A.L.M. Athavulla with Mahinda

රතන හිමි, දේවානන්දා, පිල්ලෙයන්, අතාවුල්ලා, අංගජන් සමග හැදෙන තුනෙන් දෙක

2020 පාර්ලිමේන්තු මැතිවරණය බොහෝ ප්‍රමාදයන්ගෙන් පසුව අවසන් වී තිබේ. නැවත වතාවක් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් හිමි ආණ්ඩුවක් බලයට පත් වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 128ක් ජයගෙන ජාතික ලැයිස්තුවේ ආසන 17ක් සමග ආසන 145ක් දිනාගෙන තිබේ.

ඩග්ලස් දේවානන්දා

ඔවුන් සමග සමීපව ක්‍රියා කරන පක්ෂ අතරින් ඩග්ලස් දේවානන්දා නායකත්වය ඊලාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය (EPDP) ආසන දෙකක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම යාපනය දිස්ත්‍රික්කයෙන් තරග කර එක් ආසනයක් ද, අතාවුල්ලා නායකත්වය දෙන ජාතික කොංග්‍රසය දිගාමඩුල්ලෙන් එක් ආසනයක් ද, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයන් නායකත්වය දෙන දෙමළ මහජන විමුක්ති කොටි (TMVP) මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් ද, අතුරලියේ රතන හිමි නායකත්වය දෙන අපේ ජන බල පක්ෂය ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක් ද දිනාගෙන තිබේ.

පිල්ලෙයන්

මේ සමග ආණ්ඩුවට ආසන 151ක තුනෙන් දෙකේ බලයක් හිමි වන බව පෙනේ.

සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයන් 2015 ඔක්තෝබර් මාසයේ සිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියි. ඒ 2005 දෙසැම්බර් මාසයේදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ය.

රාමනාදන් පිය පුතු මහින්ද සමග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසනයක් හිමි වී තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රී අංගජන් රාමනාදන් තේරී පත් වී තිබේ. රාමනාදන්ගේ පියා බැසිල් රාජපක්ෂගේ සමීප හිතවතෙකු බව වාර්තා වේ.

එසේම, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරයා මෙන් ම, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතරින් ඇතැමෙකු ද තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට ලබා දීම සඳහා එකතු වීමට ඉඩ තිබේ.

මුස්ලිම් විරෝධීභාවය හේතුවෙන් බොහෝ විට අතාවුල්ලා හෝ වෙනත් මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් කර නොගැනීමට ඉඩ තිබේ.

තමිල් මක්කල් තේශීය කුට්ටනි පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත් වී සිටින විග්නේශ්වරන්ගේ සහයෝගය ද ආණ්ඩුවට ලැබෙන්නට ඉඩ තිබේ.

කරුණා අම්මාන් තරග කළේ අහිලා ඉලංකයි තමිල් මහාසභා නම් පක්ෂයකින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට ය. එහෙත්, ඔහු තේරී පත්වන්නට අසමත් වී තිබේ. ඔහුගේ පක්ෂය ඡන්ද 29,000කට වඩා ලබාගෙන තිබේ.

(මුල් ඡායාරූපයේ සිටින්නේ ඒ.එල්.එම්. අතාවුල්ලා ය.)

Translations