ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන් ම 20වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ පූර්ණ සංශෝධනයක් හෝ අවශ්‍ය ය. දැන් වසර 41ක් තිස්සේ ක්‍රියාත්මක වන වත්මන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව එතරම් ම අවුල් ජාලයක් නිර්මාණය කර තිබෙන බව විවාදයකින් තොරව ම පිළිගත හැකි ය. වඩාත් ම කණගාටුදායක තත්වය වන්නේ නිදහසෙන් පසු වැඩි කාලයක් අප ජීවත් වී තිබෙන්නේ මෙම අවුල තුළ ම වීමයි. 1978ට පෙර පැවති ආණ්ඩුක්‍ර‍ම පරිසමාප්ත ඒවා නොවුණත්, ඒවා මෙතරම් මතභේදාත්මක වූයේ නැත. ලංකාවේ සමාජය ජාතික, ආගමික සහ දේශපාලනික වශයෙන් මේ තරම් ගැඹුරින් බෙදී වෙන්වී නොතsබීමත් එසේ කරන්නට පුළුවන් වෙන්නට හේතුවක් ලෙස සැලකිය හැකි ය.

Sinhala Tamil English Translations and Content Writing

දැන් අභියෝගය ඇත්තේ අප මෙම අවුලෙන් කෙසේ ගොඩ එන්නේ ද යන්න පිළිබඳව ය. අපට මෙම ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව මුළුමනින් ම ඉවත දමා අලුත් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවකට යා හැකි නම් එය සුවිසල් ජයග්‍ර‍හණයකි. එය කළ හැකි මාර්ග දෙකක් තිබේ. ඒ එක්කෝ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව පූර්ණ ලෙස සංශෝධනය සඳහා එමගින් ම සපයා තිබෙන ප්‍ර‍තිපාදන අනුව යමින් පවත්නා නීතියට අනුකූලව ය. නැතිනම් විප්ලවයක් ඔස්සේ සම්පූර්ණ ආණ්ඩුක්‍ර‍ම මාරුවකිනි. පූර්ණ ආණ්ඩුක්‍ර‍ම වෙනසක් අනිවාර්යයෙන් ම සමාජ ක්‍ර‍මයේ වෙනසක් වීම අවශ්‍ය නැත. කෙසේ වෙතත්, අවසාන අරමුණ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තහවුරු කිරීම බව සමාජයේත්, සමාජ නායකයන්ගේත් අවබෝධය තුළ ගලේ කෙටුවා සේ තැන්පත්ව තිබීම නම් අවශ්‍ය ය.

2015දී වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු සමස්ත පාර්ලිමේන්තුව ම ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන මණ්ඩලයක් බවට පත් කරමින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන ලදී. එය සෑහෙන තරම් දුරට ඉදිරියට ද ගොස් තිබේ. එහෙත්, එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට පමණක් නොව එයට නායකත්වය දුන් ආණ්ඩුවට ද මේ වන විට පිළිගැනීම පිළිබඳ ගැටලු ඇති වී තිබේ. එබැවින් එම ක්‍රියාවලිය කෙතරම් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී එකක් වුවත්, එයට අවසාන අරමුණ කරා ළඟාවීමට තිබෙන හැකියාව අවම ය.

යම් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේ හැකියාව තවමත් අහෝසි වී නැත. එහෙත්, 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ සමයේ මෙන් දැන් ආණ්ඩුවට තුනෙන් දෙකේ ඡන්ද බලයක් පාර්ලිමේන්තුවේදී ලබාගැනීමේ හැකියාව නැත. ඒ නිසා කළ හැකි වන්නේ යම් යම් තත්වයන් යටතේ බහුතර කැමැත්ත ලබා ගත හැකි සංශෝධන පමණි.


2018 මැයි 25දා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍ර‍චාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස 20වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු ලේකම්වරයාට භාර දෙන්නේ මෙම සංදර්භය තුළ ය. 2018 ඔක්තෝබර් 5දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද එය සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දය සහ ජනමතවිචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබේ. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම එහි ප්‍ර‍ධාන අරමුණයි. ජනතාවගේ ඍජු ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයා වෙනුවට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු පත්කිරීම එහි යෝජනා කර තිබේ.

20වන සංශෝධන යෝජනාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය පස් වසරක් වන පාර්ලිමේන්තුවේ කාලය සමග අවසන් වේ. නව පාර්ලිමේන්තුව පත් වී ජනාධිපතිවරයා තෝරා ගනු ලබන්නේ රහස් ඡන්දයකිනි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළත්ව සරල බහුතරයක් පමණි.

ජනාධිපතිවරයා තවදුරටත් රාජ්‍ය නායකයා වන අතර, විධායකයේ ප්‍රධානියා ද, ආරක්ෂක හමුදා ප්‍රධාන අණ දෙන නිලධාරියා ද වේ. එහෙත්, ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා නොවේ. ධුරය දරන කාලය තුළදී ජනාධිපතිවරයාට කිසිදු දේශපාලන පක්ෂයක ධුරයක් හෝ සාමාජිකත්වය හෝ දැරිය නොහැකි ය.

ජනාධිපතිවරයා වැරදිකරුවන්ට කරන සමාව ප්‍රදානය කිරීම් කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් විය යුතු ය. කැබිනට් මණ්ඩලයේ නිර්දේශ මත විදේශ සේවය සඳහා නිලධාරීන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබේ. ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය පත් කිරීම ද කැබිනට් අනුමැතියට යටත් ය.

20වන සංශෝධනය යටතේ වත්මන් විධායක ජනාධිපතිවරයා සතු අති විශාල බලය දැඩි ලෙස සීමා කරන බව ද, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට යටත් වන බව ද පැහැදිලි ය. ඒ සමග ම අගමැතිවරයාගේ භූමිකාවේ වැදගත්කම වැඩි වේ. යෝජනාවේ සඳහන් වන පරිදි ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 50%කට වඩා ඡන්ද ලබාගන්නා ඕනෑම දේශපාලන පක්ෂයක අගමැති අපේක්ෂකයාට අගමැති ධුරය හිමි වේ. කිසිදු දේශපාලන පක්ෂයක් 50%කට වඩා ඡන්ද ලබාගෙන නැතිනම් පාර්ලිමේන්තු බහුතර කැමැත්ත ඇති අපේක්ෂකයාට අගමැති ධුරය හිමි වේ.

ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට විවිධ දේශපාලන පක්ෂ සමග 20වන සංශෝධනයට සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කරනු ලැබේ. 20වන සංශෝධනය සම්මත කරගැනීම අභියෝගාත්මක ක්‍රියාවකි. ප්‍ර‍ධාන දේශපාලන කඳවුරු දෙක එයට සහයෝගය දෙනවා නම් දෙන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව, එයින් ඔවුන්ට දේශපාලන වාසි ගත හැකිනම් බව පැහැදිලි ය. එක්සත් ජාතික පක්ෂයට ජනප්‍රිය නායකත්වයක් දැනටත් නැත. නුදුරු අනාගතයේ එවැනි නායකත්වයක් ගොඩනගාගත හැකි වනු ඇතැයි විශ්වාසයක් ද නැත. 2005 ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරණ දෙකකදී ම ඔවුන් තමන්ගේ අපේක්ෂකයකු වෙනුවට පොදු අපේක්ෂකයකුට සහාය දැක්වූයේ ඒ නිසා ය. එහෙත්, එක්සත් ජාතික පක්ෂය යනු ස්ථාවර ඡන්ද පදනමක් තිබෙන පක්ෂයකි. පාර්ලිමේන්තු බලය ගැන අපේක්ෂා ගොඩනගා ගත හැකි පක්ෂයකි. එහෙයින් එම පක්ෂයට 20වන සංශෝධනයට එරෙහි වීමට හේතුවක් නැත.

පොදු ජන පෙරමුණ ලෙස දැන් සංවිධානය වී තිබෙන ඒකාබද්ධ විපක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂට දැන් නැවත වතාවක් ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාව නැත. ගෝඨාභය රාජපක්ෂ වැනි නළුවන් කුමන රංගන පෑවත්, තවමත් රාජපක්ෂ බලවේගයේ ජනප්‍රියත්වය රඳා පවතින්නේ මහින්ද රාජපක්ෂ මත ය. එම කඳවුරෙන් ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා කවරෙකු වුවත්, එම පුද්ගලයාට මහින්ද රාජපක්ෂගේ පමණක් නොව ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ ද අනුමැතිය අවශ්‍ය ය. එය තනිකර ම නාමල් රාජපක්ෂගේ අනාගත නායකත්වය සුරක්ෂා කර දෙන ගිවිසුමක් හා අවබෝධයක් යටතේ සිදු වන්නකි.

මහජන ස්වෛරීත්වයට, ජනවරමට ඉහළින් මෙවැනි හොර ගිවිසුම් ක්‍රියාත්මක විය හැකි ආකාරය පිළිබඳ හොඳ ම නිදසුන වන්නේ 2018 ඔක්තෝබර් 26 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වන විට නිර්මාණය වී තිබෙන එකඟතා ය. එකී කුමන්ත්‍රණයේ ආර්ථික පාඩුව පමණක් ඩොලර් බිලියන හයක් වන බව පසුගිය අයවැය විවාදයේදී මුදල් ඇමති මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පැවසී ය. මෙකී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට එරෙහිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන අයට එරෙහිව ඉතා පැහැදිලිව ම නීතිය ක්‍රියාත්මක කළ හැකි ය. එහෙත්, ඔවුන්ගේ බලය පාවිච්චි කරමින්, රජය සමග අනියම් ගිවිසුම්වලට එළඹෙමින්, ඔවුන් නීතියට ඉහළින් සිටගනිමින් එම තත්වය වළක්වා තිබෙන අතර විස්මය ජනක තත්වය වන්නේ ජනමාධ්‍ය, සිවිල් සමාජය හා මහජනතාව පවා එම තත්වය භාරගන්නා තැනට තල්ලු කරගැනීමට දේශපාලකයන්ට හැකි වීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, මේ වන විට මහින්ද රාජපක්ෂ ඇතුළු බොහෝ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන්ගේ ධුර ද අහිමි වී හමාර ය. හේතුව ඔවුන් ප්‍රසිද්ධියේ ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂයක සාමාජිකත්වය ලබාගැනීමයි. එම තත්වය මහජනතාව හෝ සිවිල් සමාජය හෝ පමණක් නොව වෙනත් දේශපාලන පක්ෂ පවා අභියෝගයට ලක් නොකළේ ඇයි ද යන්න අප තේරුම් ගත යුත්තේ කෙසේ ද? දේශපාලනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැනි පොදු සම්මුති අභිභවා හොර සම්මුති ක්‍රියාත්මක වන්නට තිබෙන හැකියාවට මීට වඩා උදාහරණ අවශ්‍ය ද?

ජවිපෙ 20වන සංශෝධනයට මහින්ද රාජපක්ෂගේ සහයෝගය ලබාගැනීමේ හැකියාව කෙරෙහි බලාපොරොත්තු දැල්වෙන තැන මෙතන වුව ද, ඔහු එතරම් අවදානමක් ගනියි ද යන්න සැක සහිත ය. සාධනීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඔස්සේ වඩා ප්‍රශස්ත තත්වයක් නිර්මාණය කරගන්නවාට වඩා අවුල් සහගත තත්වයන් පාවිච්චි කර ඒකාධිපති බලතල ගොඩනගාගැනීමට ඔහු කැමති බව ඔහුගේ ධුර කාලය තුළදී 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැනි පියවර ගැනීමෙන් සහ 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පැහැදිලි වේ.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉතා අවුල්සහගත එකක් බව ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පසු ඒ පිළිබඳ ඇති වූ සංවාදයෙන් හෙළිදරව් විය. උදාහරණයක් ලෙස, එහි ඇති ජාතික ආණ්ඩු සංකල්පය ගතහොත්, නීතිමය තර්ක ඇතුළේ ජාතික ආණ්ඩුවක් යනු නිකම් ම සන්ධානයක් මිස අන් යමක් නොවන බව දැන් ඔප්පු වී හමාර ය. ඒ අනුව, එක් මන්ත්‍රී ආසනයක් පමණක් ඇති මුස්ලිම් කොංග්‍රසය සමග එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවාගෙන ඇති වත්මන් ආණ්ඩුව ද ජාතික ආණ්ඩුවකි. වත්මන් ආණ්ඩුව නොකළ ද, එයට ඇමති මණ්ඩලය සීමා කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදන මේ ඔස්සේ පහසුවෙන් මගහැර යා හැකි ය. ඔවුන් එසේ නොකරන්නේ ඔවුන් ජනප්‍රිය නොවන නිසා හා එවැනි ක්‍රියාමාර්ග ඔස්සේ ඔවුන් වැඩිදුරටත් ජනප්‍රියත්වයෙන් පිරිහිය හැකි නිසා ය. අනාගතයේ බලයට ඒමට නියමිත ඕනෑම දේශපාලන බලවේගයක් මෙම අවුල් සහගත තත්වයෙන් උපරිම ඵල නෙළාගන්නට උත්සාහ කරනු ඇති බව සහතික ය. විශේෂයෙන් ම, ප්‍රජාතන්ත්‍රවාදයට වඩා කුමන්ත්‍රණවලට ගරු කරන ජනප්‍රියවාදී නායකත්වයක් වන මහින්ද රාජපක්ෂ වැනි අයෙකු අත පසුගිය සමයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දු පවා බලය වෙනුවෙන් අපහරණය වන්නට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාව පවතින්නේ පියවරෙන් පියවර උග්‍ර වන ව්‍යවස්ථා අර්බුදයක ය. පවත්නා බල තුලනය තුළ එය නොපෙනුණ ද ඕනෑම මොහොතක එය යළි කරළියට පැමිණිය හැකි ය. ජවිපෙ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව මෙම අර්බුදය සාධනීය පැත්තට තල්ලු කිරීම සඳහා යම් දුරකට උපයෝගී කරගත හැකි අවස්ථාවකි. එහෙත්, එය පවා විසඳුමක් නම් වන්නේ නැත. පවත්නා තත්වය තුළ එය ප්‍රායෝගික කරගැනීම ද පහසු නැත. ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කීපයක් පමණි. ජාතික ප්‍රශ්නයට විසඳුම් ලෙස ගෙන එන ලද පළාත් සභා අතරින් ඉතා වැදගත් උතුරු හා නැගෙනහිර පළාත් සභා පවා ආණ්ඩුකාර පාලනයට යටත් කර එහි අරුත මුළුමනින් ම විකෘති කර තිබෙන සංදර්භයක් තුළ, පළාත් සභා මැතිවරණ කල් නොදමා පැවැත්වීමට හැකි පනත් සංශෝධනයට දේශපාලන පක්ෂ එකඟ කර ගත නොහැකි තරම් අර්බුදකාරී වාතාවරණයක සිටින දේශපාලන කැඳහැලියක් තුළ 20වන සංශෝධනය ගැන බලාපොරොත්තු තබාගත හැකි ද?

එහෙත්, එක් දෙයක් අපගේ දැඩි අවධානයට ලක් විය යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීම සම්බන්ධයෙන් අප ඉන්නේ විප්ලවීය අවධියක ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම පිටින් ම විකාරයක් වන තරමට එය අවුල් ජාලයක් වී තිබේ. රටේ ජනාධිපතිවරයා ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ මෙහෙයවා තිබේ. එතනින් නොනැවතී දේශපාලන පක්ෂ සමග හොර සම්මුති ඇති කරගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම පවා වළක්වා තිබේ. එවැනි තත්වයකදී තව දුරටත් පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් එහි ප්‍රතිපාදන ඔස්සේ එය වෙනස් කරන්නට දතකෑ යුතු ද? ජවිපෙ විසින් කළ යුතුව තිබෙන්නේ මෙම විප්ලවීය අවස්ථාව පිළිබඳ මහජනතාව සංවේදී කරමින්, ඉදිරි මැතිවරණවලදී ලබා ගන්නා පැහැදිලි ජනවරමක් ඔස්සේ විප්ලවීය ලෙස මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හැර දමා රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගැනීම සඳහා බලවේග පෙළගැසීම බව අපේ අදහසයි. 1978 ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව පදනමින් ම අතහැර දැමිය යුතු ය. එම අවදානම් පදනම මත අලුත් ඉදිකිරීම් කරන්නට යාම තේරුමක් නැති වැඩකි.

මෙය අලුත් තත්වයක් නොවේ. 1948 සිට ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් තුළින් ව්‍යවස්ථාවක් හැදීමට 1970 මැතිවරණයේදී සමඟි පෙරමුණ ජනතාවගෙන් ජන වරමක් ඉල්ලා සිටියේ ය. තුනෙන් දෙකේ බලයක් ලැබුණත්, 1972 ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව නිර්මාණය වුණේ ඒ අනුව නොව, නව රඟහලේ පළමු රැස්වීම පැවැත්වූ ආණ්ඩුවේත්, විපක්ෂයේත් මන්ත්‍රීන් එක්සත්ව ය.  1978 ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව මත පටවනු ලැබුවේ ද, එක්සත් ජාතික පක්ෂය 1978දී ලැබූ හයෙන් පහක ජනවරම පාවිච්චි කරමින් බලහත්කාරයෙනි. එය ඉවත් කිරීම ද කළ හැකි වන්නේ බලහත්කාරයෙන් වන්නට බැරිකමක් නැත.

1 thought on “20වන සංශෝධනය ද? ව්‍යවස්ථා විප්ලවයක් ද?

  1. සිතිය හැක්කන්ට සිතන්නට ලියා තිබේ.කණගාටුවට කරුණ වන්නේ රටේ බහුතරය තමන් වෙනුවෙන් සිතන්නට තමතමන්ගේ පක්ශ වලට සින්නක්කර අයිතිය ලියා දී තිබිමය

Leave comment

Your email address will not be published. Required fields are marked with *.