Galle Literary Festival

ගාලු සාහිත්‍ය උලෙළේ සිංහල දිනයට අපත් එනවා, ඔබත් එන්න

අජිත් පැරකුම් ජයසිංහ ( ගාලු සාහිත්‍ය උලෙළේ සිංහල දිනයේදී මාත් මගේ සත්‍ය අත්දැකීමක් පාදක කරගත් කේපොයින්ට් නවකතාව ගැන කතා කරනවා. ඒ ගැන විස්තර මෙතනින් >> )

ගාලු සාහිත්‍ය උලෙළ සමාරම්භ වුණේ 2007දී යි. එහි සමාරම්භකවරයා වුණේ ඕස්ට්‍රේලියානු ජාතික හෝටල් ව්‍යාපාරිකයකු සහ සාහිත්‍ය ලෝලියකු වන ජෙෆ්‍රි ඩොබ්. අද වන විට එය ලොව පුරා ගත් කතුවරුන්ගේ හා සාහිත්‍ය ලෝලීන්ගේ අවධානය දිනාගත් උත්සවයක්. එය තමයි ලංකාවේ පැවැත්වෙන එක ම ජාත්‍යන්තර සාහිත්‍ය උලෙළ.

Sinhala Tamil English Translations and Content Writing

ගාලු සාහිත්‍ය උලෙළයම් පසුබෑම්වලට ද ලක් වී තිබෙනවා. 2011 උලෙළට පැමිණීමට නියමිතව සිටි ප්‍ර‍වීණ ගත්කතුවරුන් පිරිසක් ශ්‍රී ලංකා රජය ජනමාධ්‍යකරුවන්ට පහර දීම හෙළා දකිමින් එය වර්ජනය කළා. 2013දී ජෙෆ්‍රි ඩොබ්ගේ අසනීප තත්වය නිසා උලෙළ සංවිධානය කරන්නට බැරි වුණා. මෙවර ගාලු සාහිත්‍ය උලෙළ පැවැත්වෙන්නේ 10වන වතාවටයි.

එහි වැඩසටහන් පැවැත්වෙන්නේ 1988දී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් බවට පත් කරන ලද ලන්දේසි කාලේ ගොඩනගන ලද ගාලු කොටුවේ සහ ඒ අවට යි. මෙවරත් සම්භාව්‍ය සාහිත්‍යවේදීන් රැසකගේ සහභාගිත්වයෙන්, ක්‍රියාකාරකම් රැසක් සහිතව ගාලු සාහිත්‍ය උලෙළ 2019 ජනවාරි 16 සිට 20 දක්වා දින පහක් පුරා පැවැත්වෙනවා.

ගාලු සාහිත්‍ය උලෙළ පොදුවේ ගත් කල ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ලෝලීන්ට හෝ ගාල්ලේ ජනතාවට බලපෑමක් සහිත අවස්ථාවක් නොවෙයි. එහි ප්‍රවේශ පත්‍ර‍වල මිළ ලංකාවේ සාමාන්‍ය සාහිත්‍යකරුවන්ට හෝ සාහිත්‍ය ලෝලීන්ට දරාගත හැකි මට්ටමක නැහැ. එබැවින් එය බොහෝ විට ඉහළ පෙළේ සංචාරකයන්ට හා ලංකාවේ ඉහළ පැළැන්තියේ අයට සීමා වෙනවා.

මේ හේතුව නිසා, මෙයට පුංචි ශ්‍රී ලාංකික සාහිත්‍ය හිමිකාරිත්වයක් දෙන්නට වසර කීපයක සිට සංවිධායකයන් උත්සාහ කරනවා. ඒ අනුව එයට සමාන්තරව සිංහල දිනයක් හා දෙමළ දින භාගයක් පැවැත්වෙනවා. එය හොඳ දෙයක්. එහෙත්, ගාලු සාහිත්‍ය උලෙළේ තිබෙන ප්‍රභූ ලක්ෂණ නිසා එයට සහභාගි වන්නට ඇතැමෙකු බියක් දක්වනවා.

මෙවර සිංහල දිනය පිළිබඳ විස්තර මෙහෙමයි:

2019 ජනවාරි 19 දා පෙ.ව. 09.00 සිට ගාල්ල Jetwing Lighthouse හෝටලයේදී පැවැත්වේ. සිංහල දින වැඩසටහන සඳහා ඇතුළුවීම සම්පූර්ණයෙන් ම නොමිළේ ය.

පෙ.ව. 9.00 – පෙ.ව. 10.30

නූතන ම සිංහල කවියේ අද්‍යතන සමාජ පිළිබිඹු
-රුවන් බන්දුජීව
-ළහිරු කිතලගම
-කල්පනා ඇම්බ්‍රෝස්
-මෙහෙයවීම : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

පෙ.ව. 10.45 – ප.ව. 12.15
අතීතය සහ මතකය : සිංහල සාහිත්‍යයේ ස්ව ජීවන අත්දැකීම් 
-ශාන්ති දිසානායක 
-අජිත් පැරකුම් ජයසිංහ 
-සහන් කසීර වික්‍රමසිංහ 
-මෙහෙයවීම : අනෝමා රාජකරුණා

ප.ව. 1.00 – ප.ව. 3.00 
ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත ලේඛක මඩුල්ල සමග සංවාදය
-අරුණ ප්‍රේමරත්න 
-සේපාලි මායාදුන්නේ 
-පී. බී. ජයසේකර 
-පද්මිණී සෙනවිරත්න 
-තරංගනී රෙසිකා ප්‍රනාන්දු 
-මෙහෙයවීම : ආචාර්ය ජයලතා මැදවත්ත

ප.ව. 3.15 – ප.ව. 4.45
ලාංකේය වේදිකාව අභියස නාට්‍ය පරිවර්තන : බහුමානික විමසුමක් 
-අශෝක හඳගම 
-කෞෂල්‍යා ප්‍රනාන්දු 
-අචින්ත්‍ය බණ්ඩාර 
-මෙහෙයවීම : ප්‍රියන්ත ෆොන්සේකා

ගාලු සාහිත්‍ය උලෙළේ සිංහල දිනයේදී මාත් මගේ සත්‍ය අත්දැකීමක් පාදක කරගත් කේපොයින්ට් නවකතාව ගැන කතා කරනවා. ඒ ගැන විස්තර මෙතනින්.

ගාලු සාහිත්‍ය උලෙළේ වර්තමානයේදී අනුග්‍ර‍හ දක්වන්නේ ෆෙයාවේ සමාගමයි. එහි සිංහල හා දෙමළ දින සාර්ථක අන්දමින් ඉදිරියට ගෙන යාමට නම් ඔබේ පැමිණීම අත්‍යවශ්‍යයි. 19දා එන්න.