අජිත් පැරකුම් ජයසිංහ
ළමයින් ශාරීරික හා මානසික හිංසනයට ලක්කිරීම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන එන ලද යෝජනාව හේතුවෙන් වැදගත් මානව හිමිකම් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. ළමයින් අපයෝජනයෙන් ආරක්ෂා කිරීමේ අරමුණ කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත. එහෙත්, පනතේ භාෂාව විසින් නිර්මාණය කර තිබෙන තත්වය ඵලදායී ශික්ෂණයට සහ පාසල් විනයට බාධා කළ හැකි නීතිමය අවිනිශ්චිතතාවක් හඳුන්වා දෙන බව පෙනේ. එසේම, මෙය අපගේ ළමා හා නවයොවුන් පරපුර මුහුණ දෙන බරපතලම තර්ජන විසඳීමට සමත් වන නීති ප්රතිසංස්කරණයක් ද නොවේ.
අවිනිශ්චිතතාවයේ ගැටලුව
දණ්ඩ නීති සංග්‍රහයේ 308(b)(1) වගන්තියට යෝජිත සංශෝධනය මෙසේය:
308b. (1) වයස අවුරුදු දහඅටට අඩු ඕනෑම පුද්ගලයෙකුගේ භාරකාරත්වය, භාරය හෝ රැකවරණය ඇති ඕනෑම අයෙකු –
(අ) දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් හෝ නිවැරදි කිරීමේ ක්‍රමයක් ලෙස, භෞතික බලය භාවිතා කරන ක්‍රියාවක්, එවැනි ක්‍රියාවක් කොතරම් සුළු වුවද, වේදනාවක් හෝ අපහසුතාවක් ඇති කිරීමට ඉඩ ඇති බව දැන දැනම; හෝ
(ආ) එය කොතරම් සුළු වුවද, නින්දාවක් ඇති කිරීමට ඉඩ ඇති බව දැනගෙන කරනු ලබන භෞතික නොවන ක්‍රියාවක්, ශාරීරික දඬුවම් වරද සිදු කරයි.
ඒ අනුව, වේදනාවක් හෝ අපහසුතාවයක ඇති කිරීමට ඉඩ ඇති ක්‍රියා පමණක් නොව කෙතරම් සුළු වුවත්, අවමානයක් ඇති කිරීමට ඉඩ ඇති ක්‍රියා ද සාපරාධී වැරදි බවට පත් වේ. මහාචාර්ය රෙහාන් සමරජීව (නීතීඥ) නිවැරදිව පෙන්වා දෙන පරිදි මෙම ‘’කෙතරම් සුළු වුවද’ යන කොටස ඉවත් කළ යුතුය.
මෙම වචනවල ගැටලුව වන්නේ ‘සුළු හෝ අපහසුතාවක්, අවමානයක්’ යනු කුමක්දැයි නිර්වචනය කරන්නේ කවුරුද යන්නයි. මෙම අපැහැදිලිභාවය නීතිමය අර්බුදයක් නිර්මාණය කරන අතර, යහපත් චේතනාවෙන් ගෙන එන ලද ICCPR පනත ප්රකාශනයේ නිදහස ඇවිරීම සඳහා අනිසි ලෙස භාවිතා කළ ආකාරයටම, යහපත් චේතනාවෙන් යුත් දෙමාපියන්ට සහ ගුරුවරුන්ට නඩු පැවරීම හා දඬුවම් කිරීම සඳහා මෙම නීතිය අනිසි ලෙස භාවිතා කිරීමේ අවදානමක් පවතී.
වධහිංසා සහ සැබෑ අපයෝජන වැළැක්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වීම වැදගත්ය. ඒවා බොහෝ විට වැඩිහිටියන්ගේ කෝපයෙන් හා ආතතියෙන් උපදින ක්‍රියාවන් බව සැබෑය. එහෙත්, එසේ නොවන විනය ක්‍රියාමාර්ග සාපරාධී වැරදි බවට පත් නොකළ යුතුය.
ළමයින්ට මුහුණ දීමට සිදුවන සැබෑ අර්බුද
ළමා ආරක්ෂක ඒකකයේ දත්තවලින් හෙළි වන්නේ 2025 වසරේ මුල් මාස හත තුළ ගැහැණු ළමයින් 1,344 ක් දූෂණයට ලක්ව ඇති බවයි. මෙය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ලිංගික ප්රචණ්ඩත්වයයි (SGBV). ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ අවුරුදු 15-19 අතර තරුණ කාන්තාවන්ගෙන් 15,000කට වැඩි පිරිසක් සෑම වසරකම ගැබ්ගනී. ශ්‍රී ලංකා විවාහ සහ දික්කසාද නීතියේ පවතින දුර්වලතා ළමා විවාහ හා නොමේරූ ගැබ් ගැනීම් සඳහා ප්‍රධාන හේතුවක් වී ඇත. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) වාර්තා කරන පරිදි, ශ්‍රී ලංකාවේ අවුරුදු 20-24 අතර කාන්තාවන්ගෙන් 1% ක් අවුරුදු 15ට පෙර විවාහ වී ඇති අතර, 11% ක් අවුරුදු 18ට පෙර විවාහ වී ඇත. මෙම අඩු වයස් විවාහ හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනයට බාධා ඇතිවීම, ඔවුන් පවුල් තුළ හිංසනයට ගොදුරු වීම සහ මානසික ගැටලු ඇතිවීම බහුලව දක්නට ලැබේ.
මත්ද්‍රව්‍ය තවත් බරපතල ගැටලුවකි. ළමයින් කුතුහලය නිසා ඒවාට යොමු වන අතර, විශේෂයෙන්ම පිරිමි ළමයින් මත්ද්‍රව්‍ය වෙත පොළඹවා ගැනීමට ජාවාරම්කරුවෝ උත්සාහ දරති. පාසල් තුළදීම මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳ ගුරුවරුන්ට ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන අවස්ථා බොහෝය. ගුරුවරු බොහෝ විට ළමයින් පොදු නීතිය ඉදිරියට ගෙන නොගොස් පාලනය කිරීමට උත්සාහ දරති. පොදු නීතිය හමුවේ ළමයින් රිමාන්ඩ් කිරීමෙන්, පරිවාස භාරයට පත් කිරීමෙන් හෝ හමුදාව විසින් මෙහෙයවනු ලබන පුනරුත්ථාපනය වෙත යොමු කිරීමෙන් ඔවුන්ට සෙතක් නොවෙන තරමට එම යාන්ත්‍රණයන් අකාර්යක්ෂමය.
ජංගම දුරකථන ඇබ්බැහිය, අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීම, පාසල් විනයට පටහැනි පෙම් ජවනිකා සහ ලිංගික ක්‍රියා, විනෝද හිංසනය, පාසල් නොපැමිණීම, අධ්‍යාපනය මගහැරීම, දුර්වල ප්‍රතිඵල වැනි ගැටලු රැසක් සමග ගුරුවරුන්ට පොරබැදීමට සිදු වී තිබේ.
එසේම, ළමයින්ට හා මව්පියන්ට ද තවත් ගැටලු රැසක් තිබේ. පාසල්වල අධ්‍යාපනය නිසි පරිදි සිදු නොවීම, ටියුෂන් අධ්‍යාපනයට යන අධික වියදම, පාසල්වල විවිධ කටයුතු සඳහා මුදල් එක්රැස් කිරීම, පාසල් යාමට දිගු දුර ගමනාගමනය කරන්නට සිදු වීම, පොදු ප්‍රවාහන ගැටලු, අනාරක්ෂිතබව, අධික විනය ක්‍රියාමාර්ග, ඇතැම් විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා ශිෂ්‍ය නායක නායිකාවන්ගේ හිංසනයන්, විභාග පීඩනය ආදිය ඒ අතර වේ.
ශ්‍රී ලංකාව ළමා දිනය සැමරූ ඔක්තෝබර් 1දා ආසන්නයේදී, මොණරාගල පාසලක සිසුවෙකු ජංගම දුරකථනයක් සම්බන්ධ ගැටලුවකට මැදිහත් වූ ගුරුවරයෙකුට පහර දීම පිළිබඳ මාධ්‍යවල වාර්තා විය. මෙම සිදුවීම ගුරුවරුන් විනය පවත්වාගෙන යාමේදී මුහුණ දෙන අභියෝග පෙන්නුම් කරයි. ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු අවධාරණය කරන්නේ, අත්අඩංගුවට ගැනීමේ බිය නිසා ගුරුවරුන් විනය ක්‍රියාමාර්ගවලින් ඉවත් විය හැකි බවයි.
නීති සම්පාදනයේදී අපයෝජනය සහ සාධාරණ ශික්ෂණය අතර පැහැදිලි වෙනසක් සලකුණු කිරීම අවශ්‍ය බව ඉතා පැහැදිලිය. සැබෑ ළමා ආරක්ෂණය යනු වධහිංසා සහ බරපතල ප්රචණ්ඩත්වය සිදුකරන්නන්ට නඩු පවරන අතරම, පැහැදිලි ධනාත්මක විනය මාර්ගෝපදේශ සමඟ දෙමාපියන් සහ ගුරුවරුන් සවිබල ගැන්වීමයි.