Piliyandala market

කොරෝනාවෙන් බේරී නිවැරදිව කඩේ යන හැටි

ඊශා කප්පරගේ

ඇඳිරි නීති ඉවත් කිරීමත් සමඟ අප ගමන් බිමන් යාම විශාල ලෙස වැඩිවෙනවා. මේ නිසා ඉදිරියේදී ⁣කොරෝනා පැතිරීම වැඩි වෙන්නටත් ඉඩ තියෙනවා. අප කොරෝනාවලට බිය වුවත් ඒ සමඟ ජීවත් වීමටත් හුරු විය යුතුයි. ඉන් බේරීමට උපරිම වශයෙන් උත්සාහ කිරීම වැදගත්. එය සමාජ වගකීමක්. හේතුව අප රෝගීන් වන හැම විටම රෝග වාහකයන් ද වන නිසායි. කොරෝනා වයිරසය සමග ජීවත් වන ප්‍රායෝගික ආකාරයන් අප විසින් ම නිර්මාණය කරගත යුතුයි. පහත සාකච්ඡා කරන්නේ අපට ගත හැකි පියවර කීපයකුයි. අප පරිස්සම් වන්නේ ජීවී ශරීර කොටසක් මගින් හෝ අජීවී මතුපිටකින් හෝ අප තුළට වයිරසය ඇතුළු වීම වළක්වාගැනීමටයි.

  1. ඔබට උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් වෙළඳසල්වලට යන්නට එපා.
  2. ඔබ මාසික ආදායම් ලබන කෙනෙක්නම් මසකට සෑහෙන කෑම බීම එකවර, එක් අයෙක් ගොස් ගෙන එන්න. ඒ සඳහා බඩු ලැයිස්තුවක් පවුලේ සැම එක්ව සකස් කරන්න. වෙළඳපොළට යන වාර ගණන හැකි තරම් අවම කරන්න.
  3. ඔබට අවශ්‍ය දේ පමණක් මිල දී ගන්න. එය ඔබගේ ජාතික වගකීමකි.
  4. මේ දිනවල ඇඳුම් පැළඳුම් මිල දී ගැනීම අවදානම් සහගතයි. ඒවා බොහෝ අය ස්පර්ශ කර තිබිය හැකියි. ඇඳුම්, පැළඳුම් මිල දී ගන්නේ නම්, කඩයේදී ඒවා ඇඳ බලන එක අවදානම්. මිල දී ගත් ඇඳුම් වේලා හෝ සෝදා හෝ පරිහරණය කරන්න.
  5. බඩු ලැයිස්තුව සැකසීමේදී ගෙදර සිටින කුඩා දරුවාගේ අදහස් ද, වයසක මව, පියා, ආච්චි අම්මා, සීයා ද වැදගත්. දරුවන්ට වැදගත් කෑම, වියපත් උදවියගේ අවශ්‍යතා අප අතින් ගිලිහී යා හැකියි. මෙසේ කිරීමෙන් විටින් විට කඩේ යන්න වෙන්නේ නෑ. එවිට කොරෝනාට ගෙදර එන්න තියෙන සම්භාවිතාව අඩුයි (හැබැයි ඉතින් සල්ලිත් ති‍යෙන්න ඕනැ).
  6. නිවැරදිව මුහුණු ආවරණයක් භාවිතා කිරීමෙන් අමතර ආරක්ෂාවක් ලැබේ. නිවැරදිව මුහුණු ආවරණයක් භාවිතා කරන හැටි මෙතනින් කියවන්න හරියට මාස්ක් දාන හැටි>>
  7. බඩු ගෙන ඒම සඳහා නැවත පාවිච්චි කරන රෙදි බෑග් භාවිතා කරන්න. මෙම තත්වය තුළ ප්ලාස්ටික්, පොලිතින් භාවිතය වැඩිවෙන්නට ඉඩ තියෙනවා. ඔබ එයට දායක වෙන්න එපා. බඩු ගෙන ආ පසු මෙම මලු ද සෝදා වේලා ගන්න.
  8. යන්නේ තමන්ගේ වාහනයක නම්, පරණ රෙද්දක් රියදුරු අසුනට එළන්න. මේ රෙද්ද එළන්නට ඕනැ කඩයට යන කෙනාගේ අසුනට බවත් මතක තබාගන්න. ඩිකියට පත්තර එළන්න.
  9. ඔබ පෝලිමක සිටගෙන සිටින විට, ඔබ සහ අනෙකුත් පාරිභෝගිකයන් අතර අඩු වශයෙන් මීටර් එකක පරතරයක් තබාගන්න. 
  10. වෙළඳසලට ඇතුළු වන විට, විෂබීජ නාශක ද්‍රාවණයක් භාවිතා කර දෑත් පිරිසිදු කරන්න. දෑත් සේදීමෙන් වයිරසය ව්‍යාප්තිය සාර්ථක ලෙස මැඩලිය හැකි බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ.
  11. හේතුවක් නොමැතිව ඇස් සහ නාසය ඇල්ලීමෙන් වළකින්න. එසේ ඇල්ලීම වයිරසය පැතිරීමට හේතු වේ.
  12. වෙළඳසල්වල පෝලිමේ සිටින විට වැඩිහිටියන්ට ඉදිරියට යාමට ඉඩ දෙන්න. කොවිඩ්-19 වයිරසය නිසා ඔවුන් අනෙක් අයට වඩා දැඩි ලෙස අසනීප වීමේ ඉඩක් තිබේ.
  13. වෙළඳ පොළෙහි දී කෙනෙකු සමඟ මුහුණට මුහුණ ළං නොවන්න වගබලා ගන්න. බඩු රාක්කවල ගැටීම අවම කර ගන්න. භාණ්ඩ හැකි තරම් අඩුවෙන් අල්ලන්න.
  14. මුදල්, ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් ආදියෙන් ද කොරෝනා වයිරසය පැමිණිය හැකි බව දැනුවත්ව කටයුතු කරන්න.
  15. නිවසට පැමිණි පසු ඇඳසිටි ඇඳුම් සෝදා ස්නානය කරන්න. සෙරෙප්පු, සපත්තු සෝදන්න, නැත්නම් තද අව්වේ තබන්න. ඉහත කී පරිදි අසුනට දැමූ රෙද්දත් සෝදන්න. එවිට අසුන ආරක්ෂිතයි. භාණ්ඩ පිටතට ගෙන ඩිකියේ ඇතිරූ පත්තර කසල බඳුනට දමන්න. නැතිනම් පුළුස්සන්න.
  16. වාහනයේ සුක්කානම, දොර අගුලු ආදී ස්පර්ශ කළ තැන් ඇල්කොහොල් සහිත විෂබීජ නාශකයකින් පිසදමන්න.
  17. හැකි තරම් දුරට හාල්, සීනි, පිටි ආදිය පැකට් ලෙස මිල දී ගන්න. ඒවා ගෙදර ගෙනැවිත් පැකේජිං කරන ලද දවටන ඉවත් කර, ආහාර ද්‍රව්‍ය යෝග්‍ය බඳුන්වලට දමා තබාගන්න.
  18. වැඩිපුර ඇති දේ එක් තැනක ගබඩා කරන්න. ඒවා ප්‍රයෝජනයට ගන්නා හැම අවස්ථාවේදීම දෑත් සෝදන්න. උදාහරණයක් ලෙස බිස්කට් පැකැට්ටුව කඩා බඳුනකට දමා දෑත් සෝදා ගන්න. කිසි විටෙක දරුවන් අතට පැකැට්ටුව පිටින් කිසිවක් දෙන්න එපා.

මේ කුමන අයුරකින්වත් ඔබට 100%ක් කොරෝනා වයිරසයෙන් බේරී සිටිය නොහැකි බව ද අවබෝධ කරගන්න. එහෙත්, බියවෙන්න එපා.

Translations