ඊශා කප්පරගේ

1980ගණන්වල අගදී දිනෙක ගීත රචක අජන්තා රණසිංහ සිය බිරිඳ රෝහල්ගතව සිටියදී ලියූ කවියක්. පැරණි සිළුමිණ පුවත්පතක පළ වී තිබී හමු විය.

අහස නිල්ල ලේ පාටින් වසාගෙන‍
සවස් වෙන්න එනවා ඉර හැරීගෙන
සහස් වරුසයක් සේ මට දැනීගෙන
දවස් හය හතක් ගෙවුණා හඬාගෙන

නිදුක් නිරෝගී අම්මා නුඹේ පුත
ලෙඩක් ව්‍යාධි වැළඳී රෝහලේ ඇත
ගෙයක් ගෙමිදුලත් ගොම්මන් සැඳෑ මත
මමත් නුඹත් අක්කත් තනි වෙලා ඇත

නුඹෙ ඇඟ සෝදන්න ජංගිය අන්දන්න
කොණ්ඩය ජෑක් පීරා හැඩ කරවන්න
අම්මා ඉන්දෙද්දී කළ ඒ වැඩ ගොන්න
දන්නා කෙනෙක් නැහැ පුත නුඹ ගැන දන්න

නුඹ ළං කරන් කිරි ටික පොවනා දෑත
අද නැහැ නිසොල්මන් නිවසේ ළඟපාත
ගෙයි දොර ජනෙල් පුටු අල්මරි මිස හීත
උණුසුම් නිවස අද ඉන්නේ දුර ඈත

අම්මා නිරෝගිව උන් දිනවල ගෙදර
ඇත්තට අපූරුයි කලබල අඬදබර
පුත නුඹ නොදනිතත් තාමත් හය හතර
ඔය පොඩි හිතට දැනුණි ද වෙනසක් ගෙදර

සම්මා සම්බුදුන් සරණින් ඇය එන්නේ
ඒ වන තුරු පුතුට මං තුරුළුව ඉන්නේ
අම්මා ගයන නැළවිලි මා නැහැ දන්නේ
දන්නා කවි කියමි – පුත නිදියාපන්නේ

– අජන්තා රණසිංහ

අජන්තා රණසිංහයන් 74වන වියේදී 2016 පෙබරවාරි 27දා මිය ගිය අතර ඔහුගේ බිරිඳ සරෝජිනී රණසිංහ මීට දෙවසරකට ඉහතදී මිය ගියා ය. ඔවුන් දෙපළගේ මෙම ඡායාරූපය සහන් කසීර වික්‍රමසිංහගේ ෆේස්බුක් පිටුවෙන් ලබාගන්නා ලදී.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: