Shukra Munawwar

අජිත් පැරකුම් ජයසිංහ

ශුක්‍රා මුනවර් කියන උසස් පෙළ පන්තියක අධ්‍යාපනය ලබන මුස්ලිම් දැරිය මේ දිනවල ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියයි. ඇය ජනප්‍රිය වුණේ සිරස ලක්ෂපති වැඩසටහන හරහායි.

ශුක්‍රා මුනවර් ජනප්‍රිය වන්නට ප්‍රධාන හේතුවක් වන්නේ ඇය මුස්ලිම් දැරියක වීමයි. ඇගේ භාෂා හැකියාව, අදහස් ඉදිරිපත් කිරීම, හැසිරීම් රටා, අදහස් ආදිය හේතුවෙන් බහුතර සිංහල සමාජය විස්මයට පත් වී තිබෙන බවක් පෙනෙනවා.

Translations by Creative Content Consultants

මෙවැනි දක්ෂ දරුවන් සෑම සමාජයකම ඉන්නවා. ඒත් ශුක්‍රා මුනවර් අප විස්මයට පත්කළේ ඇයි? එය අපේ ගැටලුවක්. එම ගැටලුව ඇසුරෙන් මා ඔබට ඉදිරිපත් කරන්නේ ඒකාකෘති සංකල්පයයි. එයට ඉංග්‍රීසියෙන් කියන්නේ stereotype කියායි. ඒකාකෘති කියන්නේ මිනිස් කණ්ඩායම්වලට හෝ පුද්ගලයන්ට ඔවුන් අයත් වන ජනවර්ගය, ආගම, ජාතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව සමාජය විසින් පවරා දෙනු ලබන ලක්ෂණයි. විවිධ මිනිස් කණ්ඩායම්වලට සම්බන්ධ ඒකාකෘති තිබෙනවා.

අපගේ සමාජයේ කෙනෙකුගේ හැසිරීම, කතාකිරීම, ඇඳුම් ඇඳීම, ඉගෙනීම, කළ යුතු රැකියාව ආදිය ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ජනවර්ගය, වයස ආදී සාධක අනුව නියම වී තිබෙනවා. මෙවැනි ඒකාකෘති මාධ්‍ය විසින් තහවුරු කරනවා.

ශුක්‍රා මුස්ලිම් ගැහැණු ළමයකු නිසා ඇය ලජ්ජාශීලී, ඉදිරියට නොපැමිණෙන, ඍජුව අදහස් පළ නොකරන, සමාජ දැනුමින් අඩු, හොඳින් සිංහල කතා කළ නොහැකි, දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන, සිංහල සංස්කෘතිය ගැන එතරම් අවබෝධයක් නොමැති අයෙකු විය යුතු යයි අප සිතනවා. ඒ තමයි, මුස්ලිම් ගැහැණු ළමයකු පිළිබඳ සිංහල සමාජයේ තිබෙන ඒකාකෘති අදහස. ශුක්‍රා සිරස ලක්ෂපති වැඩසටහනේදී මිලියන දෙකක් දිනාගැනීමට හෝ දිනා නොගැනීමට අමතරව කරන දෙයක් තිබෙනවා. ඒ තමයි, මුස්ලිම් ගැහැණු ළමයා පිළිබඳ සමාජ ඒකාකෘති පුපුරුවා හරින එක. එය බිලියන ගණනක් වටිනා ක්‍රියාවක්. මෙය සිංහල සමාජයට විතරක් නෙමෙයි, ලංකාවේ මුස්ලිම් සමාජයටත් මුස්ලිම් ගැහැණු ළමයා ගැන නැවත සිතන්නට පොළඹවන අවස්ථාවක්.

සිරස ලක්ෂපති වැඩසටහන මෙහෙයවන චන්දන සූරියබණ්ඩාරගේ මෙහෙයවීම තුළ ශුක්‍රාට තම සමාජ මැදිහත්වීම සාර්ථක අන්දමින් කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ පිළිබඳ අපි ඔහුටත්, සිරසටත් ස්තුතිවන්ත විය යුතුයි. හානිකර ඒකාකෘති ප්‍රශ්න කරන්නටත්, ඒවාට අභියෝග කරන්නටත් මාධ්‍යවලට පුළුවන්. ඒ වෙනුවට මාධ්‍ය විසින් බොහෝවිට කරන්නේ තිබෙන ඒකාකෘති අදහස් තවදුරටත් වැරගන්වන එකයි. උදාහරණයක් විදියට ටෙලිනාට්‍යවල ඉන්න කොල්ලන්, කෙල්ලන්, දුෂ්ටයන්, අංකල්ලා, ඇන්ටිලා, බබාලා, පොඩි සාදුලා, ලොකු සාදුලා හැමෝටම වගේ තියෙන්නෙ එක වගේ චරිත. සමහර ඒකාකෘති කොයි තරම්ද කියනවා නම්, සමහර නළුවන්ට මුළු ජීවිත කාලය පුරාම රඟපාන්නට වෙන්නෙ එකම චරිතය. දෙනවක හාමිනේ හැමදාම ආච්චි.

සිරස ලක්ෂපති වැඩසටහනේ හොට් සීට් එකට පැමිණීමට වාසනාව හෙවත් අහම්බය බලපානවා. දක්ෂයන් විශාල පිරිසකට සිරස ලක්ෂපති අවස්ථාව නොලැබී යන්නේ අහම්බය නිසායි. ශුක්‍රා සමාජයේ අවධානයට ලක්වන්නට ඇගේ දක්ෂකමට පෙර බලපෑවේ වාසනාව.

ලංකාවේ සමාජයේ අවස්ථා හිඟයි. බොහෝ දක්ෂයන්ට ඉදිරියට යන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අවස්ථා ලබාගන්නට දක්ෂතාව විතරක් මදි. වාසනාවත් අවශ්‍යයි. සමාජයක් දියුණු වන විට, වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු යයි අප කියන්නේ ඒ නිසායි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අවස්ථා සැමට විවෘතයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ජනවර්ගය, ජීවත් වන ප්‍රදේශය වැනි කාරණා මත අවස්ථා සීමා වන්නේ නැහැ. ගාල්ලේ කටුගොඩ උපන් මුස්ලිම් දැරියක වන ශුක්‍රාට සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වීමට ලැබුණු අවස්ථාව ලොතරැයි දිනුමක් වැනි වාසනාවක්. ඒත්, අප දියුණු සමාජයක් නම්, ශුක්‍රාට අනිවාර්යයෙන් ඒ අවස්ථාව ලැබිය යුතුයි. ශුක්‍රා වගේම, එම අවස්ථාව අහිමි වන තවත් දහස් ගණනක් ඇය වැනි නව යෞවනයන්ටත් ඒ අවස්ථාව ලැබිය යුතුයි.

ඒකාකෘති ගැන නැවත අවධානය යොමුකරමු. අප සියලුදෙනා ඒකාකෘති නිර්මාණය කරනවා වගේම ඒකාකෘතිවල ගොදුරු බවටත් පත්වෙනවා. පහත දැක්වෙන ප්‍රකාශවල තිබෙන ඒකාකෘතික අදහස් මොනවාදැයි සිතන්න.

“ගෑනු ළමයි වුණාම දත් පෙන්නලා හිනාවෙන්න හොඳ නැහැ.”
“මුස්ලිම් අය දක්ෂ වෙළෙන්දෝ.”
“දෙමළ මිනිහෙකුට තවත් දෙමළ මිනිහෙකු හමුවුණාම කතාකරන්නෙ දෙමළෙන්.”
“බෙන්තර ගඟට එහාපැත්තෙන් බළල් පැටියෙකුවත් ගේන්න හොඳ නැහැ.”
“මාතර බත්කඩේ.”
“මිටි අයට වඩා උස අය ක්‍රීඩාවට දක්ෂයි.”
“ජෝතිපාලට හොඳ පිරිමි කටහඬක් තියෙනවා.”
“එයා සුදුයි. ඒ නිසා ලස්සනයි.”
“දෙමළ අය කළුයි.”
“පාර්ලිමේන්තුවෙ ඉන්න 225ම අපට එපා.”
“නාකි විසේ ඉහට උසේ.”
“උසස් පෙළට කලා කරන්නෙ ප්‍රතිඵල අඩු අය.”
“එයා ශිෂ්‍යත්වෙ පාස් වුණ ළමයෙක්.”
“ආනන්දෙ ගිය ළමයි දේශප්‍රේමීයි.”

මෙම ලැයිස්තුවට එකතු කළ හැකි තවත් අදහස් කමෙන්ට් ලෙස ලියන්න.

ජීවිතයේදී ඒකාකෘති සාමාන්‍යකරණය වන්නට පුළුවන්. ඒ නිසා අපට පෙනෙන්නෙ, දැනෙන්නෙ නැහැ. එය ස්වාභාවිකයි. එහෙත්, ජනවර්ගය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, වයස, ආගම, ලිංගික නැඹුරුව හෝ ජනවාර්ගික පසුබිම වැනි අනන්‍යතා සලකුණු මත පදනම් වෙලා තීරණ නොගත යුතුයි. තීරණ ගැනීමට ඉඩනොදිය යුතුයි. නිරන්තර ඒකාකෘති මගින් වෙනස්කොට සැලකීම් ඇතිවන්නට පුළුවන්. ඇතැම් විට, එමගින් ප්‍රචණ්ඩත්වය පවා ඇතිවන්නට පුළුවන්. එයට හේතුව වන්නේ අනෙකා අප වැනිම වූ සාමාන්‍ය මිනිසකු ලෙස නොව වෙනත් ‘වර්ගයක’ අයකු ලෙස දැකීමට අප පෙළඹීමයි.

Translations

8 thoughts on “ශුක්‍රා මුනවර් නිසා අපට වෙච්ච දේ

  1. හොඳ ලිපියක්. ‘ඒකාකෘතික’ කියන වචනය දැන ගත්තෙ දැන්.

    ‘මෙම ලැයිස්තුවට එකතු කළ හැකි තවත් අදහස් කමෙන්ට් ලෙස ලියන්න’.
    1. අපි මලක් කැඩුවොත් ගෙම්බෙක් (ඒක අපි, අපි ගැනම කර ගන්නා ඒකාකෘතික නේද. එහි තියෙන negative bias එක නිසයි වැඩියෙන්ම ලිව්වේ).
    2. ලමයි දන්න දෙයක් තියෙනවද, ඒගොල්ලො ඉන්න ඕනෙ අපි (දෙමව්පියො) කියන විදිහට.
    3. අපිට ඕනෙ විදිහට ජීවත් වුනොත්, මේ ගමේ මිනිස්සු අපිට ගල් ගහයි. (අනිත් අයට ඕනෙ විදිහට අපි ඉන්න ඕනෙ කියන අදහස ඒකාකෘතික /fixed view නේද).
    4. වයසට යනකොට බනක් භාවනාවක් කරගෙන ඉන්න ඕනෙ (ඒගොල්ලන්ට fashion කරන්න බැහැ, ඒ වගේම තරුන අය බන භාවනා කරන්න ඕනෙත් නැහැ)
    5. සුද්දො මාර racist.
    6. බටහිර ජාතීන්ට හොඳ පවුල් ජීවිත නැහැ
    7. පෙරලුනු පැත්ත හොඳයි (මේක sure නැහැ ඒකාකෘතිකද කියලා, ගොඩක් අය මේක කිය කිය කිසිදේකට උත්සාහ නොකර ඉන්නව, හැබැයි වෙන කෙනෙක් මහන්සි වෙල යමක් ලබා ගත්තම පැලෙන්න ඉරිසියා කරනවා. ජීවිතය ගැන stereotype එකක් කියලා ගන්න පුලුවන් නේද).

    බලාගෙන යනකොට wiki එකක් හදන්න පුලුවන් stereotypes වලින්.

  2. එයා ජනප්‍රිය වෙලා තියෙන්නේ නම නිසා

  3. Maa mahalu wayase beriya vena gaayana perase . ( tharunam menma niyamata vena wayana mahallo emata ! )
    Roopaya dirai naame nodirai . ( kal yathma oya dekama dirai ! )

  4. මට ඒ දරුව වගේම එහෙම දරුවෙක් හදපු දෙමවුපියො ගැනත් ලකු ගවුරවයක් තියනව.හොඳ පවුල් පරිසරයකින් තමයි ඔහොම නිදහස් අදහස් ප්රකාෂ කරන්න හැකියාවක් ලැබෙන්නෙ කියල මම හිතනව.

  5. Meadinawala ithaa janapriya charithayaki SHUKRA .
    Aeya visin lankieya samajamaya aasthanayak udu yatikuru kalaaya.
    Janathaa sanhindiyaa gena paarambaana lokko , mea lapati lamaya osawaa thaba sanhindiyawa nam woo maanasikaya minisun thula nodenuwathwama roopanaya viemata ida noharinne manda .
    Thetiya rath wemin pawathithdie rotiya pulussa gatha yuthuya .
    Gammediwala roota roota innawata wada eaya uthum kaariyaki .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.