Sajith and Anura

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයත් සමග එක්වීම හෙවත් කොරා පිට අන්ධයා නැගීම

අජිත් පැරකුම් ජයසිංහ

මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ.

ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ හා ජාජබ සමග විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පෙන්වූ ජවනිකාව ද එහි කොටසකි. විමල් වීරවංශ සිය ආවේණික ලක්ෂණයක් ප්‍රදර්ශනය කරමින් සුපුරුදු පරිදි ඉතා අවමන් සහගතව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගැන කතාකළ මුත්, පාර්ලිමේන්තු වර්ජනයට සහභාගී නොවූයේ සජබ හා ජාජබ වෙතින් එක්ව ගමනකට ආරාධනා නොලැබුණ නිසා විය හැකිය. චම්පික රණවක, කුමාර් වෙල්ගම වැනි තනි අලි රැල්ලට ඔහේ පාවී යන රොඩුකෑලි නිසා ගණන් ගත යුතු නැත. ඔවුන් ඊළඟ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන ක්‍රමයක් සොයාගත යුතුය.

ඊයේ සජිත් ප්‍රේමදාස සජබ හා ජාතික ජන බලවේගයත් සමග පාර්ලිමේන්තුවෙන් පිටවන්නේ පාර්ලිමේන්තු දේශපාලනයේ දැවැන්තම පරාජයකුත් සමගය. එනම්, සජබ වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර ඉදිරිපත් කළ 21වන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලැබුණු තීන්දුව. ඔවුන් පිටවෙන්නෙ ඒ ලැජ්ජාව වහගන්නත් එක්ක.

සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය තේරුම්ගන්න එක ටිකක් Zස්කෝර් එක හදන විදිය තේරුම්ගැනීම වගේ අමාරු වැඩක්. මීට සති කීපයකට උඩදි ඔහු සිවිල් සමාජයේ පිරිසක් සමග පැවැත්වුණ සාකච්ඡාවකදී කිව්වෙ ඔහු සංවරණ හා තුලන සහිත විධායක ජනාධිපති ක්‍රමයකට පක්ෂ බවයි. ඔහු වටා ඉන්න රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිටියාස් බකීර් මාකර්, ලක්ෂ්මන් කිරිඇල්ල, සරත් ෆොන්සේකා, හර්ෂ ද සිල්වා වැනි අය කරන්නේ ඔවුන්ට හිතෙන දේ. සජිත් ප්‍රේමදාස කරන්නේ ඔහුට හිතෙන දේ. මේ පක්ෂයට පොදු අරමුණක්, වැඩපිළිවෙලක් තිබෙනවාද කියන එක සැකසහිතයි.

ජාතික ජන බලවේගයත් ඊට දෙවෙනි නැහැ. ඔවුන් වැඩකරන්නේ ඊළඟ මහමැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමේ පරම අරමුණින්. ඔවුන් සිය උපායමාර්ග, ශක්තිය, මානව හා භෞතික සම්පත් ආදී සියල්ල ඒ වෙනුවෙන් යොමුකර තිබෙනවා. සජබ දියවී ගොස්, ප්‍රබල ආණ්ඩු විරෝධී රැල්ලක් ඇතිවුණොත් ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්නට පුළුවන්. එතෙක් ඔවුන් කරන දේ ලොකු තේරුමක් නැහැ.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයත් සමග එක්වීම කොරා පිට අන්ධයා නැගීම වැනි දෙයක්. යන්න පුළුවන් ගමනක් නැහැ.

ඔවුන්ගේ අලුත්ම ජවනිකාව ඔවුන් රඟදක්වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේයි. ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ තමනුත් ඉන්නා බව පෙන්නීමටයි. එහෙත්, ඔවුන්ට ප්‍රබල හඬක් නැති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා හා ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ වැඩසටහන කියන මූලික කාර්යයන් දෙකට එහි බලපෑමක් නැහැ.

ඔවුන් කියන්නේ ආර්ථික ප්‍රශ්නවලට රජයට විසඳුම් නැති බවයි. එය ඇත්තකි. මේ තියෙන ප්‍රශ්නවලට මේ සතියේ ලබාදිය හැකි විසඳුමක් නැත. තෙල් ගෙන්නන්නට ඩොලර් නැත. ක්ෂණිකව ඩොලර් මවන්නට සජිත්ට හෝ අනුරට ද බැරිය.

පෝලිම්වලට බිය විය යුතු නැත. එසේම සජිත් හෝ අනුර පෝලිම් ගැන අහස උසට බලාපොරොත්තු තබාගැනීම ද තේරුමක් නැත.

ලංකාවේ මධ්‍යම පන්තිකයන්ගේ මනස නියෝජනය කරන සංකේතයක් වන්නේ මැයි 9දා සිදුවීම්ය. එහිදී වෙනත් අය විසින් නිර්මාණය කරනු ලබන, තමන්ට අවදානමක් නොමැති ප්‍රචණ්ඩත්වයක සිරි සමාජ මාධ්‍ය හරහා නරඹන්නට ඔවුන් ඉතා කැමතිය. ඔවුන් අත ඉතුරුම් තිබේ. ඒ නිසා ඔවුන්ට තවමත් හොර පාරෙන් වැඩි මිලට ඉන්ධන ලබාගන්නට පවා බැරිකමක් නැත. ඒ නිසා ඔවුන්ට තවමත් ප්‍රශ්න විසඳාගැනීමටත් වඩා පළිගැනීමේ මානසිකත්වය තෘප්ත කරගැනීම වැදගත්ය. එහෙත්, දිළිඳු ජනයාගේ තත්වය එය නොවේ. ඔවුන් සිටින්නේ කෝපයෙන් බව ඇත්තය. එහෙත්, ඩෙස්පරේට් හෙවත් බලාපොරොත්තු සුන්වූ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමට ඔවුන් ලෙහෙසියෙන් ඉදිරිපත් වන්නේ නැත. එයට හේතුව, වැටෙන්නට පැදුරෙන් බිමට මිස අන් තැනක් නැති ඔවුන්ට පහසුවෙන් තිබෙන තත්වයට හැඩගැසිය හැකිය.