අජිත් පැරකුම් ජයසිංහ
මේ සටහන ලියන්නෙ මට මේ අවුරුද්දෙ හැට පිරෙන එක ගැන නෙමෙයි. ජවිපෙට මේ අවුරුද්දෙ හැට පිරුණා. ලොකු බර්ත්ඩේ පාටියකුත් ගත්තා.
මගේ අවුරුදු හැට ඇතුළෙ වගේම ජවිපෙ අවුරුදු හැට ඇතුළෙත් වැඩිපුර තියෙන්නෙ මෝඩකම්. මගේ ජීවිතේ නම් එච්චර විස්මයජනක දේ නැහැ. ජවිපෙ විස්මයජනක දේත් කළා. උදාහරණයක් විදියට ලංකාවෙ පාර්ලිමේන්තුවට බෝම්බ ගහලා මිනිත් මරලා ඒ පාර්ලිමේන්තුවේම ආණ්ඩු පක්ෂය බවටත් පත්වුණා. ඒත් ඉතින් අර මෝඩකම් කිරීම නම් ඉවර නැති නිසා ඉදිරියෙදි මීටත් වඩා විස්මය ජනක දේ සිදු වේවි.
මේ වෙලාව ඇත්තටම හොඳයි ජවිපෙ මොකක්ද කියල කතා කරන්න. මං හිතන විදියට නම් ජවිපෙ කියන්නෙ ලංකාවේ මධ්‍යම පන්තියේ පහළ තීරයේ පක්ෂය. මේ පන්ති කතාව ගැන මං පස්සෙ වැඩිදුර සාකච්ඡා කරනවා.
ජවිපෙ නියෝජනය කරලා තියෙන්නෙ මේ පන්තියේ මොන අවශ්‍යතාවද කියලා විමසා බැලුවාම මට හිතෙන්නෙ ජවිපෙ හැමදාමත් පෙනී ඉඳලා තියෙන ප්‍රධාන දේ තමයි රාජ්‍ය බලය දිනාගැනීම.
සමාජවාදය, සමාජය වෙනස් කිරීම වගේ දේ ගැන කිව්වාට ජවිපෙ ඇත්තටම සමාජවාදය කියන්නෙ මොකක්ද කියන එක ගැනවත් ගැඹුරු කතිකාවක ඉන්න පක්ෂයක් නෙමෙයි. ඒ වගේම තමයි, ජවිපෙ සමාජය වෙනස් කිරීම සඳහා කටයුතු කිරීමත් බොහොම සීමිත කාරණයක්. හේතුව, සමාජය වෙනස් කරන්නට නම්, ජවිපෙ සමාජයට වඩා ඉදිරියෙන් සිතන බලවේගයක් වෙන්නට ඕනැනෙ. එහෙම එකක් නැහැ. ජවිපෙට වඩා ඉදිරිගාමීව සිතන පක්ෂ, කණ්ඩායම්, පුද්ගලයන් මේ රටේ ඕනැ තරම් ඉන්නවා.
ජවිපෙ කොහොමද ඉදිරිගාමීව සිතන්නෙ, ජවිපෙට සිතීමේ නිදහසක්වත් නැති තත්වයක් තුළ. ජවිපෙ විසින් සටන්කාමී පක්ෂයක් හදලා තියෙනවා. ඒකෙ සාමාජිකයන් දැඩි පක්ෂ විනයකට, උප සංස්කෘතියකට නතු කරලා, කිසියම් ආකාරයක නායකත්වයට, පක්ෂයට වහල් සමාජයක් හදලා තියෙනවා. පක්ෂය විශාල මිනිස් ශ්‍රමයක් හා ජීවිත පවා සූරා ගනිමින් හැට වසරක් දේශපාලනය කර තිබෙනවා. ඒ මොකක් සඳහාද?
ඔන්න ඔතනදි මට ලැබෙන උත්තරය නම්, වෙන මොකක්වත් සඳහා නෙමෙයි, රාජ්‍ය බලය ලබාගැනීම වෙනුවෙන්ය කියන එක. කාටද? මං අර කලින් කිව්ව මධ්‍යම පන්තියේ පහළ තීරය අතට. ඔවුන් ඒ අය නිර්ප්‍රභූ කියලා නම්කරනවා. ඒ පැරණි ප්‍රභූන්ගෙන් තමන් වෙනස් බව පෙන්නන්න. ඒ වුණාට ඇත්තටම ඔවුනුත් ප්‍රභූ ස්ථරයක් තමයි. ඒ නිසා තමයි, බිමල් රත්නායක ‘මං පාර්ලිමේන්තුවෙ අවුරුදු 16ක් ඉඳල තියෙනවා’ කියල පුරසාරම් දොඩන්නෙ. කෝච්චියක ගිහින් ෆොටෝ දාමින් ලංකාවෙ කෝච්චි පරක්කු වෙනවා වගේ ‘සොයාගැනීම්’ කරන්නෙ.
මේ අයට තිබිලා තියෙන්නෙ, බලයෙ ඉන්නවාය කියන ‘ධනපති පන්තිය’ කියා ඔවුන් හඳුන්වන ප්‍රභූ පාලකයන් ඔවුන් අතට කිසි සේත්ම බලය නොදෙයි කියලා හුඹස් බියක්. ඇත්තෙන්ම, මේ ඊනියා ‘ධනපති පන්තිය’ කියන්නෙත් ඔවුන් පදනම් වන මධ්‍යම පන්තියේම ඉහළ ස්ථරය. මේ දෙගොල්ලම යැපෙන්නෙ මූලික වශයෙන් රජයෙන්. ඔවුන් තමයි රජය නම් සමාගමේ සැබෑ අයිතිකාරයෝ. ඔවුන් තමයි, රජය ජනතාවගෙන් සූරාගන්නා බදුවලින් අඩුවෙන් වැඩ කර වැඩියෙන් පඩි හා වරප්‍රසාද භුක්ති විඳින බලවේගය. මේ අය තමයි ලංකාවේ බලවත්ම පන්තිය. ස්ථර අතර වෙනස විතරයි.
ධනපති පන්තියක් ගැන මේ මිථ්‍යාව පුපුරුවා හරිමින්, අන්තිමට ප්‍රභූ පාලකයන් බන්දේසියකම තබා බලය ඉතාම සෞම්‍ය විදියට ජවිපෙ අතට හුවමාරු කළේ ඔවුන්ටත් අදහාගත නොහැකි ආකාරයට.
ඔන්න ඉතින් මෙතෙක්, ඉර හඳ වගේ දුරයි කියලා හිතාගෙන හිටපු රාජ්‍ය බලය දැන් ඔවුන්ගේ ඔඩොක්කුවටම වැටිලා. දැන් තියෙන ප්‍රශ්නෙ මොකක්ද දන්නවද? ජවිපෙ තාම තෙපරබානවා දැන් ඉතින් මොකක්ද කරන්නෙ කියලා. අලුතෙන් බලවතුන් වුණ ජවිපෙ කට්ටිය දැන් එක එක විදියට හරව හරවා තමන් දිහාම බලමින් පුදුම වෙනවා. කොහොම හිටිය අපිද යකෝ මේ දැන් මෙතන ඉන්නෙ කියලා.
මේ මත්වීම ඇතුළෙ ඔවුන්ට මගහැරී යන කාරණය තමයි, ඔවුන් අතට බලය ලැබුණෙ දැවැන්ත ආර්ථික අර්බුදයක් මැදය කියන එක. ඒ නිසා ඔවුන් දන්නෙත් නැහැ, ඔවුන්ගේ පාා යටින් ඔවුන්ගේ බල ව්‍යූහයේ අඩිතාලම වූ ආර්ථිකය සේදී යනවා.
වීඩියෝව පහත දැක්වේ: