අජිත් පැරකුම් ජයසිංහ
ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට සම්බන්ධ පුද්ගලයකුගේ ඉඩමක තිබී ගංජා හමුවීම පිළිබඳ ප්‍රවෘත්තියක් පසුගිය දිනවල කතාබහට ලක්විය. ඒ සම්බන්ධයෙන් ගොතන ලද කතා කෙරෙහි අපි මෙම ලිපියෙහි අවධානයට ලක්කරන්නේ නැත.

එහිදී සත්‍ය වශයෙන්ම සිදු වී තිබෙන්නේ වගා බිමක් ආසන්නයේ බඳුනක තිබූ ගංජා පැළ දෙකක් සොයාගත් සූරියකන්ද පොලිසිය එම අවස්ථාවේදී එම ඉඩමේ වැඩ කළ කෘෂි කම්කරුවකුට එරෙහිව නඩු පවරා දඩ නියම කිරීමයි.
මෙම ගංජා පැළ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෘෂි කම්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර එම පුද්ගලයා වරද පිළිගැනීමෙන් පසු ඔහුට රු. 3000ක දඩයක් නියම කර ඇත.
මෙම ගංජා පැළ දෙක තිබුණේ කුමන ඉඩමකද, එම ගංජා පැළවල අයිතිය එම දඩ නියම වූ කෘෂි කම්කරුවාට ඇත්තටම අයිතිද ආදී ගැටලු රැසක් තිබුණත්, දිගින් දිගටම නඩු කීම, ඒ සඳහා වන වියදම, සිදුවන කරදරය ආදී කරුණු හේතුවෙන් සැකකරුවන් වරද පිළිගැනීම නිසා මෙම නඩුව අවසන් වී ඇතත්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නම කිසියම් ආකාරයකින් මෙයට සම්බන්ධ වීම නිසා එම පක්ෂයට හිතවත් මාධ්‍යකරුවන් විසින් මෙම සිදුවීම සම්බන්ධ ගවේෂණ සිදුකිරීමත් සමග කරුණු රැසක් හෙළිදරව් වී තිබේ.
මෙහි ඇති ප්රශ්නය මෙයයි. මන්ත්‍රීවරුන් වැනි ප්රභූන්ගේ නම් සඳහන් නොවන මෙවැනි සිදුවීම් කොයි තරම් සිදුවෙනවාද? පොලිසිය මෙවැනි ගැටලු සහගත නඩු පැවරීම් කෙතරම් කරනවාද? කරදර වළක්වා ගැනීම සඳහා ඇතැම් විට නිර්දෝෂී පුද්ගලයන් පවා වරද පිළිගන්නවාද?
මේ වනාහි ලංකාවේ සාධාරණ යුක්තිය සම්බන්ධ ගැටලුවයි. මෙම සිදුවීම් සම්බන්ධ පූර්ණ සත්‍යය කිසි දිනෙක හෙළිදරව් වන්නේ නැත. සාමාන්‍යයෙන් මෙවැනි පොලිස් ක්‍රියා පිළිබඳ කාගේවත් අවධානය යොමු වන්නේ ද නැත.
එහෙත්, මෙවැනි සිදුවීම් සමග සමාජ දේහය තුළ කිඳා බැස තිබෙන තුවාල තවත් ගැඹුරු වේ. මහජන බදු මුදලින් නඩත්තු වන පොලිසිය බොරු නඩු පවරනවා නම්, මහජන බදු මුදලින් නඩත්තු වන අධිකරණය නිර්දෝෂී පුද්ගලයන්ට දඬුවම් පමුණුවා මහජන බදු මුදලින් නඩත්තු වන බන්ධනාගාරගත කරනවා නම්, අවසානයේදී සිදුවන්නේ මහජන බදු මුදලින් පවත්වාගෙන යන රජය කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමයි.
අප මේ වල කපා ගනිමින් සිටින්නේ අපගේම දෙපා මුලින් නොවේද?









