් පමණ ඉන්නවා. 2024 අවුරුද්දේ ආදායම රු. බිලියන 16.5ක් පමණ වෙද්දි වියදම රු. බිලියන 39.5ක් පමණ වෙනවා.
කිලෝමීටර් 1,500ක පමණ දුම්රිය මාර්ග පද්ධතියක දිනකට දුම්රිය ගමන් වාර 340ක් පමණ ධාවනය වෙනවා. දිනකට මගීන් 280,000 – 300,000 අතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ධාවනය කරනවා.
ලොකොමොටිව් ඇන්ජින් 117ක්, පවර්සෙට් 130ක් හා මැදිරි 1,500ක් පමණ තිබෙන බවත් කියවෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 5,700කටත් වැඩියි.
ඉතින් දුම්රිය වෙලාවට ධාවනය වෙන්නේ නැහැ, සේවකයන් වර්ජන කරනවා වගේ ප්‍රශ්න නිතර අසන්නට ලැබුණාට, දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තරයේ තිබෙන ව්‍යූහාත්මක ප්‍රශ්න ඊට වඩා ගොඩක් ගැඹුරුයි. කොටින්ම හදන්නට බැරි තරම් කුණු වෙච්ච ආයතනයක් තමයි දුම්රිය දෙපාර්තමේන්තුව. ඒක හදන්නට විප්ලවීය මැදිහත්වීමක් අවශ්‍යයි.
මේ ඇමතිවරුන් කර තිබෙන්නේ, පැලැස්තර දැමීම සඳහා ක්‍රමයක් සම්පාදනය කිරීම. ඒ කියන්නෙ දුම්රිය රියදුරන් වර්ජනය කරනවා නම් හමුදාව ලවා දුම්රිය ධාවනය කිරීම. දුම්රිය ධාවනයට අවශ්‍ය සංඥා, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා අනෙකුත් සේවකයන්ගේ සේවා ආදියත් හමුදාව දමා කරන්නට හිතනවා ඇති. නැතිනම්, රියදුරන්ට විතරක් දුම්රිය ධාවනය කරන්නට බැහැ.
මේ අදහස මීට කලිනුත් ප්‍රවර්ධනය කරනු ලැබූ අසාර්ථක එකක්. රටේ වෙනසක් කරනවාය කියූ ජවිපෙ ආණ්ඩුව තමයි ඒක ක්‍රියාත්මක කරන්නට හදන්නේ. ඒ කාලෙ ඔවුන් තමයි, දුම්රිය දෙපාර්තමේන්තුවේ කවර හෝ ව්‍යූහාත්මක ප්රතිසංස්කරණයකට විරුද්ධව සේවකයන් කරන වර්ජනවලට ශක්තිය සපයපු බලවේගය. දැන් ඔවුන් ක්‍රියා කරන්නේ ඉතා බොළඳ, ජනප්‍රියවාදී වෛරී ආකල්පයකින්.
මෙවැනි වැඩකට නැති වැඩ හා ඒවායින් ඇති කරගන්නා ප්‍රශ්න නිසා මේ ආණ්ඩුවට කිසිදු ව්‍යූහාත්මක ගැටලුවක් විසඳීමේ අවශ්‍යතාවක් හෝ හැකියාවක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඔවුන්ට ඩිසයින් තින්කිං හෙවත්, සැලසුම් චින්තනයක් නැහැ. මතුපිට පැලැස්තර වැඩ විතරයි සිදුවෙන්නෙ.
දුම්රිය සේවය ප්‍රතිව්‍යූහගත කරන එක බොහොම ගැඹුරු වැඩක්. ඒ ගැන වත්මන් ඇමතිට හෝ කයිවාරු උස්තාද් කෙනෙකු වන නියෝජ්‍ය ඇමතිට තේරෙනවාය කියා හිතන්නට බැරි නිසා මේ වෙලාවේ කලින් ඉදිරිපත් වුණ යෝජනාවත් සාකච්ඡා කරන එකේ තේරුමක් නැහැ.
ජවිපෙ මාලිමාව විසින් කරනු ලබන පාලනය කෙතරම් දිග්ගැසෙයිද අප දන්නෙ නැහැ. දිග්ගැහෙන තරමට ලංකාවේ සංවර්ධනය අඩාල වෙන එක වළක්වන්නට පුළුවන්කමකුත් නැහැ. දුම්රිය සේවයේ නම්, කිසිවක් සිදුවෙන්නේ නැහැ. කෝච්චි ටික මේ විදියට දිව්වත් ඇති.
ලස්සන, පිළිවෙල කෝච්චි දකින්නට අවශ්‍ය නම්, ඉන්දියාවට හරි යන්න. ලංකාව ඉතිහාසයේ ඉදිරියට යන රටක් නොවෙයි.











