Ekneligoda family

ප්‍රගීත් එක්නැලිගොඩට ඇත්තට ම මොකක්ද වුණේ?

සන්ධ්‍යා එක්නැලිගොඩ

2010 ජනවාරි 24 ප්‍රගීත් ගෙදරින් පිටවුණා. “වැඩ වගයක් තියෙනවා. හවස කැලනිය පන්සලේ සරත් ෆොන්සේකා වෙනුවෙන් පිංකමක් තියෙනවා. ඒකටත් සහභාගි වෙලා එන්නම්. හෙට ඉඳන් ඔයාගෙ වැඩවලට උදව් කරන්නම්,” කිව්වා. ඒ තමයි මා අන්තිමට අහපු ඔහුගෙ හඬ.

Translations by Creative Content Consultants

2009දි ප්‍රගීත් පැහැරගෙන ගිහින් නිදහස් කළාට පස්සෙ අපි ආරක්ෂිත ක්‍රම පාවිච්චි කළා. මම ප්‍රගීත් ගැන සොයා බැලුවා. එදා මං ප්‍රගීත්ට කතා කළාට දුරකථනය විසන්ධි වී තිබුණා.

එදා දවසෙ ප්‍රගීත් පැහැරගෙන ගියේ කවුරුද කියන එක 2015 වෙනකල් ම අභිරහසක්ව තිබුණා. 2015දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත්තා, ප්‍රගීත් පැහැරගෙන ගියේ හමුදා බුද්ධි අංශ පිරිසක් විසින් බව. ගෝඨාභයගෙ අණින් තමයි එය කර තිබෙන්නේ.

දැනට හඳුනාගෙන, අධිකරණයට ඉදිරිපත් කර, ඇප මත නිදහස් කර තිබෙන හමුදා නිලධාරීන් හා ප්‍රගීත් අතර කිසිදු සම්බන්ධයක් තිබුණෙ නැහැ. ඔවුන්ට එසේ කරන්නට හේතුවක් තියෙන්න ඇති. පැහැරගෙන ගොස් කප්පම් ගැනීමට කළා වෙන්න බැහැ. ඔහු දුප්පතෙක්. ප්‍රබල නිලධාරියෙකු එයට අණ කරන්නට ඇති. මෙම සැකකරුවන් දැන් නැවත සේවයේ පිහිටුවා තිබෙනවා.

ඔහු පැහැරගෙන යාමට ප්‍රධාන දේශපාලන හේතුව තමයි රාජපක්ෂලාට විරුද්ධව ලිවීම, ඔවුන්ට අභියෝග කිරීම හා සරත් ෆොන්සේකා වෙනුවෙන් වැඩ කිරීම.

අතුරුදහන් වීමට දවස් කීපයකට පෙර රාජපක්ෂගේ මරණ ලැයිස්තුවේ තමන්ගෙ නම තිබෙන බව කිව්වා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙ මට්ටමෙන් උපරිම අන්දමින් පරීක්ෂණ කළා. ඔවුන්ට වැඩිපුර තිබුණෙ දුරකථන තොරතුරු වැනි පර්යේෂණ සාක්ෂි.

යහපාලන ආණ්ඩුව බලයට ඒමට මෙම ප්‍රශ්නය පාවිච්චි කළා. මෛත්‍රීපාල සිරිසේන බලයට එන්නට මැතිවරණ වේදිකාවේ විකුණපු මට හෝ මගේ ළමයින්ට හෝ පසුගිය වසර පහ තුළ ඔහු හමුවන්නට අවස්ථාවක් දුන්නෙ නැහැ. ඒත්, අපරාධකරුවන්ට ඒ අවස්ථා ලැබුණා. අගමැති රනිල් වික්‍රමසිංහත් සීතල ප්‍රතිචාරයක් තමයි දැක්වූයේ.

මෙම සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි විනිසුරුවරයාට බැනවැදුණා. මා ඒ දෙස බලා සිටින විට මා අසලට පැමිණ “තෝ දැනගනින්. තොගෙ මිනිහා කොටියෙක්. තෝ පල හිඟාකාපිය,” කිව්වා. මට ගහයි කියලා බය වෙලා මා ගිහින් මහේස්ත්‍රාත්තුමාට කිව්වා. පසුව පොලිසියට පැමිණිලි කළා. මේ සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ලැබූ ඥානසාර හිමියන්ව ජනාධිපතිවරයා සමාවක් දී නිදහස් කළා.

මෙම සටහන සඳහා උපයෝගී කරගන්නා ලද වීඩියෝව මෙතැනින් නරඹන්න