අජිත් පැරකුම් ජයසිංහ
නීතීඥවරයාගේ ඝාතනය ගැන සමබිම පක්ෂය වෙනුවෙන් දීප්ති කුමාර ගුණරත්න කරන විවරණය තුළ මතු කරන කාරණාව වන්නේ ආචාරධාර්මික ප්‍රශ්න සම්බන්ධයෙන් සමාජය සංවේදී නොවීම පිළිබඳ ගැටලුවයි. එහිදී ඔහු උදාහරණයට ගන්නා නිර්මාල් සමග ඇති නඩුව ගැන කීමට ඇත්තේ නීතීඥවරයා සංවිධානාත්මක අපරාධකරුවන් සමග කරන ලදැයි කියන ගනුදෙනුව ගැන සියුම් විස්තර අප නොදන්නා සේම නිර්මාල් හා දීප්ති අතර ඇති වූ මෙම ගැටුමේ සියුම් විස්තර ද අප නොදන්නා නිසා නිගමනයකට පැමිණිය නොහැකි බවයි.
කෙසේ වෙතත්, දේශපාලනයේ ආචාරධර්ම පිළිබඳ ගැටලුව පිළිබඳ සිතන්නට අවස්ථාවක් දීප්ති ලබාදෙයි.
අපට දේශපාලනය අවශ්‍ය කුමටද? එක පැත්තකින් එය රටේ පාලනයට, පාලනයේ වෙනසට අප දායක වන ආකාරයයි. අනෙක් පැත්තෙන්, එය අප බලය වෙනුවෙන් කරනු ලබන ක්‍රියාවකි. දේශපාලනය අපව බලවත් කරයි. එයින් අදහස් කරන්නේ රාජ්‍ය බලය පමණක් නොවේ. දේශපාලනය නිසා පුද්ගලයෝ බලවත් වෙති. උදාහරණයක් ලෙස මාලිමාවට සම්බන්ධ වූ අය මේ වන විට රාජ්‍යය සමග සම්බන්ධතා ඇති කරගෙන බලවත් වී සිටිති. මාලිමාවට විරුද්ධ වීමෙන් ද සමාජ බලයක් ගොඩනැගේ.
දේශපාලනයේදී තිබිය යුතු ආචාරධර්ම මොනවාද? තමන් කලින් සිටි එක්ස් කණ්ඩායම බිඳ දැමීමෙන් නිර්මාල් කර ඇත්තේ ආචාරධර්ම උල්ලංඝනයක්ද? මතවාදී වෙනස් වීම ප්‍රශ්නයක් නොවන බව දීප්තිම පවසයි. ඔහු දක්වන උදාහරණය සමග සම්බන්ධ වන්නේ දේපළයි. දීප්ති කියන මේ දේපළ මොනවාදැයි අප දන්නේ නැත. එහෙත්, නිර්මාල් ඇතුළු කණ්ඩායම බිඳී යාම දීප්තිගේ දේශපාලන ව්‍යාපෘතියට මරු පහරක් වූ බව පැහැදිලිය.
මෙවැනි බිඳීම් සමග දේශපාලන ව්‍යාපාර නැවත ගොඩනැගිය නොහැකි තත්වයට පත්වීමට ඉඩ තිබේ. දීප්තිට තම පක්ෂය බලාපොරොත්තු වූ අන්දමින් නැවත ගොඩනගා ගැනීමට නොහැකි වීම එවැනි ගැටලුවකි. ඔහු කිසියම් මහා සැලැස්මක් අනුව ගොඩනැගූ දේ ඔහුගේ අනුගාමිකයෝ පැහැරගෙන ගියහ. සමබිම නම පවා එවැනි එකකි. රයිට්ස් නම් රාජ්‍ය නොවන සංවිධානය තුළ ඔහු ස්ථානගත කළ අය ඒ නම ද රැගෙන ගියහ.
මේ දේපළ රැගෙන ගිය අය කර තිබෙන ආචාරධර්ම උල්ලංඝනය එතැනින් හඳුනාගත හැකිය. ඔවුන් ඒ දේපළ රැගෙන ගොස් කර තිබෙන්නේ කුමක්ද? ඒවා තම පෞද්ගලික උන්නතිකාමී අරමුණු හඹා යාමට පිමි පුවරුවක් ලෙස භාවිතා කර අතහැර දැමීමද? අප එය ද හරියට දන්නේ නැත.
නිර්මාල් රංජිත් දේවසිරි එක්ස් කණ්ඩායමේ බුද්ධිමය මානව සම්පත පැහැරගෙන ගියේය. ඒ පිරිස පසුව විසිරී ගියහ. එහෙත්, ඒ සියලු දෙනාම පාහේ වර්තමානයේදී ජාතික ජන බලවේගයට ආදරය කරමින් එහි පරිධියේ දැවටෙමින් සිටින බව පෙනේ. ඔවුන්ට දේශපාලන අරමුණක් තිබේද? නැතිනම්, ඔවුන් කරන්නේ හුදෙක්ම එදිනෙදා ප්‍රතිචාර දැක්වීමක් පමණද? එය පැහැදිලි නැත. ඔවුන් එක්ස් අනන්‍යතාව භාවිතා නොකළ ද ඔවුන් ගැන අධ්‍යයනය කරන විට එක්ස් හා දීප්තිගේ අනුගාමික භාවිතාවේ නටබුන් ඔවුන් තුළ දක්නට ලැබේ. ඔවුන් දීප්ති පාවා දුන්නාද?
දීප්ති කතා කරන්නේ ඔහු හැර ගිය අයගේ ආචාරධර්ම පිළිබඳවයි. ආචාරධාර්මික ලොකු කර බලන කන්නාඩිය අපි දීප්ති දෙස යොමු කර බැලුවොත් කුමක් වෙයිද? දීප්ති ගැන අපට ඇත්තේ කුඩා නිරීක්ෂණ කිහිපයක් පමණක් නිසා අපට කිසිවක් කිව නොහැකිය. ඔහු සමග සිටි නිර්මාල් වැනි අයට කීමට ඇත්තේ කුමක්ද?
මට නම් හිතෙන හැටියට දේශපාලනයේදී ආචාරධර්ම තීරණය වන්නේ ඉතා පුළුල් චිත්‍රයක් තුළ මිස පුංචි පුංචි කොටු තුළ නොවන බවයි. උදාහරණයකින් පැහැදිලි කළොත්, ප්‍රභාකරන්ගේ හා මහින්ද රාජපක්ෂගේ ආචාරධර්ම තීරණය වන්නේ අවසාන ඊලාම් යුද්ධය ලෙස දැනට සැලකිය හැකි යුද්ධයේ ඔවුන්ගේ භූමිකාවන්ගේ අංකොන් මගින් නොවේ. එය තීරණය වන්නේ, සිංහල හා දෙමළ ජාතීන් ගොඩනැගීම හා ජාතික රාජ්‍යයන්ගේ බල තුලනය තුළ ඔවුන්ගේ භූමිකාව අනුවයි.
ලසන්ත ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක සේවකයන් පිරිසක් නැගෙනහිර පළාතේදී ඝාතනය කිරීම, සුදු කොඩි නඩුව වැනි ආචාරධාර්මිකව ප්‍රශ්න කරනු ලබන කාරණා පවා ඉහත කී මහා චිත්‍රය තුළ ඇති අංකොන් ලෙස ද සැලකිය හැකිය.
එහෙත්, අපට ඒවා මත ද එල්බගෙන සිටිය හැකිය. එසේ එල්බගෙන සිටීම ද දීප්ති කියන ආකාරයේම විනෝදයක් හෝ ප්‍රමෝදයක් විය හැකිය.
දීප්තිට ලංකාව හෝ කුමක් හෝ දේශපාලන ප්‍රජාවක් ගැන යම් මහා සැලැස්මක් තිබී එය අසාර්ථක වී ඇතැයි මට සිතේ. නිර්මාල් සම්බන්ධයෙන් ඔහු මතු කරන ආචාරධාර්මික ප්‍රශ්න එහි අංකොන් හා සම්බන්ධ ඒවා යයි මට සිතේ.
නීතීඥවරයාගේ ඝාතනය වෙත ආපසු ගියොත්, සංවිධානාත්මක අපරාධකරුවන් විසින් කරනු ලබන සැබෑ කාර්යය වන්නේ ගෝලීය කළු ආර්ථිකයක් තුළ ස්ථානගත වෙමින් අධික අවදානමක් සමග බැඳුණු බලයක් හා සැප සම්පත් ළඟා කරගැනීමයි. නීතීඥවරයා සම්බන්ධයෙන් දීප්ති පෙන්වා දෙන ගැටලුව ඒ හා සම්බන්ධ නීතිමය ක්‍රියා වැනි අංකොන්වල ආචාරධාර්මික ගැටලු වේ.
ආචාරධර්මවලට විවිධ තල ඇත. අප ආචාරධර්ම විමසිය යුත්තේ අංකොන්වලින්ද? ඒ හා සම්බන්ධ, අපට අහිමි වූ විනෝදයෙන් හෝ ප්‍රමෝදයෙන්ද? පුළුල් ඓතිහාසික සංදර්භය හරහාද?
මට නම් කීමට ඇත්තේ මට ඔය අංකොන් ආචාරධර්ම වැදගත් නැති බවයි. ඔබට වැදගත් නම් මට ප්‍රශ්නයක්ද නැත. එය ද අංකොන් ප්‍රශ්නයක් පමණි.
මට හිතෙන්නේ දීප්තිට ඔය අංකොන් ආචාරධර්ම වැදගත් නැත. ඔහු ඒවා ප්‍රශ්න කරන්නේ ද විනෝදය සඳහාය. වීඩියෝවලට රීච් ලබාගැනීම සඳහාය. එය කෙතරම් ආචාරධාර්මිකද යන්නද වැදගත් නැත. ඉතිහාසය විසින් දීප්ති නිදොස් කරනු ඇත. එසේ නොකරන්නට ද ඉඩ තිබේ. ඉතින් දීප්තිට පාන්ද? සමහර විට පාන් වෙන්නට ද පුළුවන. එය දන්නේ දීප්තිමය.
එම වීඩියෝවට සබැඳිය: https://www.facebook.com/share/v/17sZ8hNjC7/











