Colombo Port

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගමට හා දේශීය හවුල්කාර සමාගමකට අනුමැතිය ලැබී තිබෙන බව බ්ලූම්බර්ග් ආර්ථික පුවත් සේවය වාර්තා පවසයි. ඒ පිළිබඳ තවත් විස්තර අපේ ඉංග්‍රීසි පුවත් අඩවියේ. මෙතැනින් පිවිසෙන්න: lankamemo.com

අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගම යනු කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට අයත් අදානි සමූහයේ සමාගමකි. මෙම සමාගම විසින් මේ සම්බන්ධ මූලික ගිවිසුමක් පසුගිය රජය සමයේ 2019දී අත්සන් කරන ලදී.

පසුගිය අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට එරෙහිව උද්ඝෝෂණය කළ අතර, මෙම ගිවිසුම නැවත සමාලෝචනය කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම වෘත්තීය සමිතිවලට පොරොන්දු විය. එහෙත්, පොරොන්දුව ලිඛිතව ලබා නොදුන් අතර, රාජ්‍ය නායකයන් සමග සාකච්ඡාවක් සඳහා ගොස් පැමිණීමෙන් පසු වෘත්තීය සමිති නායකයන් ආතතික ස්වරූපයකින් නිහඬතාවක් වෙත යමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවන ලදී.

අදානි සමාගම සම්බන්ධ තීරණයකට එළැඹ තිබෙන්නේ මෙම සමාලෝචනයෙන් පසුව බව වාර්තා වේ.

පසුගිය ජුනි මාසයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක මූල්‍ය ආධාර සැපයීය.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගිවිසුම්ටවලට ජපානය ද සම්බන්ධය. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ජපානය හා ඇමරිකා එක්සත් ජනපදය ඉන්දු පැසිෆික් කලාපයේ චීනය සමග තරගකාරී බල හවුලක් ලෙස ක්‍රියාකරයි.