Parliamentary Select Committee on Easter Sunday Attack

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අත්හිටවිය යුතු ඇයි?

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම අර්බුදය දිග්ගැසෙමින් ඇති අතර ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය වර්ජනය කර තිබේ. ඒ අනුව මෙම සතියේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ ද නැත.

Sinhala Tamil English Translations and Content Writing

මෙම තත්වයට හේතු වූයේ අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් පැවැත්වෙන තේරීම් කාරක සභාව ඉදිරියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නොසැලකිලිමත්කම හෙළිදරව් වීමයි.

ජනාධිපතිවරයා විසින් නොසැලකිලිමත්කම පිළිබඳ වගකීම පටවා ඉවත් කරන ලද නිලධාරීන් දෙදෙනෙකු වන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාගේ නොසැලකිලිමත්කම හෙළිදරව් කිරීම සමග ඔහු උරණ වී තිබේ. එහෙත්, ජනාධිපතිවරයා සේ ම මෙම නිලධාරීන් ද ක්‍රියා කර ඇත්තේ නොසැලකිල්ලෙනි. ඔවුන් මේ අවස්ථාවේ ජනාධිපතිවරයා පාවාදීමෙන් ජනාධිපතිට විරුද්ධ පාර්ශ්වවල උවමනාවන් වෙනුවෙන් පාවිච්චි වෙයි.

ජනාධිපතිවරයා යනු පසුගිය ඔක්තෝබර් 26දා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු කර අසාර්ථක වීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ සමග දමාගත් හොර ඩීල් එකක් හරහා බලය රැකගෙන සිටින පුද්ගලයෙකි.

එවැනි අයකුගේ වගකීම් විරහිත ස්වභාවය හෙළිදරව් කිරීම සඳහා තේරීම් කාරක සභා පත් කිරීම ප්‍රසිද්ධියේ නිරුවතින් සිටින අයෙකු ඡායාරූපයටත් නැගීම වැනි දෙයකි.

මෙම තේරීම් කාරක සභාවෙන් නැතිවෙන්නට අමුතු ලජ්ජාවක් නැති ජනාධිපතිවරයා මෙවැනි විපරීත චර්යාවල යෙදීම පුදුම විය යුතු තත්වයක් නොවේ.

ව්‍යවස්ථානුකූලව, පාර්ලිමේන්තු බලයට මෙසේ අභියෝග කිරීමේ හැකියාවක් ඔහුට නැත. ඔහු කෙතරම් වගකීම් විරහිත පුද්ගලයකු ද යත් ඔහුගේ රාජ්‍ය පාලන වගකීම් පවා නොතකා හැර කැබිනට් මණ්ඩලය වර්ජනය කිරීමට ඔහු සූදානම් ය.

එබැවින් ⁣පාර්ලිමේන්තුව මෙම තේරීම් කාරක සභාව අත්හළ යුතු ය. ඒ සම්බන්ධ තත්වයේ පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුවට සිදු කළ හැකි ය. මෙම තේරීම් කාරක සභාවෙන් රටට සිදු වන විශේෂ සෙතක් නැත. මේ වන විට එයින් හෙළිදරව් වීමට අලුත් කාරණා ද නැත. ජනාධිපතිගේ රෙදිත් දැන් ගැලවී හමාර ය. තේරීම් කාරක සභා සාමාජිකයන් පරිණත අන්දමින් කටයුතු කර ද නැත. පාර්ලිමේන්තුවේ එහෙමට පරිණත මන්ත්‍රීවරු ද නැත. ඔය තේරීම් කාරක සභාවෙන් එක්සත් ජාතික පක්ෂයටවත් පිරිසිදු වෙන්නට බැරි ය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිදු වූ විනාශය සම්බන්ධයෙන් සමස්ත ආණ්ඩුව ම වගකිව යුතු ය. මේ තේරීම් කාරක සභාවෙන් විපතට පත් ජනයාට කිසිවක් ලැබෙන්නේ නැත.

ශ්‍රී ලංකාවට මේ මොහොතේ තිබෙන මූලික කාර්යය වන්නේ අප්‍රේල් 21 ප්‍රහාරවලින් බිඳවැටුණු සමාජ ආර්ථික තත්ත්වයන් යථා තත්ත්වයට පත්කිරීමයි. එසේ නොමැති වුවහොත් රටේ ජනතාවට දැඩි දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වනු ඇත. පාලකයන් කළ යුත්තේ අලුත් අර්බුද හදාගැනීම නොව ජනාධිපතිවරණය දක්වා ඉදිරි මාස කීපය හැකි තරම් අඩුවෙන් අර්බුද හදාගනිමින් පියමං කිරීමයි.

පාර්ලිමේන්තුව වගකීම්සහගතව කටයුතු කරමින් වගකීම් විරහිත ජනාධිපතිවරයාගේ විනාශකාරී බලයට අභියෝග නොකර මෙම තේරීම් කාරක සභාව අත්හිටුවීම මෙම අවස්ථාවේ ගත හැකි බුද්ධිමත් පියවරකි.